kaduwela
කඩුවෙල මහ නගර සභාවේ තමුන් අසුන් ගන්නා ආසනය කිසිදු දැනුම්දීමකින් තොරව වෙනස් කර  පිටුපසට තල්ලු කිරීම හේතුවෙන් තමුන් දැඩි අසීරුතාවයකට පත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සරත් කාරියවසම් පැවසීය.
 
පසුගිය මැතිවරණ සමයේ තමන්ගේ නායකයාට පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපති වරයා විසින් මා හට උපදෙස් ලබා දුන්නා. එහෙත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු හැටියට මා හට එසේ කිරීමට  නොහැකි වුණා. මා රියර් අද්මිරාල් සරත් වීරසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රදීප් උදුගොඩ යන තිදෙනා දිනවීම සඳහා කටයුතු කළා. මේ හේතුවෙන් මාව මෙලෙස  අන්තෝනමතිකව පිටුපස පේලියට දම්මලා. 
 
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මා ශ්‍රී ලංකාවේ සමස්ත ඡන්ද  ප්‍රතිශතයෙන් දෙවෙනි තැන ලබා ගත්තා. මේ අනුව නගර සභාවේ ජේෂ්ඨත්වයෙන් පසු මා දොළොස් වැනි අසුනේ කටයුතු කළා. පසුගිය ජනවාරි මස මහා සභා රැස්වීමේදී ත් මා එලෙසම කටයුතු කළා.
එහෙත් මෙවර මහා සභා රැස්වීමේදී මගේ අසුන කොහේද කියාවත් මා හට සොයා ගැනීමට නොහැකි වුණා. වැඩිම ඡන්දයෙන් නගර සභාවට මා පත් කර එවූ ජනතාවට මුහුණ දීමට බැරි තත්ත්වයක් මට උදා වෙලා.
මම නගර සභාවේ උපායමාර්ග හා සැලසුම් කමිටුවේ සාමාජිකයෙකු හැටියට හිටියා. බල ප්‍රදේශයේ නගර සභා අඥා පනතට පිටින් මුදල් අය කර ගන්නා ස්පා ආයතන වැලි තොටුපොළවල් වැනි ව්‍යාපාර වලට විරුද්ධව පනත් හදන්නේ නොමැති නිසා එම කමිටු වලින් මා ඉල්ලා අස්වුණා. නගර සභා රැස්වීම් වලදී පරිපාලනයේ අඩුපාඩු පෙන්වා දුන්නා.
මගේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මහ නගර සභාව තුළ පැදුරක හෝ ඉඳගෙන මා කටයුතු කරන්න සූදානම්.හැබැයි සියලු දෙනාටම එක වගේ කටයුතු කළ යුතුයි. කොට්ඨාස මට්ටමින් ආසන පනවනවා නම් එහිදී ජේෂ්ඨත්වය කියා දෙයක් නෑ. සියලු දෙනාටම කොට්ඨාශ අනුව ආසන වෙන් කරන්න. එහිදී පක්ෂ විපක්ෂ සියලු දෙනාටම නීතිය එක වගේ විය යුතුයි. 
 
මේ සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සංජීව බන්ඳු කීර්ති මහතාගෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා පවසා සිටියේ වත්මන් සභාව පත්වූ මුල් අවස්ථාවේම මන්ත්‍රීවරු තිදෙනකු විසින් මෙම ආසන පැනවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විරෝධතා ලිපි ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව කලින් නගර සභාව නියෝජනය කර පැරණි මන්ත්‍රීවරුන්ට ජේෂ්ඨත්වය සලකා ඉදිරි අසුන් පැනවූවා. නවක මන්ත්‍රීවරුන්ට කොට්ඨාස අනුපිළිවෙළ අනුව ආසන ලබා දුන්නා එසේ නොමැතිව අපි එය හිතා මතා කළ දෙයක් නොවේ.
අයිරංගි එදිරිසිංහ – කඩුවෙල

Similar Posts