කාලි අම්මා දේව භාෂාවෙන් කී සාත්තරයක් ඇසුවෙමි

kali
ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් අප රට තුළදීම දේව භාෂාවට සවන්දීමේ හැකියාවක් පවතින බව ඔබ දන්නවාද? ආරූඪයෙන් ශාස්ත්‍ර කියන ස්ථානවල මෑණිවරුන් ආරූඪ වී තමන්ට ආරූඪය ලබාදුන් දෙවි දේවතාවුන් සමඟ චතුර ලෙස දේව භාෂාවෙන් කතා කරනු මා කොතෙකුත් අසා ඇත. මේ කතාව ඒ අතුරින් එකක් ගැනය.

2017 වසරේ සැප්තැම්බර් තිස්වනදා පිටකොටුවේ පළමුවන හරස්වීදියේදී කිළිටි ඇඳුම් හැඳගත් වැහැරුණු සිරුරකින් යුතු අයෙක් මගේ සිරුරෙ ස්පර්ශ විය. එකෙනෙහිම මගේ කමිස සාක්කුවේ තිබූ ජංගම දුරකතනය අතුරුදන් විය. ඒ සමඟම ඒ පුද්ගලයා ද රථවාහනවලට මුවාවී ක්ෂ්නයකින් අතුරුදහන් වූ අතර ඊට විනාඩි කිහිපයකට පසුව මම එම පැහැරගැනීම පිළිබඳව පිටකොටුව පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් කළෙමි. පසුව විදුලි සංදේශන නියාමන කොමිසමට ඉදිරිපත් කරනු පිණිස එම දුරකතනයේ එමි අංකයද පොලිසියට ලබා දුනිමි. එහෙත්, අද වනතුරු ඉන් අත්වූ කිසිම ප්‍රතිඵයලක් නැත.

ඊට පසුදින, එනම් ඔක්තෝබර් 01දා පෙරවරුවේ සීතාවක අප්‍රකට ජනශ්‍රැති පිළිබඳ විමර්ශනයක් කරනු පිණිස රුවන්වැල්ලට ගිය මම එහි වෙසෙන මගේ හිතවතෙකුට පෙරදා සිදුවූ අලකලංචිය පිළිබඳව කීවෙමි.

ඒ කතාවෙන් මගේ හිතවතාත් ඔහුගේ බිරිඳ හා දරු තිදෙනෙත් කම්පාවකට පත්වූ අතර එම නැතිවීම පිළිබඳ අතිශය නිවැරදි හෝඩුවාවක් ලබාගත හැකි ආරූඪයෙන් ශාස්ත්‍ර කියන ස්ථානයක් පිළිබඳව ඔහුගේ බිරිඳ මා වෙත දැනුම් දුන්නා ය.

‘‘මේ මාමාට අර මෑණියෝ සාස්තර කියන දේවාලය පෙන්නන්න පුළුවන්ද පුතේ?’’

ඒ වනවිට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔවුන්ගේ වැඩිමල් දියණියට ඇය කී පසු ඇය ඊට එකඟතාව පළ කළා ය. ඒ දේවාරූඪයෙන් ශාස්ත්‍රයක් ඇසීමට යාම සුවිශේෂ අත්දැකීමක් ලෙස එම දියණිය සිතූ නිිසා වන්නට ද පුළුවන.

එබැවින්, එම දියණියද සමඟ ත්‍රීරෝද රථයක නැගුණු මම ඔවුන්ගේ නිවසට කිලෝමීටර් පහ හයක් එපිටින් වූ දේවාලය වෙත ගියෙමි. අඩක් නිම කළ මධ්‍යම පාන්තික නිවසක් වූ එහි මිදුලේ බ්ලොක් ගලින් බඳින ලද ටකරන් සෙවිලි කළ දේවාලයක් විය. එම ගෙමිදුලේ ඉටිරෙදි මත කොප්පරා වියැළෙන්නට දමා තිබිණි.දේවාල මිදුලේ බොරළු පහුරු ගාමින් සිටි ගම් කුකුළු නාම්බන් දෙදෙනෙකු තම හිස් කරකවමින් අප දෙස විපරම් කරනු පෙනිණ. දේවාලයේ එළිපත්තේ බංකු දෙකක් වූ අතර ඉන් එක් බංකුවක සුදු සාය හැට්ට ඇඳගත් තද කාල වර්ණ හිසකෙස්වලින් යුතු තලතුනා කාන්තාවෝ දෙදෙනෙක් වාඩි වී සිටියහ.

ඒ ශාස්ත්‍ර අසන තැනදී කවරෙකු හෝ යම් විමසීමක් කළහොත් මා තම පියා බව පමණක් පවසා නිහඬ වන ලෙසත් එහිදී කිසිවෙකු හා කිසිම කතාබහකට නොපිවිසෙන ලෙසත් අතරමඟදීම හිතවතාගේ දියණියට මා උපදෙස් දුන්නේ එසේ ශාස්ත්‍ර කියන්නවුන් ශාස්ත්‍ර ඇසීමට එන්නවුන්ගේ තොරතුරු ලබාගන්නා  ආකාර පිළිබඳව මා ඉන් පෙර  දැනුවත්ව සිටි බැවිනි.

ශාස්ත්‍ර ඇසීමේ නියමිත වාරය එම ස්ථානයෙන් ගත් බුලත් කොළ කිහිපයක් මත රුපියල් තුන්සිය දහයක මුදලක් තැබූ මම එම මෑණියන් ආරූඪවන තුරු බලා සිටියේ මගේ කමිස සාක්කුවේ වූ පටිගත කිරී‍මේ යන්ත්‍රය ද ක්‍රියාත්මක කරගෙනය.

‘‘සොල්ලංග අම්මා වා – අප්පච්චි ගම්බාර වා – කන්ද කුමාර වා – දැඩිමුණ්ඩ වා – සත්පත්තිනි වාංග’’ ආදී වශයෙන් කියමින් යම කාලී, සොහොන් කාලී ආදී හෑල්ලක් කියමින් කට හඬ තීව්‍ර කරගත් ඇය ඉන්පසුව දේව භාෂාවෙන් කතා කිරීම ඇරඹුවා ය. එහිදී ඇය නිතර නිතර ‘සොල්ලංග අම්මා’ යනුවෙන් පවසන ලද්දේ ‘සොල්ලංග’ යනු දේව භාෂාවට අයත් වදනක් බව අඟවමිනි. එහෙත් ‘කියන්න’ යන අරුත පළවන ‘සොල්ලුංග’ යන දෙමළ වදන ඇගේ දේව භාෂාවේදී ‘සොල්ලංග’ වී ඇති බවක් ද පෙනිණ.

ඒ කෙසේ හෝ දේව භාෂාවෙන් කතා කළ එම ශාස්ත්‍ර මෑණියන් ඒ සමඟම සිංහලෙන් ද කතා කරන්නට වූ අතර ඇගේ එම උච්චාරණය විධිය ද්‍රවිඩ ස්වරූපයක් ගත් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. මුලින්ම අප මෙසේ පැමිණ හිඳිනුයේ ප්‍රාණකාරයෙකු පිළිබඳ විමසීමට බව පැවසූ ශාස්ත්‍ර මෑණියන් දෙවනුව පවසා සිටියේ භූමිය, ස්ථානය, නිවස හෝ මුදල් සම්බන්ධ ප්‍රශ්නයකට මා එහි පැමිණි සිටින බවය. දැනට අප සමාජයේ බොහෝදෙනෙකු එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න අතුරින් කොපමණ ප්‍රමාණයක් ප්‍රාණකාරයන්, භූමිය, ස්ථාන, නිවාස සහ මුදල් වෙනුවෙන් වෙන් කළ හැකිද යන්න කිසිවෙකුටත් රහසක් නොවේ. එමෙන්ම මෙම ශාස්ත්‍ර මෑණියන් ප්‍රාණකාරයා යනුවෙන් පැවසූ අනුමානය තුළද පුද්ගල මාදිලීන් කෙතෙක් තිබිය හැකිද? මේවා ශාස්ත්‍ර අසන්නට යන කවුරුත් සිතේ තබාගත යුතු ය.

බොහෝ ශාස්ත්‍ර කියන ස්ථානවල ශාස්ත්‍ර අසන්නවුන් කොටු කරගැනීම පිණිස යොදනු ලබන මෙම තාක්ෂණික ක්‍රමය හඳුන්වනුයේ අනුයාත බැහැරලීමේ ක්‍රමෝපාය (Process of illimination ) යනුවෙනි.

තමන් හඹා යන ඉලක්කයට තමන් අදාළ නොවන සාධක එකි’නෙක බැහැර කරමින් ඉලක්කය ලුහුබැඳ යන මෙම ක්‍රමෝපාය අපරාධ පරීක්ෂණවලදී යොදාගන්නා අතර ෂර්ලොක් හෝම්ස් නම් කල්පිත රහස් පරීක්ෂකවරයා ද මෙම ක්‍රමෝපාය යොදා අබිරහස් අනාවරණය කරගත් අන්දම එම රහස් පරීක්ෂක කතාවලින් පෙනෙයි.

ඉන්පසුව එම ශාස්ත්‍ර මෑණියන් සොර සතුරු උවදුරු සහ නැතිවූ භාණ්ඩ සම්බන්ධයෙන් එහි ශාස්ත්‍ර නොකියන බව කී අතර මා විසින් එම දේවාලයට පත්කළ රුපියල් සියයේ නෝට්ටු තුන එතැනින් ලබාගත් එය එතූ බුලත් කොළය පිටින්ම සාක්කුවේ දමාගෙන හිතවතාගේ දියණිය සමඟින් ආපහු හැරුණෙමි.

අද සමාජයේ බොහෝදෙනෙකු මෙවනි ශාස්ත්‍ර කියන ස්ථානවලට යනුයේ කුමක් හෝ තදබල සිත් වේදනාවක් මුල් කර ගනිමින් ඉන් අත්මිදීමේ චේතනාවනෙි. ඒ අනුව මෙම ශාස්ත්‍ර අම්මලා ‘දරුවා උඹ දරුණු සිත් අමාරුවකින් ඉන්න බව පෙන්නුම් කරනවා’ කී සැනින්ම ඔවුන්ගේ මායම් ඇමට කොටුවනු ඇත. මගේ ජංගම දුරකතනය නැතිවූ නිසා එම හිත් අමාරුව යන සාධකය මටද යම් තරමකින් හෝ අදාළ වුවද එය මට දරාගත නොහැකි තරම් සිත්තැවුලක් නොවූ බැවින් මෙම ශාස්ත්‍ර මෑණියන් ඇසූ පැනයට ‘නෑ’ යනුවෙන් පිළිතුරු දුනිමි.

සම්මත භාෂාවෙන් වැදි බස වැනි උප භාෂා (Dalect) ගණයට අයත් නොවන මෙම දේව භාෂා දේවාලයෙන් දේවාලයට, ශාස්ත්‍ර මෑණියන්ගෙන් මෑණියන්ට වෙනස් වෙයි. ඒවා කොතරම් වෙනස් ස්වරූප දරන්නේද කිවහොත් මෙම දේව භාෂාව දන්නා දෙදෙනෙකුට වුව එම භාෂාවෙන් කතාබහ කිරීමට පවා නොපුළුවන.

වරක් මේ දේව භාෂාවල පවත්නා විෂමතාව පිළිබඳව මා ඇසූ පැනයකට ආරූඪයෙන්ම පිළිතුරු දුන් දොම්පේ ප්‍රදේශයේ එක් ශාස්ත්‍ර මෑණි කෙනෙකු කියාසිටියේ ‘තිස්තුන් කෝටියක් දෙවිවරුන් කතා කරන්නේ එකම භාෂාවකින් නොවෙයිනේ දරුවා’ යන්නය. මළවුන් ගෙන්වන්නියක බව පැවසුව ඇය ද මේ වනවිට මළවුන් අතර ය. එහෙත් මෙම ශාස්ත්‍ර අම්මලාට සටපටකම සේම මුඛරිකමද අවශ්‍යම සාධකයක් බව පෙනෙයි.

මෙම ශාස්ත්‍ර මෑණිවරුන් තමන් ඇසුරු කරන දෙවි දේවතාවුන් සමඟ අදහස් හුවමාරු කරගන්නා බව පවසන මෙම දේව භාෂාව මෙම ශාස්ත්‍ර කීම සඳහා යොදා ගන්නා එක් ප්‍රෝඪාවක් පමණි. ශාස්ත්‍ර අසන්නන්ගේ සිත තුළට ගුප්ත බවක් බියක් වැනි අනියත බවක් පිවිසුවා ඔවුන්ගේ විචාර බුද්ධිය යටපත් කිරීම මෙහි අරමුණය.

ලෝකයේ සෑම රටකම ගුප්ත විශ්වාස හා ඇදහීම් සම්බන්ධව ඇති මෙම දේව භාෂාව හෙවත් ව්‍යවහාරික නොවන බසකින් කතා කිරීම Glossolalia යනුවෙන් හැඳින්වෙයි. මීට අමතරව භින්නෝන්මාදය නම් මානසික රෝගීන්ගේ මොළයේ විද්‍යුත් ක්‍රියාකාරකම් බිඳීමේ හේතුවෙන් ඔවුන්ද වචන කෙටි කොට හෝ විකෘති කොට දක්වති. එය හඳුන්වනුයේ නව වාග්කරණය (Neologism) යනුවෙනි.

ඒ කෙසේ හෝ මගේ ජංගම දුරකතනය නැතිවීම නිසා ඇතිවූ සුළු හෝ සිත්තැවුල මුළුමනින් දුරු කළ එම දේව භාෂාව සහිත හඬපටයට‘කාලි වරමින් සාස්තරයක්’ ලෙස හෝ Soothsaying kali passession ලෙස සඳහන් කරමින් අන්තර්ජාලයේ යූ ටියුබ් වෙබ් අඩවියට පිවිසෙන ඔබට ද සවන් දිය හැක.

තිලක් සේනාසිංහ

Related posts