ශ්‍රී ලංකාවේ හිඟ අයවැය ප්‍රතිපත්තිය

ලංකාවේද වෙනත් බොහෝ රටවලද හිඟ අයවැය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනු ලැබේ. එනම් රාජ්‍යයට ලැබෙන ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීමේ ප්‍රතිපත්තියයි. අයවැය හිඟය බොහෝවිට අදාල රටේ මුල්‍ය ඒකක වලින්ද එරට දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසද  දක්වනු ලැබේ.

රාජ්‍යයේ ආදායමට වඩා වියදම් කිරීමේ අවශ්‍යතා පැන නගී. උදාහරණයක් වශයෙන් රජයට රටේ මාර්ග පද්ධති  සහ විදුලිබල  වැනි යටිතල පහසුකම් නගා සිටුවීමට අවශ්‍ය නම් සහ ඒසඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජයේ ආදායමෙන් සපුරා ගත නොහැකි නම් ඒසඳහා ණයක් ගෙන ලැබෙන ආදායමට වඩා වැඩියෙන් වියදම් කළ යුතුය. මක්නිසාදයත් රටේ යටිතල පහසුකම් දියුණු කිරීම රජයේ වගකීමක් වන නිසා සහ එම දියුණු කිරීම නිසා රට සමස්ත වශයෙන් දියුණු වීමේ ප්‍රවනතාවයක් පවතින නිසාය. එසේ වන්නේ දියුණු කරණ ලද යටිතල පහසුකම් නිසා දේශීය සහ විදේශීය  ආයෝජන රට තුළ ඇතිවී ඒ මගින් රැකියා අවස්ථාද ධනයද රට තුළ උත්පාදනය වන නිසාය.

සමස්ත වශයෙන් මෙම ප්‍රතිලාභ ලැබීම වෙනුවෙන් කෙරෙන වියදමට වඩා ලැබෙන ප්‍රතිලාභය වැඩි විය යුතුය. එනම් මෙම දියුණු කරණ යටිතල පහසුකම් රටට අවශ්‍ය යටිතල පහසුකම් විය යුතුය. එමෙන්ම ලබාගන්නා ණය තරඟකාරී පොලියකට ලබා ගත යුතුය. ලබා ගන්නා ණය දියුණු වන රටේ ආර්ථිකය හරහා වැඩිවන රජයේ ආදායම මගින් ගෙවා දැමීමේ හැකියාවක් තිබිය යුතුය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ඇතිකරන ලද මාර්ග සංවර්ධනය ඒ කාලයේ ඉතාමත්ම අත්‍යවශ්‍යව තිබුණ දෙයකි. එනමුත් හම්බන්තොට ආශ්‍රිතව ඉදිකළ වරාය සහ ගුවන් තොටුපල සම්බන්ධයෙන් ලැබුන ප්‍රතිලාභයට වඩා ගෙවුන වියදම වැඩි තත්ත්වයක් දක්නට ලැබේ. එබැවින් හම්බන්තොට ආශ්‍රිතව කළ සංවර්ධනය සම්බන්ධයෙන් හිඟ අයවැය ප්‍රතිපත්තිය අසාර්ථකය.

පුද්ගලයෙක් ගතහොත් ගෙයක් සෑදීම හෝ ඉඩමක් ගැනීම වැනි කටයුත්තකදී එනම් එදිනෙදා වියදමක් නොවන කටයුත්තකදී ණයක් ගැනීම සුදුසු ක්‍රියාවකි. මෙහිදී තමාට ඉදිරියේදී ලැබෙන ආදායමෙන් ගත් ණය ගෙවීමේ ක්‍රමයක්ද සාධාරණ පොලි අනුපාතයක්ද තිබිය යුතුය. මාසය අවසානයේ වැටුප ලැබුන පසු ගෙවීමේ පදනමට එදිනෙදා වියදම් සඳහා ණය ගැනීමේ ප්‍රවනතාවයක්ද තිබේ. එනමුත් එදිනෙදා වියදම් සඳහා දීර්ඝ කාලීන ණය ගැනීමේ පිළිවෙතක් නොමැත.

ශ්‍රී ලංකාව ගතහොත් ශ්‍රී ලංකා රාජ්‍යයට ලැබෙන ආදායම එදිනෙදා වියදම් එනම් ප්‍රවර්තන වියදම් පියවා ගැනීමටවත් සෑහෙන්නේ නැත. එබැවින් රාජ්‍යයට ප්‍රවර්තන වියදමෙන් කොටසක් පියවා ගැනීමටත් සම්පුර්ණ ප්‍රාග්ධන වියදම පියවා ගැනීමටත් ණය ගැනීමට සිදුවේ. මෙම තත්ත්වය ආණ්ඩු භේදයකින් තොරව පක්ෂ භේදයකින් තොරව ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන්නකි.

මෙම තත්ත්වය යටතේ වුවත් හිඟ අයවැය ප්‍රතිපත්තියක් මගින් රටේ ආර්ථිකය ප්‍රසාරණය වීමට ඉඩ ප්‍රස්ථා තිබේ. මක්නිසාද යත් රාජ්‍යයේ වියදම තවත් බොහෝ අය ගේ ආදායම වන නිසාය. එබැවින් කලින් සාකච්ඡා කළ පරිදි හම්බන්තොට සංවර්ධන ක්‍රියාවලිය රටට ලාබදායි ක්‍රියාවක් නොවුනත් ඒ හේතුවෙන් රටේ ආර්ථිකයේ වර්ධනයක් සිදුවිය. සමස්ත චිත්‍රය දෙසා නොබලා කෙනෙකුට මේ හේතුවෙන් ආර්ථිකය වර්ධනය වී යයි ද තර්ක කළ හැක. එනමුත් එය අර්ධ සත්‍යයකි. සමස්ත චිත්‍රයම ගතහොත් අසත්‍යයකි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවල සහ විරුද්ධ පක්ෂ වල සිටින දේශපාලනඥයන් මෙම තත්ත්වය තමන්ගේ වාසියට ගැනීමට විවිධ අර්ථ කථන දෙමින් සහ විවිධ කථා පතුරවමින් සිටිති.  ජනතාව රාජ්‍යයෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව කල්පනා කරති. රාජ්‍යය තාවකාලිකව පාලනය කරණ දේශපාලනඥයන්ද රාජ්‍යයෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව කල්පනා කරති.

දේශපාලනඥයෝ  ජනතාවට පිනවීමට සහ ඉදිරි මැතිවරණ වලදී සිය ජයග්‍රහණය සහතික කිරීම සඳහා රාජ්‍ය ආදායමෙන් විවිධ වරදාන ජනතාවට ප්‍රදානය කරති. එමෙන්ම සිය අන්තේවාසිකයන්ට රැකියා ලබා දීම සඳහා සහ තමන්ගේ බලය ප්‍රදර්ශනය කිරීම සඳහා දේශපාලනඥයෝ විවිධ රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගෙන යාමට කැමති වෙති.

ඒවායේ අකාර්යක්ෂමතාව නිසා පාඩු සිදුවේ.  ඊට අමතරව සොරකම් ද මහා පරිමාණ ගසා කෑම් ද සිදුවේ. මේ සියළු දේ  අයවැයේ හිඟයක් ලෙස රාජ්‍ය ගිණුම් වල සටහන් වේ. මෙම තත්ත්වය මෙම ආණ්ඩුවටද ගිය ආණ්ඩුවටද ඊට පෙර තිබූ ආණ්ඩු වලටද පොදු ලක්ෂණයකි.

එබැවින් ලංකාව වැනි රටක හිඟ අයවැය, ප්‍රතිපත්තියක් ලෙස දිගින් දිගටම පවත්වාගෙන යාම ප්‍රශ්ණකාරී ක්‍රියාවකි. අයවැය හිඟය පියවිය හැක්කේ දේශීය වශයෙන් සහ විදේශිය වශයෙන් ලබා ගන්නා ණය මගින් බැවින් මෙරට රාජ්‍ය ණය විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එබැවින් ණය දීමේදී අයවැය හිඟය අඩු කරණ ලෙස රාජ්‍යයට කොන්දේසි ඉදිරිපත් කරයි.

ලංකාවේ බොහෝ ප්‍රශ්ණ වලට හේතුව හිඟ අයවැය යි. අයවැය හිඟය නිසා රාජ්‍යයට ණය ගැනීමට සිදුවේ. දේශීය වශයෙන් රාජ්‍යය විසින් ණය ගතහොත් දේශීය වෙළෙඳපොලේ ණය සඳහා ඇති ඉල්ලුම වැඩිවීම නිසා පොලි අනුපාතය ඉහළ යයි. ඉහළ යන පොලි අනුපාතය නිසා දේශීය ව්‍යාපාරිකයන්ට ණය ගැනීම වියදම්  අධික කටයුත්තක් වේ. එමෙන්ම රටේ උද්ධමනය ද ඉහළ යාමේ ප්‍රවනතාවයක් තිබේ.

මක්නිසාද යත් රාජ්‍යය මගින් වැඩිපුර වියදම් කිරීම නිසාද  ඒ වියදම ආදායමක් වන පුද්ගලයන් වැඩිපුර භාණ්ඩ සහ සේවා පරිභෝජනය කිරීම නිසාද භාණ්ඩ සහ සේවා වල ඉල්ලුම වැඩිවී ඒවායේ මිල ඉහළ යාමේ ප්‍රවනතාවයක් ඇතිවිය හැකි නිසාය.

මෙම තත්ත්වය දැඩිසේ බලපාන්නේ අපනයන ව්‍යාපාරිකයන් ටය. ඔවුන්ගේ වෙළෙඳ පොළ වලට භාණ්ඩ සපයන තරඟකාරී සැපයුම්කරුවන්ගේ රටවල උද්ධමනයේ ද පොලි අනුපාතයේ ද වැඩිවීම මෙරට  උද්ධමනයේ ද පොලි අනුපාතයේ ද වැඩිවීමට වඩා අඩුනම් මෙරට භාණ්ඩ වල මිල ඉහළ නැංවිය නොහැකි නිසා ඔවුන් ගේ ලාභ අඩුවිය හැක.

සමහර විට පාඩු ද සිදුවිය හැක. මේ නිසා නිෂ්පාදන වියදම අඩු කරගැනීමට විවිධ නව්‍ය ක්‍රම යොදාගැනීමට ඔවුන්ට සිදුවේ. අපනයන ව්‍යාපාර දිගටම පවත්වා ගෙන යාමට නම් මෙම අභියෝගය නොමැති වුවත් ව්‍යාපාර සඳහා නව්‍ය ක්‍රම යොදා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියකි.

එමෙන්ම හිඟ අයවැයක් නොමැතිනම් එය  ශ්‍රී ලංකා මහා බැංකුවට රටේ පොලි අනුපාත සහ උද්ධමනය අඩු මට්ටමක පවත්වාගෙන යාමට විශාල පිටුවහලක් වනු ඇත. මෙය රටේ ව්‍යාපාර වර්ධනයට උපස්තම්භක වේ.

ලංකාව දැන් මැදි ආදායම් ලබන රටක් නිසා අඩු ආදායම් ලබන රටකට මෙන් සහනදායි පොලි අනුපාත මත විදේශ ණය ලැබෙන්නේ නැත. එබැවින් අයවැය හිඟය පියවාගැනීමට විදේශ වලින් ණය ගතහොත් වැඩි පොලියක් ගෙවීමට සිදුවේ. එමෙන්ම රටේ මුදලට සාපේක්ෂව විදේශ විනිමය අනුපාතය ඉහළ ගිය හොත් එනම් රුපියල අව ප්‍රමාණය වුවහොත් විදේශ ණය වෙනුවෙන් දේශීය මුදල් වලින් වැඩිපුර ගෙවීමට සිදුවේ.

එබැවින් අයවැය හිඟය අඩු කරණ ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මතු නොව මෙරට ව්‍යාපාරිකයන්ද රාජ්‍යයෙන් ඉල්ලා සිටිය යුතුය. මේ දක්වා කිසිම ව්‍යාපාරිකයෙක් මා දන්නා තරමට මේ ඉල්ලීම කර නැත. මක්නිසාද යත් ඔවුන්ගේ ඉල්ලීම් සිමා වන්නේ සිය ව්‍යාපාරයට යම් යම් බදු සහන හෝ වෙනත් සහන රාජ්‍යයෙන් ලබා ගැනීමටයි. රාජ්‍යයේ ආර්ථික කළමණාකරණය පිලිබඳ බරපතල සාකච්ඡාවක් කිරීම ඔවුන්ගේ අභිලාෂය නොවේ. මෙය කණගාටුදායක තත්ත්වයකි.

මෙහි දැක්වෙන ප්‍රස්ථාරයේ ශ්‍රී ලංකාවේ අයවැය හිඟය 1990 සිට 2020දක්වා මෙරට දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැක්වේ. ශ්‍රී ලංකාවේ නිදහසෙන් පසුව එම්. ඩි.එච්. ජයවර්ධන මුදල් ඇමති වූ  1954 සහ 1955 වසර දෙක හැර අනෙක් සියළුම වසර වල අයවැය හිඟයක් තිබී ඇත. 2020 දී නිල අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 11.1% කි. මෙයට කොවිඩ් වසංගතය ද හේතුවී ඇත.

මෙම ප්‍රතිශතය ඇත්ත වශයෙන්ම 11.1% නොව 14% ක් වියයුතු බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියන අතර Daily Mirror පත්‍රයේ  Fact Check විශේෂාංගය 2021 මැයි  13 වන දින එය සනාථ කර ඇත. මහා බැංකු වාර්තාවේ 162 වන පිටුවේ සඳහන් වන පරිදි 2019 වර්ෂයට අදාල රු. බිලියන 422.6 ක් මෙම වර්ෂයේ වියදම් වලින් බැහැර කර ඇත. එනමුත් 2019 ට අදාල ආදායම් එසේ බැහැර කර නොමැත. කෙසේ වුවත් මහා බැංකු වාර්තාව සැකසෙන්නේ වියදම හෝ ආදායම හෝ අදාල වන වර්ෂයට නොව කෙරෙන වර්ෂයට ගිණුම් ගත කෙරෙමිනි. එබැවින් 2020 නියම අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 14% විය යුතුය.

ඉන් පසුව දැක්වෙන ප්‍රස්ථාරයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අයවැය අතිරික්තය හෝ හිඟය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැක්වේ. එහි මුල් අවුරුදු වල අතිරික්තයක් තිබී පසුව හිඟයක් බවට පරිවර්තනය වී ඇත. එක අවස්ථාවක හිඟය 10% දක්වා වැඩිවී දැන් එය 5% මට්ටමට අඩුවී ඇත. කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 දී එය 18.7% දක්වා වැඩිවී ඇත. එම තොරතුර ප්‍රස්ථාරයේ නැත.

පසුගිය කාලයේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ග්‍රීසියේ තොරතුරු ද ප්‍රස්ථාරයේ දක්වා ඇත.  එක් එක් රටේ ආර්ථිකය සලකා බැලිය යුතු වන්නේ ඒ ඒ රටට ආවේනික කරුණු අනුවය.

මුලාශ්‍රය ශ්‍රී ලංකා මහා බැංකු වාර්ෂික වාර්තාව 2020

ඇමෙරිකා එක්සත් ජනපදයේ අයවැය හිඟය ද. දේ. නි. යේ % ලෙස (1948-2019)

මුලාශ්‍රය https://tradingeconomics.com/united-states/government-budget

ග්‍රීසියේ අයවැය හිඟය ද. දේ. නි. යේ % ලෙස (1948-2020)

මූලාශ්‍රය https://tradingeconomics.com/greece/government-budget

හර්ෂ ගුණසේන

Related posts