law

ලංකාවේ අද කවුරුත් කතා කරන ප‍්‍රශ්ණය නම් වෙන කොයිම කාලයකවත් සිදු වූවාට වඩා රටේ ආර්ථිකය විශාල අගාධයකට වැටෙමින් පවතින බවය. එය ප‍්‍රකාශයට පත් කරන්නේ එක් අතකින් විදේශ විනිමය පිළිබද ඉතා බරපතල ගැටලුවක් ලෙසය. භාණ්ඩාගාරයේ මුදල් සංචිතය පවා ඉතාමත් පහලට වැටෙන තත්වයක් උදාවී  ඇති බව රජය මෙන්ම විරුද්ධ පක්ෂයද, ආර්ථික විද්‍යාඥයෝද එකසේ කියා සිටී.

ණය වාරිකයන් ගෙවා ගැනීමට තරම්වත් ආදායමක් උපයා ගැනීමට බැරි වීම නිසා ජාත්‍යන්තරව ආර්ථික ගණුදෙනු සම්බන්දයෙන් ලංකාව විශ්වාස කල නොහැකි රාජ්‍යයක් ලෙස වැටේය යන අනතුරු ඇගවීමද මේ සියලු දෙනා විසින්ම කරනු ලබයි.

රටේ රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවා ගැනීම පිළිබදව සැක සහිත තත්වයක් පවතින බවද එසේම පවසති. රට පුරාම පැතිරී පවතින ගුරුවරුන්ගේ වැඩ වර්ජනයේ ප‍්‍රධාන ඉල්ලීමක් වන්නේ ඉතා සුලු ප‍්‍රමාණයකින් ගුරුවරුන්ගේ පඩි වැඩි කිරීමකි. එය සාධාරණ ඉල්ලීමක් යැයි අග‍්‍රාමාත්‍යවරයා ඇතුලු රජයද පිලිගෙන ඇත. එසේ වූවත් ඔවුන්ට එම ඉල්ලන මුදල් ගෙවීම සදහා රටේ මුදල් නැති බව ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත. මේ අතර රටේ ගොවි ජනතාවට පොහොර ගෙන්වීම පවා නතර කරන තත්වයක් උදාවීම නිසා ඉදිරි මාස ගනන් වලදී ආහාර හිගයක් හා සාඝතයක් ඇති වේය යන මතයද අද පොදුවේ කතාවට භාජනය වන තේමාවකි.

මේ සියල්ල වටා සාකච්ඡාවන ආර්ථික ගැටලුව නම් රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීමට බැරිවීමත් එම නිසා රටේ අපනයනයන් වැඩි කර ගැනීමටද නොහැකි වීමත් යන කරුණු දෙකය. රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීමට බැරි ප‍්‍රධාන හේතුව වන්නේ එම නිෂ්පාදන කර්තව්‍ය සදහා මුදල් ආයෝජනය කිරීමට ආයෝජකයන් රට තුල නැති කමයි. අනිත් අතට රටට වෙනත් රටවල ආයෝජකයන් ගෙන්වා ගැනීමට බැරි ප‍්‍රමාණයක අස්ථාවරත්වයක් රටේ පැවතීම නිසා එම ආයෝජකයන් ගෙන්වා ගැනීමද අමාරුවෙන් වත් කර ගැනීමට බැරි කටයුත්තක් බවට පත් වී ඇත.

මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීම සදහා ඔනෑම විදියක කොන්දේසියකට යටත් වීමට පවා රජය කැමැත්ත ප‍්‍රකාශකර සිටී. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු වලදී පවත්වාගෙන යන නීති රාමුව පසෙකින් තබා කටයුතු කිරීමටත් රජයට එවනි කටයුතු පාලනය කිරීම සදහා ඇති අයිතිවාසිකම් අතහැර හෝ ආයෝජකයන් ගෙන්වා ගැනීමේ ප‍්‍රයත්න වල යෙදීම ද මේ දිනවල පොදුවේ සාකච්ඡා වන තවත් තේමාවකි.

මෙම සියලුම සාකච්ඡා පිළිබදව සලකා බැලීමේදී පෙනී යන්නේ මේ සියල්ල මතුපිට තලයේ සාකච්ඡාවන් පමණක් වන බවය. ඉහත සදහන් කරන ලද කිසියම්ම හෝ ගැටලුවක් අලුත් දෙයක් නොවේ. කාලාන්තරයක් තිස්සේ වර්ධනය වෙමින් පවතින ක‍්‍රියාදාමයන්ගේ තාර්කික අන්තය ලෙස දැන් මෙම මතු පිට තලයේ පෙනෙන්ට ඇති ප‍්‍රශ්ණ සියල්ලම මතු වී ඇත. මෙයින් අදහස් වන්නේ කොපමණ වාතාවක් මෙවැනි ප‍්‍රශ්ණ ඇතැයි කියා පුනරුච්චාරණය කලත් ඒ මගින් මෙම කිසිම ප‍්‍රශ්ණයක් නොවිසදෙන බවය. ඇත්තෙන්ම කිසිවකුත් මෙම ප‍්‍රශ්ණයට උත්තරයක් අවශ්‍යය යන දෘෂ්ඨි කෝණයේ සිට මෙම ප‍්‍රශ්ණය කරා අවතීරණය වීමට උත්සාහ කරන්නේ නැත. සියල්ලන්ම කරන්නේ ප‍්‍රශ්නයේ විවිද පැති කියා පෑම මිස ප‍්‍රශ්ණයට විසදුමක් කරා අවතීරණය වන මාවතක් දෙස බැලීමට අකමැති වීමය.

මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් සිදු වී ඇත්තේ පවතින ආණ්ඩුව යටතේ මෙම ගැටලු විසදා ගැනීමට කිසිදු මාවතක් ඇති වෙනත් කිසිදු දේශපාලන ප‍්‍රවණතාවයකුත් නැති වීමය. සියලුම දේශපාලන මතවාදයන් ඉස්මතු කරන්නේ ගැටළුවේ ඇති ගැඹුර පමණි. එහෙත් ගැටළුවෙන් ගොඩ ආ හැකි ක‍්‍රමයක් ඇත්ද නැත්ද යන්න ගැන කතාවක් පවතින්නේම නැත. එසේ විසදුමක් කරා යොමු වීමකින් තොරව සිටීමටද හේතු ඇත. එම හේතු නම් මෙම ගැටලු මතුවී තිබෙන්නේ හුදෙක් ආර්ථික ගැටලු වශයෙන් පමණක් නොවේ. ඒවා මූලිකවම පෙන්නුම් කරන්නේ පාලන තන්ත‍්‍රයේ කඩා වැටීම පිළිබදව ඇතිවී තිබෙන තත්වයි. කවුරුත් විසදා ගැනීමට බැරි ප‍්‍රශ්ණය ලෙස සලකන්නේ රටේ කඩා වැටී ඇති පාලන තන්ත‍්‍රය නැවත වරක් ක‍්‍රියාත්මක කරවා ගැනීමට හෝ හැකි පමණකට අත පෙවීමටවත් හැකි ක‍්‍රමයක් පවතීද යන ප‍්‍රශ්ණයයි.

රජ්‍යතන්ත‍්‍රයේ කඩාවැටීම දැන් පටන්ගත් දෙයක් නොව එයට දශක ගණනාවක ඉතිහාසයක් ඇත. රටේ නව පරිපාලන ක‍්‍රමයක් ඇති කිරීම සිදුවන්නේ 19 වන ශතක වර්ශයේදීය. එම පරිපාලන රටාව ගොඩනැගීම මූලිකත්වය ගන්නා ලද්දේ එකල රට පාලනය කල යටත් විජිතවාදී බ්‍රිතාන්‍යයන් විසිනි. ඉන් පෙර පැවති පාලන ක‍්‍රමය වර්ථමාන ලෝකයේ මද්‍යගත යැයි සැලකෙන පාලන ක‍්‍රමයට සමාන එකක් නොවීය. ඇත්තෙන්ම ඒ ආකාරයෙන් වර්ධනය වූ රාජ්‍යක‍්‍රමයක් 19 වන ශත වර්ෂයට පෙර ලංකාවේ පැවතුනේද නැත. ලංකාවේ මූලික රජ්‍යතන්ත‍්‍රය වර්ධනය කර ගැනීමේ දී වෙනත් යටත් විජිතවලදී මෙන්ම බ්‍රිතාන්‍යන් අනුගමනය කල ක‍්‍රියාමාර්ගයන් ගණනාවක් විය. ඉන් මුල්ම කරුණ වූයේ රට තුල අලුත් ආයතන ගණනාවක් නිර්මාණය කිරීමය. විද්‍යාව හා විවිධ ව්‍යාපාරයන් ගොඩ නැගීම පිලිබදව එක් අංශයක් වර්ධනය කරන ලදී. ප‍්‍රසිද්ධ වැඩ හෙවත් ප‍්‍රසිද්ධ ව්‍යාපාර යනුවෙන් පසුව හැදින්වෙන වැඩ කටයුතු ගණනාවක්ම හදුන්වන ලද්දේ එම පියවර ඔස්සේය.

දුම්රිය මාර්ගයන් සෑදීම හා ඊට අදාලව පරිපාලන ක්ෂේත‍්‍රයන් වර්ධනය කිරීම ආදී සියල්ල පසුපස එක්තරා යන්ත‍්‍රණයක ගොඩ නැගීමක්ද සිදු විය. එමෙන්ම රටේ සියලුම වැඩ කටයුතු රජයේ පරිපාලනය යටතේ කරගැනීම සදහා සිවිල් සේවයක් ඇති කරන ලදී. මෙම සිවිල් සේවයේ විවිධ අංගයන් විය. එක අතකින් ග‍්‍රාම්‍ය නිළධාරීන් ලවා බදු එකතු කිරීම ආදී කටයුතුත් රටේ පුරවැසියන් හා පරිපාලන යාන්ත‍්‍රණය අතර සම්බන්දය ඇති කර ගැනීමත් සිදු කරන ලදී.

මේ හැර රජයේ වැඩ කටයුතු සිදු කර ගැනීම සදහා ලිපිකරුවන් ආදිය පුහුණු කිරීමද සිදු විය. මේවා කර ගැනීමේ දී තමන්ගේ පහසුව සදහා ඉංග‍්‍රීසි අධ්‍යාපනයක් ලබාදීම එක් අතකින් කෙරුනු අතර ඒ සමගම රටේ පරිපාලනය ගෙනයාමට අවශ්‍ය වන විනය පිළිබදව අදාල නීති මෙන්ම පුහුණුවත් විනය ක‍්‍රියාමාර්ගත් ඇති කරන ලදී.

මේ හැර පොලීසිය, නීතිපති ක‍්‍රමය, අධිකරණ ක‍්‍රමය ආදී විවිධ ක්ෂේත‍්‍රයන් මුලුමනින්ම අලුතින්ම පටන් ගෙන ඒවාට අදාල පුද්ගලයන් පුහුණු කිරීමද සිදු විය. මේ කාලය තුල එංගලන්තයෙන් පැමිනි ඉංග‍්‍රීසි ජාතිකයන්ද ලංකාව තුල ටිකින් ටික වර්ධනය වීමට ගත් සිංහල දෙමළ ආදී නව පරපුරක සේවක සේවිකාවන්ද ඇති  වීම 19 වන ශතවර්ෂය පුරා දැකිය හැකිය. මේ අනුව පරිපාලන ක්ෂේත‍්‍රයෙහිලා 19 වන ශතවර්ෂය තුලදී එක්තරා ශිෂ්ඨාචාරාත්මක වෙනසක් ඇත වූ බව පෙනේ. එම වෙනස තවත් වැඩි දුරටත් ගෙන යාම සදහා විවිධ ඉහල අධ්‍යාපන ආයතන ඇතිවීමද දැකිය හැකිය. වෛද්‍ය විද්‍යාලය, නීති විද්‍යාලය, ලංකාවේ පළමුවන විශ්ව විද්‍යාලය හා වෙනත් කාර්මික විද්‍යාල ආදිය සියල්ලම ගොඩනගන ලද්දේ පරිපාලනය නිසි ලෙස කරවා ගැනීමට අවශ්‍ය වන මානසික තත්වය මෙන්ම ප‍්‍රායෝගික පුරුදු ද ඇති කරවීම සදහායි.

මේ සියල්ල කරවා ගැනීමට පසුබිම වූයේ පොදුවේ කාටත් බලපාන නීති ක‍්‍රමයක් පැවතීමය. බ්‍රිතාන්‍යයේ පැවති නීතීන් ලංකාව තුලට ගෙන ඒම මගින් ලංකාවේ විවිධ කටයුතු සම්බන්දයෙන් සියලු අංශයන් කෙරෙහි බලපාන විවිධාකාර නීතීන් ඇති කරන ලදී. මේ අනුව ඉහත සදහන් කරන ලද පරිපාලන ක්ෂේත‍්‍රය ක‍්‍රියාත්මක වූයේ ඉහතකී නීතීන් වටාය. නීතියට යටත් වුනු පරිපාලන ක‍්‍රමයක් මේ ආකාරයෙන් සකස්වෙමින් වර්ධනය විය.

එම නීති ක‍්‍රමය මත සමස්ථ පරිපාලන ක‍්‍රමය මෙන්ම රටේ සියලුම ක‍්‍රියාවන් කරවා ගැනීම සදහා අවශ්‍ය වූ අපරාධ නීතිය හා අපරාධ නීතිය ක‍්‍රියාත්මක කරවා ගැනීමේ වැඩ පිළිවෙලද බ්‍රිතාන්‍යයන් අතින් සිදු කෙරිනි. දණ්ඩනීති සංග‍්‍රහය, අපරාධ පරීක්ෂණය සදහා විදි (Criminal Procedure Code) ආදිය විසින් කරන ලද්දේ ඉහතකී අකාරයට ප‍්‍රතිසංවිධානය කරන ලද රට එකම විනයක් යටතේ පවත්වාගෙන යාමට කරන ලද උත්සාහයයි.

රටේ ආර්ථික ක‍්‍රමය ක‍්‍රියාත්මක වූයේ ඉහත කී නෛතික හා පරිපාළන රාමුව තුළය. පළමුවෙන් කෝපි වගාව පසුව තේ වගාව වෙනත් ව්‍යාපාර ඇතිවීම මෙන්ම රජයේ විවිද කටයුතු පාරවල් ගොඩනැගීම දුම්රිය ආදිය පවත්වාගෙන යෑම ඒවායේ ගමන් පිලිබදව හැසිරවී මේ ආකාරයෙන් දහසකුත් සමාජීය ක‍්‍රියා එකට බැද තබන ලද්දේ මෙවැනි නීතිමය හා පරිපාලන ක්ෂේත‍්‍රයක් යටතේය.

ලංකාවේ දැන් පවතින අර්බුදයේ මූලය නම් එම නෛතික ක්ෂේත‍්‍රය හා පරිපාළන ක්ෂේත‍්‍රය ක‍්‍රමයෙන් නැති වීමය. එයට හේතු වූ විවිද දේශපාලන කරුනු සාකච්ඡා කිරීම මේ අවස්ථාවේ දී අදාල නැත. අදාල වන්නේ එවැනි දෙයක් රට තුල සිදු වූ බව පිළිබදව ඇති විය යුතු දැඩි එකගතාවයයි. රටක් යම් සාධාරණ පිළිවෙලක් යටතේ පැවතීමට අවශ්‍ය වුනු නෛතික හා පරිපාලන රාමුව ලංකාව තුලදී විනාශ කරන ලදී. එය අද මූල්‍ය ක්ෂේත‍්‍රය හා ඒ වටා සියලුම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන් මෙන්ම නිෂ්පාදනයට අදාල සියලුම කරුණුත් සමාජය තුල විනයක් පවත්වාගේ යෑම ආදී කරුනුත් ආදී සියල්ලටම බලපාන ප‍්‍රධානම ගැටලුව බවට පත්ව ඇත.

නඩු පමාව හා රාජ්‍ය තන්ත‍්‍රයේ කඩා වැටීම

බොහෝ දෙනෙකු නඩුපමාව සලකන්නේ හුදෙක්ම ජනතාවට ඇති කරන කරදර මාලාවක් ලෙස පමණය. එහෙත් මේ හැර සමස්ථ පාලනතන්ත‍්‍රය කෙරෙහි නඩු පමාව බලපා ඇති ආකාරය වටහා ගතහොත් ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීම ඇතුලු වෙනත් ප‍්‍රශ්ණද, වෙනත් ආර්ථික ගැටලුද නඩු පමාව සමග බද්ධ වී ඇති බව පෙනීයනු ඇත.

ආයෝජකයන් ගෙන්වා ගැනීමට පවතින ඉතාම ප‍්‍රධාන බාධකය ලෙස පවතින්නේ රටපුරාම පැතිර පවතින දූෂණයයි. දූෂණයට විරුද්ධව කොපමන නීති ඇතත් එම නීති ක‍්‍රියාත්මක කිරීමක් සිදු නොවන තත්වයක් ඇති කොට තිබේ. එම නිසා දූෂණය පාලනය කර ගැනීමට ලංකාවේ ආණ්ඩුවලට එක අතකින් බැරිවීමක් පවතින අතර අනිත් අතින් සමහර ආණ්ඩවලට දූෂණය නැති කිරීමට ගන්නා උත්සාහයන් පරාජය කිරීමටද උවමනාවක්  ඇති බවද පෙනෙන්ට ඇත. මේ සියල්ල කරවා ගැනීමට නඩුපමාව ඉතා විශාල ලෙස බලපායි.

නීතියක වැදගත්කම ඇත්තේ එය ක‍්‍රියාත්මක කිරීමට ඇති හැකියාව මත පමණය. ලංකාවේ මූල්‍ය ක‍්‍රමය වටා පැවතුනු මූල්‍ය පාලන රාමුවක් (A regulatory framework of finance) පැවතියේය. එම රාමුව පවත්වාගෙන ගියේ නම් මුදල් පිළිබදව අද පවතින ගැටලු බොහෝ දුරට ඇති නොවීමට ඉඩ තිබුනි. අඩුම වශයෙන් මෙම ප‍්‍රශ්ණ මහාපරිමාණ ප‍්‍රශ්ණයක් වීම වලක්වාලීමට ඉඩ තිබුනි. එහෙත් මෙම මූල්‍ය ක‍්‍රමය පාලනය කිරීමේ ව්‍යූහය අකාර්යක්ෂමතාවයට පත් කරන ලද්දේ අධිකරණ මගින් මෙම ව්‍යූහ නෛතික වශයෙන් පවත්වාගෙන යාම තහවුරු කිරීම වලක්වාලීම මගිනි.  ආර්ථිකය මගින් ඇතිවී ඇති සියලුම ගැටලුවල පිටුපස ඇත්තේද එම ප‍්‍රශ්ණයයි.

නීතිය මත පාලනය පිළිබදව පවතින මූලික සිද්ධාන්තය නම් රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාධාමය භාරව කටයුතු කල යුත්තේ අධිකරණය බවය. නීතිය මත පාලනය යනුවෙන් දැන් සිංහලට නගා ඇති Rule of Law නැමති කෘතිය තුල ටොම් බින්ග්හැම් (Tom Bingham) කියා තිබෙන නීතිය මත පාලනය ගැන නිර්වචනය මෙසේය.

‘‘දැනට පවත්නා මූලධර්මයේ හරය බවට මා යෝජනා කරන්නේ, රාජ්‍යයක් තුලින් ක‍්‍රියා කරන සියලු තැනැත්තන්, ඔවුන් පොදු හෝ පුද්ගලික තැනැත්තන් වූවත්, ප‍්‍රසිද්ධියේ සාධන ලද, අනාගතයේ බලපවත්වන :සාමාන්‍ය වශයෙන්* සහ උසාවි වලින් ප‍්‍රසිද්ධියේ පරිපාලනය කරනු ලබන නීති වලින් බැදී සිටිය යුතු බව සහ ඒවායේ ප‍්‍රතිලාභවලට හිමිකම් කිව යුතු බවයි.’’

එම අධිකරණයේ නඩු පමාව මගින් කරනු ලබන්නේ අධිකරණයට මෙම ක‍්‍රියාවලිය නෛතික රාමුවක් යටතේ පාලනය කිරීමට ඇති ඉඩ කඩට බාධා කිරීමය. මේ අනුව කිසියම්ම අභ්‍යන්තර නීති මාලාවක් කි‍්‍රයාත්මක කිරීමට බැරි තත්වයක් නිර්මාණය වේ.

විනය යන වචනයෙහි නෛතික අර්ථය නම් නීතිමය රාමුවක් යටතේ කටයුතු කිරීමය. වර්ථමාන ආණ්ඩුව විනය පිළිබදව නොයෙන් දේ කියා ඇති නමුත් රෙට් නෛතික රාමුව මුලුමනින්ම යටපත් වීමට ඉඩදීම මගින් කිසිදු විනයක් රටතුල පවත්වාගෙන යාමට බැරි තත්වයක් නිර්මාණය කොට ඇත. එය අන් සියලු කරුනු වලට මෙන්ම ආර්ථිකයේ දියුණුවටද විශේෂයෙන් බලපායි.

ආර්ථිකයේ අනාගතය දියුණු කිරීමට විවිධ යෝජනා කර ඇතත් ඒ කිසිම යෝජනාවක් පවතින මූල්‍ය පාලන රාමුව තුල කල නොහැකිය. ඊට හේතුව නෛතික වශයෙන් පැවතිය යුතු මූල්‍ය පාලන රාමුව ලංකාවේ දැන් බොහෝ සෙයින් බිද වැටී ඇති නිසාය.

මේ නිසා නඩුපමාව පිළිබද ප‍්‍රශ්ණය හුදෙක්ම ජනතාවට සිදුවන කරදරයක් ආකාරයේ ප‍්‍රශ්ණයකින් එපිටට ගොස් ආර්ථිකයේ විනාශයට හේතුවන ගැටලුවක්සේ දැකීමේ හැකියාව රටේ ජනතාව තුලත් විශේෂයෙන්ම රටේ බුද්ධිය මෙහෙයවන්නන් තුළත් ඇති වුවහොත් නීතියේ පමාව පිලිබද ප‍්‍රශ්ණය විසදීමට මීට වඩා තීරණාත්මක පියවර ගන්නවා ඇත. එවැනි තීරණාත්මක පියවරින් තොරව ලංකාවේ ආර්ථිකයට අනාගතයක් නැත.

බැසිල් ප‍්‍රනාන්දු

Similar Posts