pohora

“අපේ පොහොර අපිම හදමු” තේමාව යටතේ කුඹුරු ගොවිතැනට ගොඩබෝග ගොවිතැන සඳහා කොම්පෝස්ට් පොහොර තමන් විසින්ම නිපදවා ගැනීම‌ සඳහා ව්‍යාපෘතියක් හඳුන්වා දීමට එප්පාවල පෝස්පේට් ආයතනය මහවැලි අධිකාරිය සහ ජාතික ගොවි සම්මේලනයේ සභාපති පූජ්‍ය මහාමාන්කඩවල පියරතන (පොස්පේට් හාමුදුරුවෝ) නාහිමියන් කටයුතු අරඹා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමටත් කාබනික පොහොර ප්‍රමාණවත් තරමට රට තුළ නොමැතිනම් පිටරටින් ආනයනය කිරීමටත් පසුගියදා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එහෙත් මේ වන විට රට තුළම සියළුම ගොවිතැන් වලට අවශ්‍ය ප්‍රමාණයට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීමට හැකි බවත් පිටරටින් රසායනික පොහොර ගෙන්වීමටත් වඩා කාබනික පොහොර ගෙන්වීම ඉතා භයානක කරුණක් බවත් එමඟින් අපේ රටේ පසට හානි විය හැකි බව ජාතික ගොවි සම්මේලනයේ සභාපති උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ද්වීතියික සංඝනායක එප්පාවල ඛෙත්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහාමාන්කඩවල පියරතන නාහිමියන් විසින් පෙන්වා දුන්හ.

2015 වර්ෂයේ සිට මේ දක්වා උන්වහන්සේ විහාරස්ථානයට යාබද කුඹුරේ මේ වන විට දේශීය සහල් හා කාබනික පොහොර යොදා ගොවිතැන් කටයුතු සිදු කරමින් මුළු මහත් සමාජයටම යහපත් වැඩදායි කාර්යයක් ඉටු කරමින් සිටිති.

උන් වහන්සේ විසින් මෙවර කන්නය සඳහා ද මඩතවාලු, කළු හීනටි, පච්චපෙරුමාල් ඇතුළු දේශිය සහල් සහ 100%ක් දේශීය තාක්ෂණීක ඥාණය උපයෝගී කර ගනිමින් සමස්ත සමාජයට කාබනික පොහොර භාවිතයට නැඹුරු වන ලෙස පෙන්වා දෙමින් සිටිති.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ගනු ලැබූ ඉතා වටිනා පියවර මඟින් ලාංකේය ගොවියා පමණක් නොව ලාංකේය
සියළු ජනතාවට ලෙඩ රෝග වලින් තොර යහපත් ජීළුන රටාවකට හුරු වීමට අවකාශ සැලසෙනු ඇත.

උන්වහන්සේ විසින් මේ වන විට කුඹුරු ගොවිතැනට අමතරව කුඹුරට යාබදව ඇති කුඩා ඉඩම් කොටසේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරයක් දආරම්භ කර ඇත.
ඒමඟින් කුඹුරට අවශ්‍ය පොහොර උන්වහන්සේ සිය විහාරස්ථානයෙන්ම නිපදවා ගනු ලබයි.

මේ පිළිබඳ අවධානය යොමු කළ එප්පාවල ලංකා පොස්පේට් රාජ්‍ය සමාගමේ සභාපති අනිල් රණසිංහ මහතා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඩබ්ලිව්.එම් සුගත් වීරසිංහ යන මහතා නායක ස්වාමීණ් වහන්සේ සමඟ එක්ව මහවැලි එච් කළාපයටම අවශ්‍ය කරනු ලබන පොහොර නිෂ්පාදනය කිරීම සඳහා මූලික වැඩසටහන එප්පාවල ඛෙත්තාරාම විහාරස්ථානයෙන් (31දා) දින ආරම්භ කරනු ලැබිණි.

ව්‍යාපෘතිය”අපේ පොහොර අපිම හදමු” යන්න නම් කර ඇත.ඒ අනුව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගනු ලබන ආකාරයේ නිදර්ශකයක් උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ සිදු විය.පිදුරු වසුරු අතුරා එයට ගොම ගව මූත්‍ර මිශ්‍ර ජලය ඉසීමෙන් පසුව කෙසෙල් කඳන් කුඩා කැබලි කර විසුරුවා ඒ මත එප්පාවල රොක් පොස්පේට් කිලෝ පහක පමණ ප්‍රමාණයක් නැවත ගව මූත්‍ර සහ ගොම මිශ්‍ර ජලයට එක් කරයි.

ඒ මත ගිනිසීරියා වැනි ඉතා ඉක්මණින් දිරාපත්වන කොළ කැබලි අතුරා ඒ් මත පොලීතීන් වැස්මක් දැමූ පසුව දින 45කින් පසු සාරවත් කොම්පෝසට් පොහොර ලෙස භාවිතයට ගැනීමට හැකි බව උන්වහන්සේ විසින් පෙන්වා දුන්හ.

ඒ අනුව මේ පිළිබඳ මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එච් කලාපයේ මහා පරිමාණයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා අයෙකු සිටීනම් ඒ අයට මුල්‍ය අනුග්‍රහය මෙන්ම දැනුම ලබා දීමට තම ආයතනය සූදානම් බවයි.

එසේම පොස්පේට් ආයතනය විසින් එප්පාවල රොක් පොස්පේට් ආයතනය මඟින් ඉදිරියේ දී කාබනික පොහොර නිෂ්පාදනය සඳහා පොස්පේට් පොහොර නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමට කටයුතු කරන බව පොස්පේට් සමාගමේ සභාපතිවරයා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts