සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 තරඟාවලිය, තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.

ඒ ඊයේ (29) අවසන් වූ තෙවැනි විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමත් සමගය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වුණි.මෙය ඉන්දීය කණ්ඩායමක් පන්දුවාර 20යි 20 තරගයකදී තුන්වැනියට රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වේ.

අදට යෙදී තිබූ සිය 24වැනි උපන් දිනයදා විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළ වනිඳු හසරංග පන්දුවාර 4 තුළ ලකුණු 09ක‌ට කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය.එය පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී සිය උපන් දිනය දා ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස ද හැඳින්විය හැකිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 03 ක් තුළ කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 82 ක් රැස් කරමින් සිය ජයග්‍රහණය වාර්තා කළා. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23 යි. වනිඳු හසරංග නොදැවී ලකුණු 14 යි. අවසන් තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද වනිඳු හසරංග දිනා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලි ජයග්‍රහණය ඉතා වැදගත් වනවා.

ඒ, එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කෙටි කලක් පමණක් ඉතිරිව තිබියදී ලැබූ ජයග්‍රහණයක් වීම හේතුවෙන්. ක්‍රීඩා විචාරකයින් පවසන්නේ ශ්‍රී ලංකාවට යළි ජයග්‍රාහී රිද්මයට පිවිසීමට මෙම ජයග්‍රහණය වැදගත් වනු ඇති බවයි.

 

Similar Posts