train

මෙම වර්ෂය නිමවීමට ප්‍රථම මහනුවර සිට කොළඹ දක්වා අධිසුඛෝපභෝගී දුම්රියක් ධාවනයට එක් කරන බව  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

එවැනි දුම්රිය දෙකක් වසර  අවසානයේ මෙරට ධාවනයට එක් කරන බව මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී ඊයේ  (24) පැවැති පුද්ගලික බස් රථ සඳහා සහනාධාර වට්ටම් ලබාදීමේ උත්සවයට සහභාගීවෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

දැනට ධාවනය වන දුම්රිය සඳහා තව දුරටත් මැදිරි එක් කරන්නේ නම් දුම්රිය මාර්ග අලුත්වැඩියා කළ යුතු යැයි කී අමාත්‍යවරයා, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ක්ෂේත්‍රය තව දුරටත් විධිමත් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

දැනට පවතින සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අන්තර් පළාත් අතර ධාවනය වන  පුද්ගලික බස් රථ, මහා මාර්ගයට යොමු කළ හැකි පරිදි රුපියල් ලක්ෂ දෙකක සහනාධාරයක් ලබා දෙන බව අමාත්‍යවරයා කීවේය.

ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලික බස් රථ සංගම් සමඟ සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණි බවත්  ඒ යටතේ බස් රථ සඳහා ලිහිසි තෙල්, ටයර්, ඩීසල්, රක්ෂණය ආදිය සඳහා සහන වට්ටම් හා මුදල් ගෙවීමට සහන කාලයක් හිමි වන බවත් ඒ මහතා කීහ.

එම සහන පැකේජය මගින්   බස් රථ හිමියන්ගේ සියලු ගැටලු නිරාකරණය කරගැනීම නොහැකි වුවත්,  ඒ තුළින්  බස් රථය ධාවනයට සුදුසු පරිදි මාර්ගයට යෙදවීමට හැකි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ යටතේ අන්තර් පළාත් බස්රථ සහ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ වල සේවකයන් සඳහා ද සහනයක් හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ධාවනය වන පුද්ගලික බස් රථ 350ක් හා එහි කාර්යය මණ්ඩල සඳහා මෙහිදී සහනාධාර වට්ටම් ප්‍රදානය කිරීම සිදුවිය.

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පැවැති මෙම අවස්ථාව සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම, ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සංගමේ සභාපති සම්පත් රණසිංහ, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සම්පත් රණසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts