ජ්‍යොතිෂ්‍ය අපල ගැන විශ්වාසය උඩු යටිකුරු කළ අහුන්ගල්ලේ දුම්රිය-බස්රිය අනතුර

වර්තමාන කොවිඩ් වසංගතය මුල් කොට ජ්‍යොතිෂ්‍යය මඟින් අනාවැකි කීම වැනි ගුප්ත ශාස්ත්‍ර වේගවත් පසුබෑමකට ලක් ව ඇති බව පෙනෙයි.අනාගතය යනු නිශ්චිත සැලසුමකට අනුව උදාවන්නක් නම් හෝ ජ්‍යොතිෂ්‍යය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර මඟින් අපගේ හෙට දවස කල් ඇතිව කිව හැකිනම් මේ දිනවල කාර්ය බහුලම පිරිස විය යුත්තේ ජ්‍යොතීර්වේදීන්ය.එහෙත්, පොදුවේ ගත් කල අද වන විට ඔවුන් සියළු දෙනා සැඟව සිටින බවක් පෙනෙයි.
යුදමය,වසංගත,ස්වාභාවික ආපදා හෝ වැඩි පිරිසක් මිය යන හදිසි අනතුරු වල දී මාරක අපල සහ රාජයෝග ඇත්තවුන් එක රොත්තට මිය පරලොව යාම සාමාන්‍ය තත්වයකි. ඒ සම්බන්ධයෙන් මීට වසර තිස් දෙකකට පෙර මා ලත් ආනුභාවික අත්දැකීමක් මෙලෙසිනි.එක්දහස් නවසිය අසූ නවය වසරේ ජනවාරි දාහත්වනදා මුළු රටම කම්පා කරවන සුවිසල් රිය අනතුරක් සිදු විය.
ඒ එදින පස්වරු දෙකට අම්බලන්ගොඩ සිට ඌරගස්මංහන්දිය දක්වා ගමන් ඇරඹූ අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අංක 23 ශ්‍රී 8293 දරන ලංගම බස් රථය එවක අනාරක්ෂිතව තිබූ අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගයේදී ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ අංක 750 දරන මගී දුම්රියේ ගැටීමෙනි. ඒ අනතුරින් එම බස් රථයේ ගමන් ගත් හතළිස් දෙනෙකු ඛේදනීය ලෙස මියගිය අතර තිස් අට දෙනෙකුම පාසල් නිමාවී නිවෙස් බලා යමින් සිටි සිසු දරුවෝ වූහ.
ඉතිරි දෙදෙනා මුස්ලිම් ජාතික ගුරු මාතාවක් සහ එම ප්‍රදේශයේ වැසියෙකි. මම එවක මැද පෙරදිග සේවා නියුක්තික ශ්‍රී ලාංකිකයන් සඳහා ශ්‍රී ලංකාවෙන් මුද්‍රණය කොට යවන “මැද පෙරදිග” පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කළෙමි. එහි ප්‍රධාන කර්තෘ වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර ය.
එම අනතුර සිදුවී දින දෙක තුනක් ඉක්ම යන විට ඒ සම්බන්ධ බොහෝ තොරතුරු පුවත්පත් සහ රූපවාහිනී මගින් සන්නිවේදනය වී තිබිණ. එනිසාම සතියේ පුවත්පත් අලෙවිය ද ශීඝ්‍රයෙන්  ඉහළ ගියේ ය. මැද පෙරදිග සේවා නියුක්තියේ යෙදී සිටි ශ්‍රී ලාංකිකයන් ද  එම අනතුර පිළිබඳ බොහෝ තොරතුරු දැන කියාගෙන සිටි බවට කිසිදු සැකයක් නොවිණි. එබැවින් එම ඛේදවාචකය සම්බන්ධ බොහෝ දෙනෙකු නොසිතන පැතිකඩක් මුල්කොට මැද පෙරදිග’ පුවත්පත සඳහා විශේෂාංගයක් සම්පාදනය කිරීමට මට අවශ්‍ය විය.
‘‘අහුන්ගල්ල ඛේදවාචකයෙන් මියගිය දරුවන්ගේ ඉරණම කේන්දර වල ලියැවී තිබුණේ කෙසේද?
එම විශේෂාංගය සඳහා මා යොදාගත් තේමාව එයයි. ඒ අනුව “මැද පෙරදිග” ඊළඟ කලාපය සඳහා අහුන්ගල්ලේ ඛේදවාචකය සම්බන්ධ වෙනත් විශේෂාංග ලිපි සැපයීම අරමුණු කරගත් මාධ්‍ය සගයන් දෙතුන් දෙනෙකු ද සමග මම අනතුරින් මියගිය දූ දරුවන්ගේ
නිවෙස් සොයා ගියෙමි.
ඒ 1989 ජනවාරි 22 වන ඉරිදාය.
“අනේ අපේ දරුවට නම් එහෙම අපලයක් තිබුණේ නැහැ. සුළු සුළු අපල වගයක් තිබිලා පහුගිය කාලේ ඒවත් නිකම්ම මගඇරිලා ගියා.”අනතුරින් මියගිය එක් දරුවෙකුගේ මවක් එසේ කීවා ය. ඒ අතර තවත්  දරුවකුගේ පියෙකු අප හා කීවේ තමන්ගේ පුතුට රාජ යෝගයක් තිබුණු බවත්  ඒ අනුව ජන නායකයෙකු හෝ ගිහි පඬි රුවනක් හෝ පැවිදි වුවහොත් මහා නායක හිමි නමක වන බව ඔහුගේ ජන්ම පත්‍රයේ සටහන්ව තිබූ බවයි.
ඒ අතර තවත් දරුවෙකු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ලබාදෙන බවට ජන්ම පත්‍රයේ සටහන්ව තිබූබව පවුලේ ඥාතීහු හඬා වැළපෙමින් මා හා කීහ. නමුත් තම දරුවන්ට මාරක අපලයක් තිබූ බව කියා සිටි දෙමාපියන් මට හමුවූයේ ඉතා කලාතුරකිනි.
අනතුරින් මළ දරුවන්ගේ ජන්ම පත්‍ර වල සටහන්ව තිබූ මෙම විෂමතාවයන්’ එවක ජ්‍යොතිෂ්‍යය පිළිබද දැඩි විශ්වාසයකින් සිටි මගේ හිස මතට පතිත වූ දරුණු මෝල්ගස් පහරක් මෙන් විය. එබැවින් මගේ සිත තුළ ගොඩනැගුණු මානසික වියවුල සමනය කරගැනීමට මා ඊට පසුදිනම අනතුරින් මියගිය ඉතිරි දරුවන්ගේද නිවෙස් සොයා ගියෙමි.
අහුන්ගල්ල යනු මෙරට මෑතකාලීන ජ්‍යොතිෂ්‍යය පිළිබඳ තිඹිරි ගෙය බඳු ගම්වරයෙකි. ඒ මෙරට පංචාංග ලිත් කලාවේ පුරෝගාමියා වන දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමිගේ ද ගුරුවරයා අහුන්ගල්ලේ ගුරුතුමා නම් ජ්‍යොතිෂ්‍යය විශාරදයකු වීම නිසා ය.  ඔහුගෙන් ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් ජ්‍යොතිෂ්‍යය උගත් ගිහි පැවිදි විශාල පිරිසක් පසුකාලීනව ද අහුන්ගල්ල කේන්ද්‍රගතව ජීවත්
වූහ. එනිසාම අනතුරින් මියගිය දරුවන් ගේ මාපිය භාරකාරයින්ට ඒ වනවිට සිටි ජ්‍යොතිෂ්‍ය විශාරදයන්ගෙන් කේන්ද්‍ර පරීක්ෂා කිරීමේ පහසු අවස්ථාවක් උදා වී තිබිණ.
එබැවින් එම සංවේගාත්මක, දුෂ්කර චාරිකාව නිමාවේ එක්කරගත් දත්තයන් මෙලෙස ගොනු කර ගැනීමට මට හැකි විය. අනතුරින් මියගිය දරුවන් තිස්අට දෙනා අතුරින් ඔවුන්ගේ දෙමාපිය ප්‍රකාශ ඇසුරින් දෛවය සටහන් කරගත හැකි වූ දරුවන් තිස් හතරකි. සෙසු මාපියෝ විවිධ
හේතු දක්වමින් ඒ සම්බන්ධ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ.
සෙසු දරුවන් අතුරින් සමහරෙකු රාජ යෝග ඇතුළු විශිෂ්ඨ අනාගතයකට හිමිකම් කී අතර අනතුර සිදුවෙද්දී ජන්ම පත්‍රයේ කිසිදු අපලයක් සටහන්ව නොතිබූ දරුවන් සංඛ්‍යාව දහ අටකි.කේන්ද්‍රවල තිබූ සුළු සුළු අපල ගෙවී යාමෙන් පසු අනතුරින් මියගිය දරුවන් සංඛ්‍යාව හයකි.
ඒ සමයේ පහසුවෙන් මගහරවා ගත හැකි සුළු අපල තිබූ බව කියූ දරුවන් හතරක් ද අනතුරින් මියගොස් තිබිණි.
මාහට නිරීක්ෂණය වූ අන්දමට ජන්ම කේන්ද්‍ර වලට අනුව අනතුර සිදුවූ සමයේ බරපතළ අපල කාලයක් ගෙවමින් සිටි දරුවන් ගණන හතරකි.ඒ අතර එම අනතුරින් මියගිය දරුවන්ගේ ජන්ම පත්‍ර සැලකියයුතු කාලයකින් පරීක්ෂා නොකළ නිසා ඔවුන්ගේ දෛවය පිළිබඳව නිශ්චිතව යමක් කීමට අපහසු බව කියා සිටි මාපිය වැඩිහිටියන් දෙදෙනෙකි.ඉහත සමීක්ෂණය අනුව අහුන්ගල්ලේ දුම්රිය බස්රිය ගැටුමින් ඛේදනීය අකල් මරණවලට ලක්වූ දූ දරුවන්ගේ දෛවය සටහන්ව තිබූ ආකාරය අතිශයින් විපරීත ස්වභාවයක් ගෙන තිබූ බැවින් ඒ ගැන “මැද පෙරදිග’ පාඨකයන්ට ලිවීමට සිතූ ලිපියේ අරමුණ එය නොවන බැවින් එය ලිවීම මම හිතාමතාම මග හැරියෙමි.
එම අහුන්ගල්ල දුම්රිය බස්රථ අනතුරට අද වනවිට වසර තිස්දෙකක් ඉක්මගොස් ඇති නිසාත්, මගේ ගවේෂණාත්මක මාධ්‍ය ජීවිතයේ සමාරම්භක ගවේෂණය එය නිසාත්,ජ්‍යොතිෂ්‍යය වැනි ගුප්ත විශ්වාසයන්හි එල්බගෙන හිඳින වර්තමානයේ බොහෝ දෙනෙකුට අලුතින් සිතා බැලිය යුතු යමක් මේ ගවේෂණය තුළ ගැබ්ව ඇති නිසාත් මෙම සංසිද්ධිය ඔබ හමුවට ගෙන ඒමට  මට සිත් විය.
එමෙන්ම තම බිඳ වැටුණු මානසිකත්වය රඳවා තබන”අඩ කොටයක්” ලෙස ජ්‍යොතිෂ්‍යය වැනි ගුප්ත විශ්වාස යොදාගන්නවුන් තුළ මින් ඇතිවන කම්පනය ද මා නොදන්නවා නොවේ.ඊට හේතුව මීට දශක තුනක් දක්වාම මාද එවැන්නකුව සිටි බැවිනි.
තිලක් සේනාසිංහ

Related posts