මතුගම “ප්‍රජා පැතුම් පුර ගම්මානයේ ජනතාව වසර 14 ක් තිස්සේ පානීය ජලය ඉල්ලා වගකිවයුත්තන්ට ලියුම් දුන්නත්, ඉල්ලීම් කලත් . විරෝධතා දැක්වුවත් තවමත් තමන් පිපාසෙන් යැයි, ගම්වාසින් කියති. සුනාමි ඛේදවාචකයෙන් උන්හිටි තැන් අහිමිවු ජනතාව වෙනුවෙන් ඉදිකල මෙම ගම්මානයේ 2006 වර්ෂයේදි තමන් පදිංචි කලත් එදා මෙදාතුර වසර 14 ක් තිස්සේ ගෙවත්තේ වතුර නැති ළිංවලට සාප කරමින් සිටින බව ඔවුන් කියති.

පර්චස් දහයේ කුඩා බිම් කැබලි වල නිවාස තනා ළිං කපා ඇතත් අඩි හැට හැත්තෑව යට හෑරුවත්, වතුර ගැලුමක්වත් නැතැයි පදිංචිකරුවන් කියති.

ඇතැම් නිවාස වලට එවැනි ළිං හෝ නැති නිසා වතුර සොයා කිලෝමිටර දෙක තුන ඈත ප්‍රදේශවලට යාමට සිදුව ඇතැයි ප්‍රජා පැතුම්පුර ගම් වැසියන් කියති.මතුගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට , ප්‍රාදේශිය සභාවට, කළුතර දිසා ලේකම් කාර්යාලයට, ප්‍රදේශය නියෝජනය කරන මැති ඇමති වරුන්ට, ප්‍රදේශයේ පක්ෂ – විපක්ෂ දේශපාලනඥයින්ට කටේ කෙළ හිදෙන තෙක් කොතෙක් කිවත් තවමත් ප්‍රජා පැතුම් පුරට වතුර නැතැයි පදිංචිකරුවන් චෝදනා කරති.

 දිල්කා ගමගේ මහත්මිය – ප්‍රජා පැතුම්පුර

වතුර නැතිව අපි අපමණ දුකක් විදිනවා. කිලෝමිටරයක් විතර දුර ගිහිල්ලා දරුවන් නාවගන රෙදි හෝදගන එනවා. වැහි වතුර එකතුකරගෙ ගෙදර වැඩට ගන්නවා. පායන කාලෙට රස්සාවලට යන එක නතර කරල ගමේ මිනිස්සු වතුර හොයන්න යනවා.මතුගම අලුත්ගම මාර්ගයේ ප්‍රධාන ජල ව්‍යාපෘතියෙන් මේ ගම්මනයට වතුර දෙන්න පුළුවණි. එහෙම නැත්නම් ගම්මානයට පොදු ළිදක් කපල ටැංකියක් ගහල හරි වතුර දෙන්න කියල කියන්න , ලියන්න තියෙන හැම කෙනාටම කිව්වා. ලිව්වා.

පද්මලතා මහත්මිය

වැහිවතුර එකතුකරගන උයන්න පිහන්න ගන්නවා. අත, කට හෝදන වතුර ටික වැසිකිළියට ගන්නවා. රෙදි එකතුකරගන ගෙවල් ගානෙ ගිහිල්ලා අහල පහල වලකින් හෝද ගන්නවා. අඩි හැටක් විතර ගැඹුරට ළිද කපල වතුර මෝටරය ළිද ඇතුලට දාල වතුර ලිටර් දෙක තුනක් ගන්නවා. පායන කාලෙට ඒකත් නෑ. ඡන්ද කාලෙට එන දේශපාලනඥයො පොරොන්දු දිල යනව. එච්චරයි. පහුගිය කාලෙ ගමට වතුර දෙන්න පොදු ළිදක් කැපුවා. ඒකත් අතර මග නතරකරල දාල තියෙනවා.

ඩබ්ලිව්. ඩි. රංජනි මහත්මිය

සුනාමියෙන් අසරණ වෙච්ච මිනිස්සු අද තවත් අසරණ වෙලා. හරියට පාරක් තොටක් නෑ. වහින කාලෙට වැහි වතුර එකතුකර ගන්නවා. ළිංවල වැහි වතුර එකතුවුණාම ටික දවසක් බොනවා. ඊට පස්සෙ ආයෙත් වතුර හොයන්න ගම වටේම යනවා.

නිමාලක සුරංග විරසුරිය මහතා – මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි

මේ ගම්මානයේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වතුර නැති එකයි. පායන කාලෙට මිනිස්සු අසරණ වෙනවා. ළිං කැපුවට වතුර නැහැ. මගේ ගෙදර ළිදේ වතුර ටික ටැංකිවලට දාගන ලොරියක පටවල ගිහිල්ල ඒ මිනිසුන්ට බොන්න දුන්නා. මතුගම – අළුත්ගම ජල ව්‍යාපෘතිය මේ ප්‍රදේශයට දීර්ග කලයුතුයි. නැතිනම් මේ ප්‍රදේශයට පානිය ජලය ලබාදෙන්න ජල ටැංකියක් ඉදිකල යුතුයි.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts