namal rajapaksha

වර්තමානයේ පමණක් නොව ජනතා විරෝධයක් පැමිණි සෑම අවස්ථාවක ම ජනතාවගේ පැත්තේ සිට අඩියක් පස්සට අරගෙන ක්‍රියා කළ බවත් ජනතා ප්‍රශ්නවලට සංවේදී ව  කටයුතු කරන ආණ්ඩුවක් බවත් ක්‍රීඩා හා තරුණකටයුතු කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කැබිනට් ඇමතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවකට ඊයේ  (11) එක් වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිණි.

එහි දී ඇමතිවරයා මෙසේ ද කීය.

“අපි හැම විටම ඉන්නේ ජනතාවගේ පැත්තේ අපි ජනතාව බිහි කරපු ජනතා ආණ්ඩුවක්. අපි අද විතරක් නෙමෙයි මේ ආණ්ඩුව ආරම්භ කළ දා ඉදන් ජනතාවගේ යම් කිසි විරෝධයක් ආවානම් අපි  අඩියක් පස්සට ගත්තා. නැගෙනහිර ජැටියට විරෝධය ආවාම අපි අඩියක් පස්සට ගත්තා. 20 වෙනි සංශෝධනය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තා. ඒ හින්දා අපි ජනතාවාදී ආණ්ඩුවක් ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක්. ජනතාවට සංවේදී ආණ්ඩුවක්. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ යම් ගැටලුවක් ආවා. පහුගිය කාලේ ජනාධිපතිතුමා උපදෙස් දුන්නා එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේක තාවකාලිකව නවත්වලා හොයලා බලලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වෙන තැනකට ගෙනියමු කියලා. අපි ජනතාව බිහි කරපු ආණ්ඩුවක් ජනතාවට අවශ්‍ය සංවර්ධනය කරනවා මිසක් එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා මත සංවර්ධන කටයුතු  කරන්න තීන්දු තීරණ ගන්න අපට බෑ. ඒ දැන් අද වී මිල ගැන ගොවියන්ගේ ඉල්ලීමක් තිබුණා අපට ලිපියක් දුන්නා. ඒ අය මෙතන උද්ඝෝෂණය කළා නම් මොකද වෙන්නේ. කොරෝනා ව්‍යාප්තියට ඉඩ දීලා අපට වැඩ කරන්නත් බෑ. ඒ නිසා අපි ගොවියන්ගේත් මහජනතාවගේත් ප්‍රශ්න දිහා බලලා තීන්දු තීරණ ගන්නවා. පැහැදිලිව ම වගකීමකින් අපි කියනවා. අපි ජනතාවාදී ආණ්ඩුවක්. ජනතාව හදපු ආණ්ඩුවක්. ජනතාව හදපු ආණ්ඩුවක්.ජනතාව එක්ක ඉදිරියට ම යනවා.’ යැයි ද පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ,සිරිපාල ගමලත් හා පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල යන මහත්වරු ද සහභාගී වූහ.

namal

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

Similar Posts