kotipathi

ලිහිසි තෙල් වලට ඩීසල් ඉන්දන මුසු කිරිමේ කූඨ ව්‍යාපාරයක නිරත වන අනුරාධපුර නගර අසාන්නයේ පිහිටි ඉන්දන පිරවුම් හලක අයිතිකරු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු සේවක පිරිසක් එම ජාවාරම පිටස්තර පිරිස් වලට දැනගැනීමට ලැබෙයි යැයි සිතමින් නවක සේවකයෙකුයට සිදුකළ අමානුෂික පහරදීමක් හේතුවෙන් එම සේවකයා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

අනුරාධපුර පොලිස් වසමේ විහාරපාළුගම විහාරතිරප්පනය අනුරාධපුර ලිපිනයේ පදිංචි එස්.එම් ඉන්දික රුවන් වීරසිංහ (20)අවිවාහක තරුණයා මෙසේ පහර කෑමට ලක්වි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 14 ප්‍රතිකාර ලබමින් සිටි.

තරුණයාගේ පපු ප්‍රදේශයට හා සිරුරේ වෙනත් ස්ථාන වලට ඉන්දන පිරවුම් හලේ හිමිකරු හා සේවකයින් දෙදෙනෙකු අතින් පයින් හා පොළු වලින් පහරදි තිබේ.පහර කෑමට ලක්වු සේවකයා මීට දින දහයකට ඉහතදි ඉන්දන පිරවුම් හලේ සේවයට ගොස් ඇති අතර නිවාඩු දිනයකදි වැටුප් ලබාගැනීමට පැමිණෙන ලෙස දන්වමින් සේවකයන් තිදෙනෙකු ඔහුගේ නිවසට ගොස් තිබේ.

පසුව පහර කෑමට ලක්වු තරුණයා ඔහු විවාහවීමට සිටින තරුණියද කැටුව එහි ගොස් තිබේ.ඒ අවස්ථාවේ ඉන්දන පිරවුම් හලේ අයිතිකරු හා ගෝලයන් දෙදෙනෙකු පිරවුම් හලේ ඉහළ මාලයට තරුණයා රැගෙන ගොස් උඹ ඇයි ලිහිසි තෙල් වලට වැඩිපුර ඩීසල් දැම්මේ යනුවෙන් පවසමින් පහරදීම සිදුකර තිබේ.

ඒ අවස්ථාවේ ඔහු විසින් සේවකයෙකු (නම පවසයි) කියූ ප්‍රමාණයට තමන් ලිහිසි තෙල් වලට ඩීසල් මුසුකළ බව ඔහු හිමිකරුට පවසා ඇතත් ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකළ හිමිකරු පොළු කිහිපයක්ම කැඩෙනා තුරු තරුණයාට පහරදී තිබේ.

පහර කෑමෙන් බරපතල තුවාල ලබා සිටින සේවකයා ඇලයාපත්තුව රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට එවා තිබේ.පහරකෑම නිසා දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහු (4දා)තමන්ට සිදුකළ අසාධාරණ පහරදීම පිළිබදව මෙසේ පැවසුවේය.

මම නැති බැරි කම හින්දා මේ ආයතනයට සේවයට ගියේ ගියපු දවසේම පරණ සේවකයෙක් කිවුවා මට ලිහිසි තෙල් තියන ටැංකි වලට ඩීසල් ලීටර් 14ක් දාන්න කියලා.මම ඇහුවා ඇයි කියලා.

ඒක උඹට වැඩක් නැනේ ඒක කාලයක් ඉදන් මෙතන කරන වැඩක් කියන දේ කරපන් කියලා කිවුවා.මම ඔහු කියපු ඩීසල් ප්‍රමාණය කලවම් කරලා නිවාඩු ගියා.ඊට පස්සේ නාලක ආපහු ලිහිසි තෙල් ටැංකි වලට ඩීසල් දාලා.

ඒකත් එක්කම ඇන්ජින් ලිහිසි තෙල් වල ඝණකම අඩුවෙලා.මේ සිද්ධියත් එක්ක තමයි මේ ප්‍රශ්නය ඇතිවුණේ මට අමානුෂිකව පහර දුන්නා.ඊට පස්සේ පොලිසියට පැමිණිලි කරලා තිබ්බා මම විශ්වාසය කඩ කරලා කියලා.මම කියපු දේ තමයි කරේ.මම කිවුවා ඉන්දින පිරවුම් හලේ හිමිකරු මට ගැහුවා කියලා.පොලිසියේ නිලධාරින් කිවුවා ආයතනයේ අයිතිකරුට ගහන්න අයිතියක් තියනවා කියලා.

දැන් බොරු නඩුවක් මාව පටවලා හිමිකරු කරන කූඨ ක්‍රියාව වහන්න හදනවා.මට පොලිසියෙන් කෙනෙක් කථා කරලා කියනවා රුපියල් 233000 අලාභය ගෙවලා සමථ වෙන්න කියලා.ඉන්දන පිරවුම් හලේ අයිතිකරු කියනවා මට ලක්ෂයක් ගෙවන්න කියලා.ලිපියකින් මට ඒක ලියලා දෙන්න කිව්වා මම ප්‍රතික්ෂේප කරා යනුවෙන් තරුණයා පැවසුවේය.

තරුණයාට පහරදීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ගුණසේකර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

ඔහුට පහරදීමක් සිදුවි ඇත් නම් රෝහල් පොලිසිය මගින් පැමිණිල කළ හැකි බවත් එම පැමිණිල්ලට අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා බව පැවසුවේය.

ලිහිසි තෙල් වලට ඩීසල් ඉන්දන මුසු කිරීම සම්බන්ධයෙන් තරුණයා කරන පැමිණිල්ල පිළිබදව ඉන්දන පිරවුම් හල් හිමිකරුගෙන් කළ විමසීමකට අනුව ඔහු කියා සිටියේ අදාල තරුණයා සිදුකරන සියළුම දේවල් ආරක්ෂිත කැමරාවේ තියනවා.ඔයාල ඇවිල්ලා බලන්න.මම ගැහුවේ නෑ ඔය කියන කිසිම කෙනෙකුට යනුවෙන් පවසමින් දුරකථන විසන්ධි කර දැමුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts