mihinthale

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදි මිහින්තලය පූජා භූමියේ රාජගිරි ලෙන බිද නිදන් සෙවූ වනජීවි නිලධාරියෙකු ඇතුළු දොලොස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව තවදුරටත් මේ මස (29දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජය ජයසුරීය මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කළුතර උතුර පදිංචි මිහින්තලය වනජීවි සංචාරක නිවාසය බාර නිලධාරිවරයා හා පෙරමියන්කුලම එප්පාවල පස්සර බදුල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 හා 51 වියේ පසුවන්නන් දොළොස් දෙනෙකි.

සැකකරුවන් නිදන් හෑරීම සිදුකළ ස්ථානය නිරික්ෂණය කර එම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක්ද යන්න තහවුරු කරන ලෙස විනිසුරුවරයා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට නියෝග කළේය.

එමෙන්ම අදාල කැනීම සිදුකළ ස්ථානය පරික්ෂණ වලින් පසුව වසා දමන ලෙස විනිසුරුවරයා පොලිසියට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට නියෝග කළ අතර කඩිනමින් පුරාවිද්‍යා වාර්ථාවන් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස නියෝග කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය පොලිසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ මිහින්තලය පුරාවිද්‍යා කළාප බාර නිලධාරි මංජුල රස්නායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ගොස් සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් මිහින්තලය රාජගිරි ලෙන පිහිටි පුරාවිද්‍යා භූමියේ නිදන් සෙවිම සදහා ලෙන අසලින් අඩි 13ක් දිග අඩි නමයක් පළල හා අඩි නමයාහමාරක් ගැඹුරු කැනීමක් සිදුකර ඇති බව පොලිසිය මීට පෙර අධිකරණයට දැන්වූවේය.

සැකකරුවන් අදාල ස්ථානය හාරා විශාල ගල් කුට්ටි ඉවත්කර තිබෙනා බවත් වනජීවි නිලධාරියාගේ සංචාරක නිවාසය අදාල ස්ථානය ආසන්නයේම පිහිටා ඇති බවත් පොලිසිය මීට පෙර අධිකරණයට දැන්වූවේය.

සැකකරුවන් චේන් බොලොක්ක කුඩා දොඹකර යොදා ගෙන විශාල ගල් කුට්ටි ඉවත්කර තිබෙනා බව පොලිසිය අධිකරණයට දැන්වු අතර රාජගිරි ලෙන ආසන්නයේ රජසමයේ වැල දැමූ වටිනා වස්තු සම්භාරයක් තිබෙනා බවට පැවත එන ජනප්‍රවාදයන්ට අනුව සැකකරුවන් ස්ථානය හරා නිදන් සොයන්නට ඇති බව පොලිසිය මීට පෙර අධිකරණයට දන්වා තිබුණි.

සැකකරුවන් සන්තකයේ තිබි පිකස් උදළු අලවංගු දම්වැල් චේන් බොලොක්ක පූජා භාණ්ඩ ඇතුළු නඩු භාණ්ඩ තොගයක් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස් ඇල්ලේපොල පොලිස් සැරයන් 36446 සෙනරත් බණ්ඩාර වීරකෝන් පොලිස් කොස්තාපල් 23118 පෙරේරා ඇතුළු නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Similar Posts