mask after vaccine

නාවික හමුදාවේ තාක්‍ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද, භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා  විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකය වෙත ලබාදීම 2020 දෙසැම්බර් මස 16 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදු කෙරිණි.

භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අජිත් මලලසේකර මහතාගේ මඟපෙන්වීම යටතේ සිදුකළ පර්යේෂණ ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා නාවික හමුදාව ද සාමාජිකයෙක් විය.

ඒ අනුව, මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම, වෛද්‍ය ආයතනයන්හි ක්‍ෂුද්‍රජීවී සහ වෛරස විද්‍යාඥයින්ගේ කැපවීම මෙන්ම ‘රොටරි ක්ලබ් ඔෆ් කැපිටල් සිටි’ (Rotary Club of Capital City) මගින් එක්රැස් කරන ලද අරමුදල් දායකත්වයෙන්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හා පාරජම්බුල විකිරණ පාත්‍රණය/ වියලි තාපය (hydrogen peroxide vapor and ultra-violate irradiation / dry heat (70 C0)  මත පදනම්ව මෙම විෂබීජහරන යන්ත්‍රය, ගාල්ල දකුණු නාවික විධාන ඉංජිනේරු වැඩපල මගින් උසස් නිමාවකින් යුතුව නිම කිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙවැනි යන්ත්‍ර ආනයනය කිරී‍ම සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කරගැනීම උදෙසා, තව දුරටත් මෙම ව්‍යාපෘතිය සඳහා නාවික හමුදාවේ දායකත්වය ලබා දීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් උපදෙස් ලබා දුන් අතර,  මෙම ව්‍යාපෘතිය මඟින් භාවිතා කළ N95 මුඛ ආවරණ විෂබීජහරනය කර නැවත භාවිතා කිරීමට හැකියාව ලැබෙන බැවින් පරිසරයට බැහැර වන භාවිතා කළ N95 මුඛ ආවරණ ප්‍රමාණය අවම කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත භාරදුන් නාවික හමුදාවේ දායකත්වයෙන් මේ අයුරින්ම නිෂ්පාදනය කරන ලද භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා විෂබීජහරනය කිරීමේ පළමු යන්ත්‍රයෙහි ක්‍රියාකාරීත්වය, එම රෝහලෙහි වෛද්‍ය කාර්යමණ්ඩලයේ ඉහල ඇගයීමට ලක් වූ අතර, මෙවැනි සමාජ සත්කාරක ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් සිය දායකත්වය ලබා දෙනු ලබයි.

මෙම යන්ත්‍රය භාර දීමේ අවස්ථාව සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය හර්ෂණී උබේසේකර හා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක්, මෙම ව්‍යාපෘතියේ නාවික හමුදා ඉංජිනේරු තාක්‍ෂණික  කණ්ඩායම් ප්‍රධානී ඇතුළු දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Similar Posts