රජය මගින් මහකන්නයේ ගොඩ සහ මඩ ගොවිතැන සදහා නිකුත්කර තිබෙනා පොහොර තොගත් තමන්ට ලබානොදෙමින් එම පොහොර මුදලට අලවිකරනා ජවාරමක් සිදුවන බව පවසමින් මහවිලච්චිය ගොවිජනපදයේ මහසෙන් ගොවි සංවිධානයේ සභාපති හිටපු මන්ත්‍රී ආර්.අනුර බණ්ඩාර මහතා(අමුඩේ මන්ත්‍රී)ඇතුළු ගොවින් විශාල පිරිසක් (13දා)විරෝධතාවක් පැවත්වූහ.

මහ කන්නයේ ගොඩ මඩ වගාවන් සදහා පොහොර ලේකම් කාර්යාලයෙන් ගොවින්ට අවශ්‍ය තරම් සහනාධාර පෙහොර රජය නිකුත්කර ඇතත් ගොවින් කොටසකට පමණක් පොහොර ලබාදී තවත් කොටසකට සහනාධාර පොහොර ලබානොදෙමින් ඒවා මුදලට විකුණා බව කියමින් මහවිලච්චිය වම් ඉවුර සහ දකුණු ඉවුර ගොවින් පිරිසක් නීරෝධායන නීති උල්ලංඝණය නොවන අන්දමින් සිය ගොවිබිම් වල විරෝධතාවය පැවත්වූහ.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ගොවින් විශාල පිරිසක් විරෝධතාවයට එක්ව සිටියහ.එහිදි කථා කළ අනුරාධපුර මධ්‍යම නුවරගම් පලාත් ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ආර්.අනුර බණ්ඩාර(අමුඩේ මන්ත්‍රී) මහතා.

මහ කන්නයේ වගාකටයුතු වලට රජය මගින් ලබාදෙන පොහොර සහනාධාරය දෙන්න අවශ්‍ය තරම් පොහොර ලබාදීලා තියනවා කියලා බලධාරින් කියනවා.නමුත් ගොවින් හතලිහක පමණ ප්‍රමාණයකට පොහොර ලැබිලා නෑ.

අක්කර සිය ගණනකට පොහොර නෑ.පොහොර මිටි හාරසියක් විතර අවශ්‍යයයි.බලධාරින්ගෙන් ඇහුවම කියනවා අපි රජය දෙන්න කියලා තියන සහනාධාර පොහොර ප්‍රමාණය හරියටම නිකුත් කරලා තියෙන්නේ කියලා.නමුත් පොහොර ඇටයක් නොලැබුණු ගොවින් තමයි මේ විරෝධතාවයේ යෙදෙන්නේ.

දැන් කියනවා රුපියල් 1500 මුදලකට පොහොර මිලදි ගන්න කියලා.කෝ එතකොට රජය ගොවින්ට නොමිලයේ දෙන්න කියපු පොහොර මිටිය.ඒකට මොකද වුණේ.මේ ජනපදයේ ඇතැම් ස්ථානවල පොහොර මිටිය රුපියල් 3000-3500 මිලට අලවි වෙනවා ඒ විදියට වැඩි මිලට විකිනෙන්න පොහොර කොහොන්ද මේ කළු කඩ මුදලාලිලාට.

මාර්තු මාසේ 16 දා තිබ්බ කන්න රැස්වීමේදි අනුරාධපුර දිසාපතිතුමා පොහොර දෙනවා වගාකරන්න කියපු නිසා තමයි අපි වගාකරේ.දැන් ගොයම කහවෙලා.ගොඩ බෝග කහ වෙලා ගිහිල්ලා ඇයි අසරණ ගොවියන්ට මේ විදියට කරන්නේ යනුවෙන් ඒ මහතා විමසූහ

රජය මගින් මහ කන්නයේ වගාවන් සදහා නොමිලයේම පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය කල්ලංචිය අවුකන ගල්නෑව විජිතපුර කැකිරාව මැදවච්චිය කහටගස්දිගිලිය ඇතුළු ප්‍රදේශ රැසකම ගොවින්ට එම පොහොර ලැබී නැති බවට ඔවුන් චෝදනා කරති.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts