MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති රුපියල් මිලියන 720 ක වන්දි මුදලෙන් මිලියන 420 ක මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වන්දි වශයෙන් ලබා දීම අද (13) දින සිට ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

වන්දි මුදල් ලබාදීමේ ක්‍රියාවලියේදී ධීවර ජනතාවට ප්‍රමුඛත්වය ලබාදුන් බවත් විශේෂයෙන් සාගරය තුළ ගිලි තිබු නෞකාවේ තිබු කන්ටේනර් ඇති ස්ථාන හදුනා ගැනීම  පිළිබදව කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවේ සහාය ද ලැබී ඇති බවත්, එහෙත් පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එය ප්‍රමාද  විය හැකි බවත්, අමාත්‍යවරයා පවසයි.

විශේෂයෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවයේ නීතිමය කටයුතු සිදු කිරීම  ජාත්‍යන්තර රක්ෂණ සමාගම් සමඟ සිදු කරන බැවින් සිදු වු හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේදී අපේ රටට හිමිවිය යුතු හිමිකම්පෑම සඳහා සඳහා ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බවත්, නීතිපතිතුමාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ඇතිව එම නීතිඥ සමාගම තෝරා ගැනීම සිදු කරන බව ද ඔහු පවසයි.

සිදු වු හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720 ක වන්දි මුදලක් මහ බැංකුව වෙත මේ වන විට ලැබී ඇති අතර, ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ඉන් රුපියල් මිලියන 420 ක් පමණ වු මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට වෙන් කර තිබෙන අතර තවදුරටත් මෙම සිදුවීමෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ද තමන්ට සිදුව ඇති හානිය පිළිබඳව අයදුම් කළ හැකි බවත්, හානිය තහවුරු කර ගැනීමෙන් පසුව ඔවුන්ට ද වන්දි මුදල් ලබාදීමට නියමිත බවද කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම පිළිබදව තවත් සාකච්ඡාවක් ඔහුගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ    හා   නීතිපති ජනාධිපති නීතීඥ  සංජය රාජරත්නම් මහතාගේ සහභාගිත්වයෙන් (2021.07.12) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසේම මෙහිදි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා වැඩිදුරටත්  සඳහන් කළේ මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදාදිම පිළිබඳව මෙන්ම ඉතිරි වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සභාපතිනි දර්ශනී ලහඳපුර ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර යන මහත්ම මහත්මීන් සාකච්ඡාවේදී අදහස් පළ කර ඇත.

ශානිකා

Similar Posts