සතුන් මැරීම සදහා බදින තුවක්කු දෙකක් සවිකර විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට හා ගුවන් හමුදා සෙබළෙකුට දිවි අහිමි කරමින් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දඩයක්කරුවෙකු ලබන මස (6දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු නාලක සංජය ජයසූරිය මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ උට්ටිමඩුව පෙරිමියන්කුලම පදිංචි 62 හැවරදි දඩයක්කරුවෙකි.

සැකකරු (24දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරික්ෂාකාරි ක්‍රියාවකින් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය දෙකක් සිදුකිරීම(ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය) සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළේය.

දිය බීමට පැමිණෙන වන සතුන්ට බදින තුවක්කු ඇටවීම සදහා ඔත්තු බැලීමට ගිය පුද්ගලයන් තිදෙනෙකුට දඩයක්කරු  සවිකර තිබූ බදින තුවක්කු දෙකක් ස්ථාන දෙකකදී මරුවැල් පෑගිමෙන් සිදුවූ වෙඩි වැදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වි තවත් එක් අයෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව තිරප්පනය පොලිසිය අධිකරණයට දැන්වූවේය.

තිරප්පනය පොලිස් වසමේ පෙරිමියන්කුලම උට්ටිමඩුව ප්‍රදේශයේ පිහිටි මුරියාකල්ල වැව් පිටියේ දිය සිදී ගිය ස්ථානයකදි සිදුවූ වෙඩි වැදීමෙන්  ඔරුක්මාන්කුලම උට්ටිමඩුව මිහින්තලය ලිපිනයේ පදිංචිව සිටි විශ්‍රාමික පොලිස් නිලධාරි කළුබණ්ඩාගේ කපුරු බණ්ඩා (61) හා ඇතුන්ගම පාර තිරප්පනය ලිපිනයේ පදිංචිව විශ්‍රාමික ගුවන් හමුදා සෙබළ සිටි වාවින්න සේනගේ ප්‍රදීප් රුක්ෂාන් (44) යන දෙදෙනායි.

මුලින්ම වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයා වන සතුන් ගැවසෙන දිය සිදුනු වැවේ සතුන් ගැවසෙන ස්ථාන නිරික්ෂණය කරමින් ඔත්තු බලා බදින තුවක්කුවක් සවිකිරීමට සූදානම් වද්දි සැකකාර දඩයක්කරු ඊට පෙර සවිකර තිබූ බදින තුවක්කුවේ මරුවැල පෑගීම නිසා වෙඩි ප්‍රහාරයට ලක්වි තිබෙනා බවත් බරපතල තුවාල ලැබූ සිය සගයා සම්බන්ධයෙන් සැල කිරීම සදහා එක් අයෙකු ගම්මානයට ගොස් ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණයවී ඇති බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.

මරුවැල පෑගීමෙන් වෙඩි වැදී බරපතල තුවාල සහිතව ඇද වැටී සිටි තිදෙනාවම කඩිනමින් ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඉන් දෙදෙනෙකු අධික රුධිර වහනය නිසා ජීවිතක්ෂයට පත්වි තිබේ.

අනෙක් පුද්ගලයාගේ තත්වය බරපතල බව පවසන පොලිසිය ඔහුගෙන් කිසිදු ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.

අත්අඩංගුවටපත් සැකකරු වල් ඌරන් ඝාතනය සදහා බදින තුවක්කු අටවන පුද්ගලයෙකු බවත් සෙසු පුද්ගලයනුත් බදින තුවක්කු අටවා සතුන් ඝාතනය කරන්නන් බව පොලිසිය පවසයි.බදින තුවක්කු ඇටවු පුද්ගලයා මී කතුරු යොදාගෙන බදින තුවක්කු අටවනා පුද්ගලයෙකු බවත් ඔහු සන්තකයේ තිබී මී කතුරු යකඩ මූනිස්සම් මරුවැල් යකඩ බටයක් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජය ජයසූරිය මහතා ස්ථානීය පරික්ෂණය (24දා) සිදුකළ අතර මරණකරුවන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකර අධිකරණයට කරුණු වාර්ථා කරනා ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල් වෛද්‍යරත්න මහතාට නියෝග කළේය.

තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.බී රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරති.

thirappane thirappane

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Similar Posts