තම එකම දරුවා යතුරු පැදියේ ඉන්ධන ටැංකිය මත තබාගෙන යතුරුපැදිය ධාවනය කරමින් සිටි අඹු සැමි යුවලක්  පිළියන්දල, ජාලියගොඩ මංසන්ධිය ආසන්නයේදී අනතුරකට ලක්වීමෙන් සිව් හැවිරිදි දරුවා සහ යතුරු පැදිය පදවමින් සිටි පියා මියගොස් ඇති බව පිළියන්දල  පොලීසිය පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචිව සිටි වයස අවුරුදු තිස් දෙකක් වන ප්‍රදීප් උදය කුමාර යන අය හා (04) වැනි වියේ පසුවූ ඔහුගේ පුතු වන සදෙව් අබිරාශ් නැමැති දරුවා බවත් පොලීසිය පැවසීය.
මියගිය  අඹුසැමි යුවල කුඩා දරුවා සමග පිළියන්දල, දම්පේ ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක තාවකාලිකව නැවතී සිට ඇති බවත් (21) දින උදෑසන අඹුසැමි යුවළ රැකියාවට යන අතරතුර දරුවා දිවා සුරකුම් සුරැකුම් මධ්‍යස්ථානයට යොමුකර යාමේ බලාපොරොත්තුවෙන් පිලියන්දල සිට කොලඹ දෙසට යමින් සිටිය දී මෙම අනතුර වී ඇති බව පොලිසිය පැවසීය.
හොරණ, කොළඹ ප්‍රධාන මාර්ගයේ ජාලියගොඩ මංසන්ධියේ සිට මාර්ගය මංතීරු හතරකින්      සමන්විත බැවින් මාර්ගය දෙකට බෙදීම සඳහා යොදා තිබෙන කොන්ක්‍රීට් වලින් ඉදි කර ඇති කොටසේ මාර්ග අලංකරණය සඳහා තබා තිබූ විශාල මල් පෝච්චියක යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති බවද  පොලිසිය පැවසීය.
අනතුර සිදු වීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණයවී නොමැති බවත් ඉන්ධන ටැංකිය මත ඉඳගෙන සිටි දරුවාගේ පාදයක් යතුරු පැදියේ හැඩලය සහ ඉන්ධන ටැංකිය අතර සිරවී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකපල කරන බවද රථ වාහන පොලිස් නිලධාරීයෙක් පැවසීය.
අනතුරින් යතුරු පැදිය දෙකට කැඩී වෙන්වී ඇති බවත් එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් හා අවට එක්රැස් වූ  පිරිස එක්ව සුවසැරිය ගිලන් රථයක්  කැදවා තුවාල ලද පියා සහ දරුවා මෙන්ම මවද ප්‍රතිකාර සඳහා වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක පීඨ රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය පැවසීය.
තුවාලකරුවන් රෝහලට ඇතුළත් කරන විටත් දරුවා සහ පියා මියගොස් සිටි බවත් අනතුරෙන් මවද බරපතළ  තුවාල ලබා තිබූ බවත් ඇය දැනට එම රෝහලේම ප්‍රතිකාර ලබන බවද රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
පිළියන්දල පොලිසියේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ පොලිස් සැරයන් 40619 අතපත්තු , 93724 මධුරසිංහ ,73182 විජිත,93729 වීරසිංහ ,82495 ශශික ,93671 ශනාස් යන මහත්වරුන් විසින් පරීක්ෂණ පවත්වයි.

Similar Posts