japan

ශ‍්‍රී ලංකාවේ ශීතාගාර දාම පද්ධතිය වැඩි දියුණු කිරීම තුළින් ප‍්‍රතිශක්තිකරණ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් සම්පාදනය කරනු ලැබ ඇත. මෙම වැඩි දියුණු කිරීම තුළින් කොවිඞ්-19 වසංගතය මර්දනය කිරීමේ සේවාවන් ද ශක්තිමත් වනු ඇත.

ශ‍්‍රී ලංකාව මේ වන විට කොවිඞ්-19 වසංගතයෙන් වැඩි අවදානමකට ලක්ව ඇති ප‍්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 60න් ඉහළ වැඩිහිටි ජනගහනය ඇතුළු ප‍්‍රමුඛතාකරණය කරන ලද කණ්ඩායම්වලට වසංගතයට එරෙහි එන්නත්කරණය හඳුන්වා දෙමින් සිටී.

මාර්තු මාසයේ දී යුනිසෙෆ් සංවිධානය කොවැක්ස් පහසුකම හරහා මාත‍්‍රා 264,000කින් සමන්විත පළමු ‘කොවිඞ් -නිවාරක’ ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත් තොගය ශ‍්‍රී ලංකාවට ලබා දුන් අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික එන්නත් සම්පාදන සැලැස්මට අනුකූලව එම එන්නත් ජනතාවට ලබා දෙමින් පවතී.

ජපාන රජයෙන් ලැබුණු මෙම සහාය නිසා එන්නත් ලබා ගැනීම, ගබඩා කිරීම සහ කොවිඞ්-19 එන්නත්කරණ වැඩසටහන මහජනතාව අතරට රැගෙන යාම ද ඇතුළුව සමස්ත ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව මේ වන විට දරමින් සිටින පරිශ‍්‍රමයන් වැඩි දියුණු වනු ඇත.

Similar Posts