akshi

දෑස් පෙනීම අඩුවිමත් සමග ප්‍රතිකාර ලබා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට යන තමන්ට පෞද්ගලික අක්ෂි රෝහල් වෙත ගොස් මුදල් ගෙවා විවිධ පරික්ෂණ සිදුකර පැමිණෙන ලෙස දන්වමින් තුන්ඩු නිකුත් කිරීම නිසා තමන් අන්ත අසරණවි ඇති බව අක්ෂි රෝගින් පිරිසක් පෙන්වා දුන්හ.

වයස් ගතවීමත් සමග ඇසේ සුද මතුවීම නිසා අක්ෂි කාච පළදා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට යන තමන්ට ශල්‍යකර්ම සදහා වසර ගණන් පොරොත්තු ලේඛණයේ සිටීමට පවා සිදුවි ඇති බව ඔවුන් කීහ.

පසුගිය කාලය පුරා අක්ෂි කාච පළදා ගැනීමේ කටයුතු සදහා ගිය තමන්ට කාච මිම්ම ලබා ගැනීමට අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ අක්ෂි ආයතනයට යෑමට සිදුව ඇති බව ඔවුන් පැවසුහ.

අනුරාධපුර ශික්ෂණ රෝහල පැමිණ අක්ෂි කාච පළදා ගැනීමට අවශ්‍ය මිම්ම සකසා ගැනීමට රුපියල් පන්සියයක මුදලක් වැය කිරීමට සිදුවීම අසාධාරණයක් බව රෝගින් පැවසු අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් මෙසේ පැවසූහ.අනුරාධපුර ශික්ෂණ රෝහලට එන අපි ආර්ථික වශයෙන් ප්‍රශ්න තියන රෝගීන්.ඒ ඇවිල්ලා පරික්ෂණ කරලා තවත් වසර ගානක් බලාගෙන ඉන්න කොට රෝගීව ඇති ඇස පේන්නෙම නෑ.

රුපියල් දාස් ගණන් දීලා මාසේ පුරා විවිධ බෙහෙත් ඇහැට දාන්න ඕන.සල්ලි තියෙන කිසිම කෙනෙක් ඔය සායන වලට එන්නේ නෑ.පෞද්ගලිකව මුදල් ගෙවලා ශල්‍යකර්මය කර ගන්නවා.

අපි වෙනුවෙන් සුළු වෙලාවක් වැය කරන දෙවිවරු කියන වෛද්‍යවරු හවස හතරේ ඉදන් පහුවදා අළුයම වෙනකම් පෞද්ගලික රෝහල් වල ශල්‍යකර්ම සිදුකරනවා.අස් නොපෙනෙන වේදනාව දන්නේ ඇස් නොපෙනෙන මිනිස්සු විතරයි.

කාචය දාගන්න කියලා ඒකේ මිම්ම හදාගන්න පෞද්ගලික රෝහලකට යන්න ඕන.ඒ සදහා රුපියල් 500ක් ගන්නවා.මෙතන ඉදන් ඒ තැනට අපිට යන්න බස් එකක් නෑ.ත්‍රී රෝද රථයකින් අපි එතනට යන්න ඕන තවත් රුපියල් 200ක් වියදම් කරලා.නැත්නම් ඇස් නොපෙනෙන අපි කිලෝමීටර් තුනක් හතරක් එතනට පයින් යන්න ඕන.

සමහර රෝගින් එන්නේ බස් එකට විතරක් සල්ලි අරගෙන.එහෙම අය ආපහු දවසක අදාල රෝහලට එන්න ඕන මිම්ම ගන්න.මෙච්චර ලොකු රෝහලක් වෙච්ච අනුරාධපුර රෝහලේ මේ පහසුකම නැති වීම කණගාටුවට කරුණක් යනුවෙන් රෝගින් පැවසූහ.

මෙම කාර්යට අදාලව දීෂ්ටිමිතිය මැනීම (optometrist)සදහා පහසුකම් ලංකාවේ තෙවන විශාල තම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි ඒකකයේ ඇති බව අනාවරණය විය.කිසියම් නිලධාරියෙකු අයුතු මුදල් ඉපැයිමේ ක්‍රමයක් අනුගමනය කරමින් දෘෂ්ටිමිතිය මැනීම සදහා පෞද්ගලික අක්ෂි ආයතනයකට රෝගින් යොමු කරනා බව අනාවරණය විය.

දෘෂ්ටිමිතිය මැණිම සදහා අදාල පෞද්ගලික ආයතනයට යන ලෙස සදහන් කරන ලියවිල්ලක් ඔහු විසින් පෞද්ගලික ආයතනයට යොමුකරනා බවද අනාවරණයවූ අතර රෝගියෙකු ලෙස අදාල රෝහලට දුරකථනයෙන් කථා කළ මව්බිම පුවත්පතට රුපියල් 500ක මුදලක් සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් නිකුත් කළ තුන්ඩුව සමග එහි එන ලෙස පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු මෙසේ පැවසුවේය.රෝගින් ඒක පැමිණිලි කරන්න ඕන ඔයාට (මව්බිම)නෙමෙයි අපිටයි.එම ඒකකයේ සියළුම පහසුකම් තියනවා.විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් තවත් වෛද්‍යවරියක ඉන්නවා.

ඔය තාක්ෂනික ක්‍රියාවට නිලධාරින් එහි ඉන්නවා.පුද්ගලික තැන් වලින් ඒක කරන්න කියලා නෑ.සෞඛ්‍ය අමාත්‍යංශය සියළුම පහසුකම් රෝහලට දීලා තියනවා.ඔය කියන ආකාරයට පෞද්ගලික ආයතන නම් කරනවා නම් ඒකකයේ වෛද්‍යවරයාට පැමිණිලි කරන්න යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts