අයවැය හිඟය සහ රාජ්‍ය ණය

debt

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල් වලින් හෝ අඩුවෙන් ලැබූ ආදායම නිසා ආර්ථිකයේ වර්ධනයක් නොවීමයි.

අඩුවෙන් ආදායම ලැබෙන්නේ බදු අඩු කිරීම නිසාය. ව්‍යාපාරිකයන්ට බදු අඩු කිරීම මගින් ඔවුන්ගේ නිෂ්පාදනය ඉහළ ගොස් ආර්ථිකය වර්ධනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

වැඩිපුර ප්‍රාග්ධන වියදම් කිරීම මගින් ආර්ථිකය ප්‍රසාරණය වේ. එබැවින් අඩුවෙන් ආදායම් ලැබීම නිසාද වැඩියෙන් වියදම් කිරීම නිසාද යම් හෙයකින් ආර්ථිකයේ ප්‍රමාණාත්මක වර්ධනයක් වූවා නම් ගෙවීමට ඇති ණය ආර්ථිකයේ විශාල වූ ප්‍රමාණයට සාපේක්ෂව අඩු අගයක් ගන්නා නිසා ණය පිලිබඳ ප්‍රශ්ණය ප්‍රශ්ණයක් නොවනු ඇත.

ශ්‍රී ලංකා මහබැංකුවේ 2020   වාර්ෂික වාර්තාවේ 6 වන වගුවේ සහ 7 වන වගුවේ දැක්වෙන රාජ්‍ය මුල්‍ය සහ රාජ්‍ය ණය තොරතුරු අනුව පිළියෙළ කළ වගුවක්  පහත දක්වා ඇත.

එහි 1950 සිට 2020  දක්වා අයවැය හිඟය ද (1954 සහ 1955 වර්ෂ වල අයවැය අතිරික්තයකි. ඒ අනුව ඒ වර්ෂ දෙකේ පිළිවෙලින් රු. මිලියන 24 ක සහ 117 ක අතිරික්තයක් ඇත.) අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසද, එක එක වර්ෂය අවසානයේ රාජ්‍ය ණය ද, අදාල වර්ෂය තුල වැඩිවූ රාජ්‍ය ණය ප්‍රමාණයද, රාජ්‍ය ණය  දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසද දැක්වේ.

එක එක වර්ෂයේ අයවැය හිඟයේ  සහ රාජ්‍ය ණය වැඩිවීමේ අගයයන් සමාන නොවුනත් ආසන්න වශයෙන් සමාන වේ. මුළු කල පරාසය තුලම අයවැය හිඟයයන්ගේ එකතුව රු. බිලියන11,376 කි.  වර්ෂ 2020 අවසානයේ දී මුළු රාජ්‍ය ණය රු. බිලියන  15,117  කි. මේ අගයයන් දෙකේ වෙනස රු. බිලියන 3,741 කි.

විදේශ ණය සම්බන්ධයෙන් රුපියල අව ප්‍රමාණය වීම නිසා වැඩිවන අනුරූප රුපියල් ප්‍රමාණය ඇතුළු තවත් හේතු නිසා මෙවැනි වෙනසක් ඉතිරිවේ. වර්ෂ 1950  සිට 2020 දක්වා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පහත දැක්වෙන ප්‍රස්ථාරයේ දක්වා තිබේ

මෙම තත්ත්වය ලඟා කර ගැනීම සඳහා නිදහසෙන් පසු සිටි සියළුම ආණ්ඩු වගකිව යුතුවේ. අවසාන තීරුවේ දැක්වෙන රාජ්‍ය ණයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතය අනුක්‍රමයෙන් පහල යන අවස්ථා වලදී එයට හේතුව ආර්ථිකයේ වෘද්ධියක් ඇතිවීමයි. මෙම ප්‍රතිශතය වර්ෂ 1988 දී ද නැවත 2001 දීද 100% ඉක්මවා ගිය අතර පසුව ඇතිවුන ආර්ථික වෘද්ධිය නිසා එම අගය පහල මට්ටමකට වැටුණි. නැවතත් 2020 දී එය 100% ඉක්මවා ගොස් ඇත.

මෙයට අමතරව රාජ්‍ය ණය තත්ත්වය බරපතල වන තවත් හේතුවක් තිබේ.  එනම් ලංකාව 1997 දී අඩු මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමයි. එහි පදනම ඒක පුද්ගල ආදායමයි. ඉන්පසු අඩු පොලී ණය රටට නොලැබේ. වාණිජ ණය වන ඩොලර් බැඳුම්කර වල පොලී අනුපාත වැඩිය. එමෙන්ම ඒවා සංවර්ධන ණය මෙන් දීර්ඝ කාලීන ද නොවේ.

එබැවින් ගෙවීමට සිදුවන පොලිය වැඩිවීම සහ ඉක්මනින් ගෙවීමට සිදුවීම නිසා වාර්ෂිකව ගෙවිය යුතු ණය පොලිය සහ වාරිකය අනුක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. දීර්ඝ කාලීනව රටේ අපනයන ආදායම ආනයන වියදමට වඩා අඩු බැවින් රටේ විදේශ සංචිත වල හිඟයක් ද තිබේ.එබැවින් තත්ත්වය අනුක්‍රමයෙන් බරපතල වෙයි.

පහත සඳහන් ප්‍රස්ථාරයෙන් පෙන්වන පරිදි රටේ බදු ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අනුක්‍රමයෙන් අඩු වෙමින් යයි.1990 දී 20% කට ආසන්නව තිබු මෙම අනුපාතය   2014 දී  10%  ක් දක්වා අඩුවී තිබුණි. මෙම තත්වයද අයවැයේ හිඟයකට බලපායි. වර්ෂ 2004  සිට  2014 දක්වා රාජ්‍ය ණයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතය 102%  සිට  72% දක්වා අඩු වී ඇත.

එමෙන්ම පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී රජයේ විවිධ ආයතන වලට කෙලින්ම විදේශ බැංකු වලින් සහ ද්වි පාර්ශ්වික ණය ලබා ගැනීමට පහසුකම් සැලසීම නිසා එම ණය රාජ්‍ය ගිණුම් වල පෙන්වනු නොලැබේ.

එබැවින් රටේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තා වල නොමැත. රාජ්‍ය ණය එක්තරා ප්‍රමාණයකට අඩුවෙන් පෙන්නුම් කරන අතර එය කොපමණක් දැයි නිශ්චිතව කිව නොහැක. එම වාර්තා ප්‍රසිද්ධ කරනු නොලැබේ. මෙය බරපතල තත්ත්වයකි.

රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස-1950-2020

(මුලාශ්‍රය: ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව 2020)

 

රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස-1990-2019

ayawaya

(මුලාශ්‍රය: ලෝක බැංකුව https://data.worldbank.org/)

අයවැය හිඟය සහ රාජ්‍ය ණය 1950-2020

ayawaya1

(මුලාශ්‍රය: ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව 2020)

හර්ෂ ගුණසේන

Related posts