keheliya

රුසියාවෙන් මෙරටට ගෙන්වන ලද කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් පනස්දහසක් මහනුවර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම එන්නත් ප්‍රමාණය මහනුවර, පාතදුම්බර සහ පස්බාගේ කෝරළය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශවලට ලබා දෙන බව අද (12) පල්ලකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැති කොවීඩ් මර්ධන පසුවිපරම් රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

වයස අවුරුදු 60ට වැඩි අය සඳහා මෙම එන්නත් ලබාදීමට මෙම සාකච්ඡාවේදී තීන්දු කර ගත් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වාහන ආනයනය කිරීම සිතාමතා අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කර ගැනීමට ගෙන ඇති තීරණයක් යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා, වාහන ආනයනය කිරීම අවලංගු කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු යොදා ඇති බව ද කීවේය.

නමුත් එය යම් ක්‍රියාපටිපාටියකට අනුව සිදුවිය යුතු යැයි සදහන් කළ අමාත්‍යවරයා, අවලංගු කිරීම ක්ෂණියව සිදුකළ නොහැකි නමුත් බැංකු ඇතුලු අදාල ආයතන දැනුවත් කොට අවලංගු කිරීමේ ක්‍රියවලිය මේ වන විට ආරම්භ කොට ඇතැයි ද සදහන් කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන  දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත යාපා බණ්ඩාර,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ උයදන කිරිඳිගොඩ, තිලක් ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය යන මහත්වරු ඇතුලු පිරිසක් මේ සාකච්ඡාව සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts