mahacharya

ඩබ්.ඩී. ලක්ෂ්මන් මහාචාර්යවරයා වාමාංශික අදහස් දරන කෙනෙකි. ඔහු කලක් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිත්වය ද දැරුවේය. එය වනාහි කුමාරි ජයවර්ධනගේ මූලිකත්වයෙන් බිහිවූ සංවිධානයකි. 1970-77 යුගයේ ආර්ථික මූලෝපාය ගැන ලක්ෂ්මන්ට සුබවාදී දැක්මක් තිබුණු බව පෙනේ.

අසූහැවිරිදි වියට ළංවෙමින් සිටින මෙම පුද්ගලයා මහබැංකු අධිපතිකමට යෝජනා කර තිබෙන්නේ ආර්ථික ඝාතකයකු යයි විමල් වීරවංශ විසින් පවා හඳුන්වාදෙන ලද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසිනි. 2015 මැතිවරණ පරාජයෙන් පසු නිකවැරටිය පැත්තේ කාබනික ගොවිතැන කරමින් සිටි බව කියන ජයසුන්දර සිය විනෝදාංශය රටට ආදේශ කර මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය පවා ඝාතනය කර හමාරය. ඔහුත්, ඔහුගේ ප්‍රධානීන් වන ඇමරිකානුවනුත් ලංකාවේ ආර්ථික ජීවිතය ඝාතනය කිරීමෙන් කුමක් අපේක්ෂා කරන්නේදැයි පැහැදිලි නැත.

එහෙත්, මේ ලිපියේ අරමුණ වන්නේ පී.බී. ජයසුන්දර කතා කළ විට පෙරේතකමට මහ බැංකු අධිපතිකම භාරගත් ඩබ්.ඩී. ලක්ෂ්මන් නම් වාමාංශික මහලු පුද්ගලයාට වෙච්ච දේ කෙරෙහි අවධානය යොමුකිරීමටයි. සති දෙකක සිට ඇතිවූ සිත් රිදවීම් නිසා ඔහු ඉල්ලා අස්වන බව කියයි. සිත් රිදවුණ හැටි නොකියන නිසා එය ඕනෑ දෙයක් විය හැකිය.

රාජපක්ෂලා යනු ලුම්පන් රජ පවුලකි. උන්ට කෙනෙකු අරලියගහ මන්දිරයට කැඳවා සිත නොව ගත වුව රිදවීම සුළු දෙයකි. ලක්ෂ්මන් වැනි අය එවැනි අයට සේවය කිරීම සඳහා යන්නේ වෙන්න නියමිත දේ දැනගෙන නොවේද? සිත හා ගත නොරිදුණත්, රාජපක්ෂලා, ජයසුන්දරලා, අජිත් නිවාඩ් කබ්රාල්ලා ආර්ථික ඝාතකයන් බව නොදැන සිටින්නට තරම් ලක්ෂ්මන් බොළඳද?

ලංකාවේ ඇකඩමික්ලා කොයි තරම් බොළඳ අයද යන්න පෙන්වා දිය හැකි ප්‍රකාශයක් ලක්ෂ්මන්ගේ ඉල්ලා අස්වීමත් සමගම කියැවිණි. මං අයින් වෙනවා, මට ඔය තනතුර ලොකු නැහැ, මට ඔයිට වඩා ලොකු එකකටත් කතාකරලා තියෙනවා, ඒ වුණාට මං යන්නෑ, මගේ ප්‍රතිපත්ති පාවාදෙන්නෙ නෑ වගේ කියමනක් ලක්ෂමන් කීවේය.

ඔහු කියන පරිදි ඔහුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉතා ආකර්ශනීය වැටුප් හා වරප්‍රසාද සහිත විකල්ප විධායක අධ්‍යක්ෂ තනතුරකට ආරාධනා කර තිබේ. ලංකාවේ ආර්ථිකය විනාශ මුඛයට පැමිණි, ඉතා මෝඩ ආකාරයෙන් ආර්ථිකය කළමනාකරණය කළ අවුරුදු එකහමාරක පමණ කාලයක් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරය දැරූ පුද්ගලයකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කතාකර බඳවාගැනීමට එම ආයතනයට ලොකු පිස්සුවක් තිබිය යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරුන් 24ක් සිටින අතර එයින් අටදෙනෙකු පත්කරනු ලබන්නේ අරමුදලට වැඩිම දායකත්වය සපයන ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය, රුසියාව, චීනය හා සවුදි අරාබිය විසිනි. ඉතිරි අධ්‍යක්ෂ තනතුරු 16 සාමාජික රටවල් කාණ්ඩ 16ක් අතරේ බෙදී යයි.

එම තනතුරුවලට පුද්ගලයන් තෝරාගනු ලබන්නේ ඡන්දයෙනි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය හා භූතානය අයත් වන කාණ්ඩය විසින් ද විධායක අධ්‍යක්ෂවරයකු පත්කරනු ලැබේ. දැනට එම තනතුර දරන්නේ ඉන්දීය ආර්ථික විද්‍යාඥයකු වන සුර්ජිත් සිං භල්ලා විසිනි. ඔහු 2022 දක්වා එම තනතුර හොබවනු ඇත.

මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්ට පිරිනමා ඇති යයි ඔහු කියන විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරය යනු, විධායක අධ්‍යක්ෂවරයා නියෝජනය කිරීම සඳහා එම විධායක අධ්‍යක්ෂවරයා විසින් නම්කර පත්කරනු ලබන තනතුරකි. එම තනතුරට පත්කරනු ලබන්නේ විධායක අධ්‍යක්ෂවරයා අයත් වන ජාතියට අයත් නොවන අයෙකි. ඒ අනුව, වර්තමානයේදී විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරය හොබවන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු පර්යේෂණ අධ්‍යක්ෂවරියක වන යූතිකා මංජරී ඉන්ද්‍රරත්නය. ඇයට ද අවම වශයෙන් 2022 දක්වා එම තනතුර දැරිය හැකිය.

තමන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලොකු තනතුරක් පිරිනමා ඇතැයි ද තමන්ගේ ප්‍රතිපත්ති හේතුවෙන් එය ප්‍රතික්ෂේප කරන බව ද මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් කී කතාව තාර බැර ඇර පිළිගැනීම ඔබට භාරය. අප මෙම ගවේෂණය සඳහා පාවිච්චි කළ සියලු මූලාශ්‍ර මෙම ලිපියේ තිබේ. මෙය සත්‍යදැයි ඔබට ද පරීක්ෂා කර බැලිය හැකිය.

කෙසේ වෙතත්, කෝච්චියට අහුවුණ හරකා පණ අදිද්දී ගාතය කපාගෙන දුවන එකෙකු සේ ලක්ෂ්මන්ටත් හොඳ වාහනයක්, විශ්‍රාම වැටුපක් එහෙම අරගෙන ගෙදර යන්නට ක්‍රම සලස්වාගෙන ඇතැයි අපි සිතමු.

අප මෙම මහලු පුද්ගලයා හිතේ අමාරුවට කී බව පෙනෙන මෙම බොළඳ කතාව ගැන මෙතරම් කරුණු ගවේෂණය කළ හේතුව ද කිව යුතුය. ලංකාවේ ජනතාව ආචාර්ය, මහාචාර්ය වැනි විශේෂණ පද නම් ඉදිරියේ තිබෙන විද්‍යාර්ථීන්ට පහසුවෙන් රැවටෙති. එහෙත්, උපාධි තිබුණු පළියට හැම කෙනෙකුම විශිෂ්ට බුද්ධිමතකු වේ යයි සිතිය නොහැකිය. යම් යුගයක බුද්ධිමතකු පවා පසු කලෙක අතිශය බොළඳ ලෙස හැසිරිය හැකිය. වයසට යන විට නැවත ළමයකු වීම නරක දෙයක් නොවේ. හැබැයි, රටක්ම තමන්ගේ සෙල්ලං ගෙය කරගැනීම අපරාධයකි.

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, පී.බී. ජයසුන්දර, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වැනි මහල්ලන්ගේ සෙල්ලං ගෙදර බවට ලංකාව පත්වී තිබේද යන්න ගැන ජනතාව සැලකිලිමත් විය යුතුය.

කෙසේ වෙතත්, අපේ අරමුණ වන්නේ මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් වැනි තවත් බුද්ධිමතුන් කූට දේශපාලකයන්ගේ ගැටවලට අසුවී තම කීර්තිය අහිමි කරගැනීම වළක්වාගැනීමයි. අප එළඹෙමින් තිබෙන්නේ බුද්ධිමතුන් අපට නායකත්වය දිය යුතු යුගයකටයි. ඔවුන් නාස්ති වී යාම අපරාධයකි.

praja.lk

Similar Posts