keheliya

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා සමඟ පැවති සාකච්ඡා සාර්ථක මට්ටමක පැවති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් ලබන සදුදා දින කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාව සාර්ථක මට්ටමට පත් වුණු බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා තමන් සමඟ ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා කීවේය.

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ වැරැල්ලගම නව ශාඛාව විවෘත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරිණ.

නිදහස් අධ්‍යාපනය කිසිවකුටත් බාධාවක් නොවිය යුතු යැයි එහිදී ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඇතැම් දෙමාපියන් දරුවන්ට ඉගැන්වීම සඳහා අති විශාල මුදලක් වැය කොට විදේශීය අධ්‍යාපනය ලබා දෙන්නේ නිදහස් අධ්‍යාපනයේ සැබෑ ප්‍රතිඵල නොලැබෙන නිසා වියයුතුයැයි ද කීවේය.

නමුත් නිදහස් අධ්‍යාපනය නූතන අධ්‍යාපනයේ සමඟ ඉදිරියට ගමන් කළ හැකි තත්ත්වයක් බවට පත්කළ යුතුව ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

දෙමාපියන් නිවාස දේපළ පවා උකස් කොට මුදල් වැයකොට දරුවන්ට විදේශීය අධ්‍යාපනය ලබා දෙන්නේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ තියෙන ගැටළු සහගත තත්වය නිසා යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගියදා ගිනිබත් වුණ නැව හා සම්බන්ධ වන්දි ලබා ගැනීම පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සාකච්ඡා කරන බවත් ඒ වෙනුවෙන් ඉදිරිපත් විය හැකියි ලෝකයේ ප්‍රබල ආයතන තිබෙන්නේ දහයක් වැනි අතලොස්සක් යැයි අමාත්‍යවරයා කීවේය. දැනට ප්‍රබල ආයතන දෙකක් සමග සාකච්ඡා කරන බව කී අමාත්‍යවරයා විටින් විට අධිකරණ අමාත්‍යවරයා විසින් එහි ප්‍රගතිය කැබිනට් මණ්ඩලය වෙත වාර්තා කරන බවද කීවේය.

වසර ගණනාවක් ඉදිරියට බලපැවැත්වෙන පරිදි වන්දි ලබා ගැනීම කළ යුතු බැවින් එම කාර්යය එතරම් පහසු නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ හාරිස්පත්තුව වැරැල්ලගම නව තැපැල් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා, හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts