human-rights-Sri-Lanka-international-business-gsp-1

ජාත්‍යන්තරය සමඟ ව්‍යාපාර කරනවා නම් අයිතිවාසිකම් රැකීම අනිවාර්ය බවත් මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැකි බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි.

මානව හිමිකම් අතරින් බරපතල ලෙස සිදු වන්නේ වදහිංසා කිරීම්, අතුරුදහන් කිරීම් හා අනීතික ඝාතන බවත් මේ වදහිංසාව පොලිසීය තුල පමණක් නොව බන්ධනාගාරය ඇතුලු රාජ්‍ය ආයතන වලද සිදු වන බව ඔහු පවසයි.

මානුෂික හිංසාව සාමාන්‍යකරණයක් බවට පත්ව ඇති මේ රටේ සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ වහාම ස්වාධීන පරික්ෂණයක් ආරම්භ කරන ලෙස එක්සත් ජාතීන්ගේ 47 වැනි සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස්වරිය මේ වන විට කියා ඇති බවත් මෙය අපේ රටේ නීතිීය පිලිබඳ අභියෝගාත්මක තත්ත්වයක් බවද ඒ මහතා කියා සිටියි.

පහුගිය යහපාලන රජය සමයේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කොමිෂන් සභා 11 ක් ක්‍රියාත්මක වු අතර එකල මේ මානව හිමිකම් උල්ලංඝනය කිරිම් අඩු වුයේ ඒ කොමිෂන් සභා වල අවධානය මේ සඳහා යොමු වීම නිසා බවත් නමුත් වත්මන් ආණ්ඩුව  20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුලින් මේ කොමිෂන් සභා නාමික කොමිෂන් සභා බවට පත්ව ඇතැයිද පිලිප් දිසානායක මහතා පෙන්වා දෙයි.

ජීනිවා 46 සැසියේදි ලංකාවට එරෙහි යෝජනා ලංකාවට හිතවත් රටවල් වලින් පවා  වැඩි ඡන්දයකින් සම්මත වූයේ අප ලෝකයේ වෙන්ව වෙනත් ගමනක ( මිලිටරි) යෙදී සිටින නිසා බවත් මේ නිසා මානව හිමිකම් කොමසාරිස්වරියට ලබන සැප්තැම්බර් මස වන විට ලංකාව පිලිබඳ වාර්තාවක් එළි දැක්වීමට අවසර ලැබී තිබෙන බවද ඒ මහතා කියා සිටියි.

මේ වාර්තා බොහෝ විට මෙරටට අභියෝගාත්මක වාර්තා වන හෙයින් ඉදිරියේදි අපේ රටට මේ නිසා ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වෙනු ඇතැයිද දැනටම එහි ලක්ෂණයක් ලෙස GSP+ සහනය අපට අහිමි කිරිමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කරමින් සිටින බවද ඔහු පවසයි.

2005 වසරේ අපට හිමි වු මේ සහනය 2010 දී අහිමි වුයේ 2009 යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය වීම නිසා බවත් නැවත මේ සහනය අපට ලබා ගැනීමට හැකි වුයේ 2015 යහ පාලන රජය පත් වී වසර දෙකකට පසුව (2017) බවත් ඒ මහතා සිහිපත් කර සිටියි.

නැවත අපට මේ සහනය අහිමි වන්නට යන්නේ මෙරට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් නිසා බවත් ඒ නිසා මේ වන විට ජාත්‍යන්තර ව්‍යාපාර අයිතිවාසිකම් නොමැතිව සිදු කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

aithiya

Similar Posts