පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර හිමියන් සඳහා ලබා දෙන පිරිවෙන් මූල්‍යාධාරය මෙම වර්ෂයේ සිට තවත් වැඩි ප්‍රමාණයකට ලබාදීමට සැලසුම් කර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසයි.

මේ වන විට එම දීමනාව හිමිවන්නෙ දහසක් පමණ හිමිවරුන් ප්‍රමාණයකට වන බැවින් එම ප්‍රමාණය ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි හන්තාන සිරි ධම්මරතන භික්ෂු පුහුණු ත්‍රිපිටක ධර්ම ආයතනයේ දී පැවැති නවක සාමනේර භික්ෂූන් පුහුණූ කිරීමේ ජාතික වැඩසටහනේ නවවන අදියර සමාප්ත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගීවෙමින් ඒ මහතා මේ බව කීවේය.

සාමනේර භික්ෂූන් වහන්සේ විසිදහසක් පමණ මෙරට වැඩවාසය කරන බවත් උන්වහන්සේ වැඩි පිරිසක් වෙත රජයේ මූල්‍යාධාර හා සෙසු පහසුකම් ලබාදීම අපේක්ෂා කරන බව අමාත්‍යංශ ලේකම්වරයා කීවේය.

සිය අමාත්‍යංශයට මෙවර වෙන්වී ඇති රුපියල් මිලියන 13 500න් මිලියන 7000ක මුදලක් වෙන් කොට ඇත්තේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් යැයි කී ඒ මහතා ඒ යටතේ භික්ෂු අධ්‍යාපනයට වැඩි අවස්ථාවක් හිමිවන බව සදහන් කළේය.

සාමනේර හිමියන්ගේ භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා සැකසුණු විශේෂ වැඩපිළිවෙල යටතේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයට අමතරව වෙනත් ආයතනවලින් අමතර භාෂා හැදෑරීමේ අවස්ථාවක් හිමිවන බව කී ඒ මහතා ඒ සඳහා වැය වන මුදල් රජය විසින් දරන බවත් කීවේය.

සසුන් උදාව වැඩසටහන යටතේ සාමනේර හිමියන්ගේ දෙමාපියන් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කී ඒ මහතා දෙමාපියන්ට බස් රථවල නොමිලේ ගමන් කිරීමට හැකි වැඩපිළිවෙලක් යෝජනා වී ඇතැයි ද කීහ.

රෝහල් ඇතුලු රජයේ ආයතනවලට ප්‍රවේශවීමේ දී ද එම දෙමාපියන්ට ප්‍රමුඛතාව හිමිවන හැදුනුම්පතක් නිකුත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දෙමාපියන් ආර්ථික වශයෙන් පීඩාවට පත්වීම නිසා බොහෝ භික්ෂූන් වහන්සේ උපැවිදි වන බව කී ඒ මහතා තමන් වහන්සේට මතුවන එවැනි දුෂ්කරතා සිය අමාත්‍යංශය වෙත ලිඛිතව යොමු කිරීමෙන් කඩිනම් විසදුම් ලබා දීමට හැකියාව තිබෙන බව වැඩිදුරටත් කීවේය.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, හන්තාන සිරි ධම්මරතන භික්ෂු පුහුණු ත්‍රිපිටක ධර්ම ආයතනයේ විහාරාධිපති පූජ්‍ය දොඩම්වල ධම්මරතන හිමි ඇතුලු මහා සංඝරත්නය ද බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සුනන්ද කාර්යප්පෙරුම මහතා ඇතලු ගිහි පැවිදි පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts