elec

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්  ඇතැයි,  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ  සභාපති  රංජිත් විතානගේ මහතා පවසයි.

අනවශ්‍ය අවස්ථාවලදී අසාධාරණ හා දුෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 300ට ආසන්නවෙමින් පවතී. මේ පාඩු වලට හේතු වී ඇත්තේ ටෙන්ඩර් වලින් තොරව කෙටිකාලීනඅධික මිලට විදුලිය මිලදී ගැනීමයි.

පසුගිය කාලයේදී සෑම වසරකදීම මෙගා වොට් 400කට ආසන්න මෙගා වොට් ප්‍රමාණයක විදුලිය මෙලෙස අධික මිලට මිලදී ගෙන ඇත.එම සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී ඒකකයට රුපියල් 35/= සිට 65= දක්වාවු අධික මිලක් ගෙවා ඇත්තේ ඒකකය රුපියල් 15/= ක් වු අඩු මිලකට විදුලිය නිපදවා ගැනීමේ හැකියාව තිබියදීය.

මෙම විදුලිය ගැනීමේ ගනුදෙනු දූෂිත හානීති විරෝධි බව පෙන්වා ඒවාට අවසරය ලබා දීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. මේ වන විට ඉදිරි වසරේ සිට තවත් මෙගා වොට් 700 ක් පමණ කෙටිකාලීන පදනම මත ටෙන්ඩර් වලින් මිලදී ගැනීම සදහා ලංවිම සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සුදානම් වෙමින් සිටී.

එම දුෂිතවිදුලි ගනුදෙනු සිදුවුවහොත් රටට සිදුවන පාඩුව වසරකට රුපියල් බිලියන 175 කට ආසන්න වේ. ඒ අනුව ලබන වසර වන විට ලංවිම සමස්ත පාඩුව රුපියල් බිලියන 500 දක්වා ඉහල යනු ඇත.

මේ පාඩුව මකා ගැනීමට ඇති එකම විසදුම විදුලි ගාස්තු ඉහල නැංවීමයි. ඒඅනුව ලබන වසරේදී සිදුවන විදුලි ගාස්තු වැඩීවීම ඒකකයට රුපියල් 50/= ක් පමණ වනු ඇත. මාසේ විදුලිබිල ඒකක 30 කට පාලනය කරන අසරණ පවුලක විදුලි බිල රුපියල් 1500කින් ද ඒකක 90 පාවිච්චි කරන සාමාන්‍ය පවුලක විදුලි බිල රුපියල් 5000කින් ද ඉහල දැමීමක් සිදුවනු ඇත.

දුෂිත විදුලි ගනුදෙනු හා අසාධාරණ විදුලි ගාස්තු ඉහල දැමීමට විරුද්ධ වී විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කලේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. විදුලි මාෆියාවට ඇති ඒකම බාධකය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බව ඔවුන් තේරුම් ගෙන ඇත.

විටෙක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ බලය කප්පාදු කිරීමට තැත් දැරූ විදුලි උගුල් අටවන්නන් දැන් සැරසෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමා හිතු මිලට විදුලිය මිලදී ගැනීමටත් හීතු විටෙක විදුලි ගාස්තු ඉහල දැමීමටත්ය. කූඨ ව්‍යාපාරිකයින්, වංක නිලධාරීන් හා ඉංජිනේරුවන් අතලොස්සක් හා සටකපට දේශපාලනඥයින් දෙතුන් දෙනෙක්ගෙන් සැදුම් ලත් විදුලි උගුල් අටවන්නන්ගේ සංගමයේ නව අනුශාෂක ධුරයට ජනාධිපති ලේකම් වරයා පත් වී ඇති බව ඔහු විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට කල නියෝගය පෙන්වා දෙයි.

විදුලි ගාස්තු වැඩකිරීමකදී විදුලිය මිලදී ගත්තේ කීයටද යන්න දැන ගැනීමට විදුලි පාරිභෝගිකයාට අයිතියක් තිබේ. සිදුවන සියළුම විදුලි ගනුදෙනු වල තොරතුරු විදුලි පාරිභෝගිකයාට ලැබිය යුතු ය.

විදුලි ගාස්තු වැඩිකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයාට අදහස්  හා යෝජනා ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් තිබිය යුතු ය. අසාධාරණ විදුලිය මිලදී ගැනීම් වලට එරෙහි වීමටද විදුලි පාරිභෝගිකයාට අයිතියක් තිබිය යුතු ය. විදුලි පාරිභෝගකයා සතු මේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි.

එපමණක් නොව විදුලිය පිළිබද පැමිණිල්ලකදී විදුලි සේවාව සම්බන්ධයෙන් තමන්ට අසාධාරණයක් වු විටදී ඒ සදහා සාධාරණය ඉටු කරගැනීමට යෑමට ඇති එකම ස්ථානය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. විදුලි පාරිභෝගිකයා ආරක්ෂ කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට තැත් දැරීම ජනතාවාදී රජයක් අපහසුවට හා අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක් බව නොරහසකි.

මේ කුමන්ත්‍රණයේ හවුල් කරුවන් හෙලි කර ඔවුන්ට දඩුවම් කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය ජනාධිපතිතුමා හා අගමැතිතුමාගෙන් ඉල්ලා සීන බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ  සභාපති  රංජිත් විතානගේ මහතා පවසයි.

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Similar Posts