portest

බාර් ඇරීමට විරෝධය පළ කරමින් කොටුවේදී විරෝධතා සිදු කරමින් සිටියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුළු ව්‍යාපාරිකයන්  දෙදෙනකු අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (20 ) නියෝග කර ඇත්තේ එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් හා අත්අඩංගුවට ගත් අනෙක් තැනැත්තා 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා  හරින ලෙසයි.

වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රට අගුලා ලා  තිබියදීත් මත්පැන් හල් විවෘත කර ඇති ආකාරයෙන්ම  තමන්ට ද වෙළෙඳ කටයුතු කිරීමට අවසර දෙන්නැයි බලකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට  දී එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමය විසින් 19 වැනි ඉරිදා  විරෝධතාවයක් දියත් කර තිබුණි.

එම ස්ථානයට පැමිණි  කොටුව පොලීස් නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උද්ඝෝෂණය දියත් කළ බවට චෝදනා කරමිනි.

තමන් විරෝධතාවය දියත් කරන්නේ  ආරක්ෂිත ඇලුම් ඇද සෞඛ්‍යාරක්ෂිත නීති යටතේ බව  චාල්ස් ප්‍රදීප් පොලිස් නිලධාරියාට පවසද්දි “ඔිවා කරන්න බෑ ලංකාවේ  ” යනුවෙන් තරු පැළඳ සිටි පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවන්ට පවසන ආකාරය අගනගරයේ මාධ්‍යවේදින්ගේ කැමරා කාචයට හසුව තිබේ.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් දෙදෙනා අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින්  පොලිසිය  දැනුම් දී  ඇත්තේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් ඔවුන්  නිරෝධායන නීතියට පටහැනි ආකාරයට එම උද්ඝෝෂණය සිදුකළ අතර  එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව තිබෙන හෙයින්  සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්  අවධාරණය කර ඇත්තේ තම සේවාදායකයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිරෝධායන නීතිය උල්ලංඝනය නොවන  ආකාරයට උද්ඝෝෂණය පැවැත් වූ බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම සැකකරුවන් දෙදෙනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර තිබේ

Similar Posts