Jayani Abeysekara

බලයට පත් වෙන හෝ බලයට ත් වූ කිසිම ආණ්ඩුවකට මාධ්‍යයට එරෙහිව සිදුවන හිංසනය වළක්වා ගැනීමට අවංක දේශපාලන අධිෂ්ඨානයක් නැති බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ සම කැඳවුම්කරු, මාධ්‍යවේදී ජයනි අ‌බේසේකර මහත්මිය පවසයි.

මාධ්‍ය සහ දේශපාලන අතර ඇති අවලස්සන සම්බන්ධය අප සියලු‍ දෙනා දන්නා නමුත් එමඟින් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, ඔවුන්ට වදහිංසා කිරීම් කිසිදු ලෙසකින් හෝ සාධාරණීකරණය කළ නොහැකි බවද ඇය පවසයි.

මෙහිදී මාධ්‍යවේදී ශමින්ද්‍ර පැවසු පරිදි වදහිංසනයට ලක්ව ඇති අයවලුන් පිරිසිදුම චරිත නොවිය හැකිවුවද ඔවුන්ට සිදුව ඇති හිංසනයන් සහ අපරාධයන් සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටින බවද ඇය කියයි.

මාධ්‍යයට එරෙහි වදහිංසාව අවසන් කිරීම සහ සිදුව ඇති අපරාධයන් සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමට මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු දශක ගණනවක් පුරා අරගල කරමින් පවතින බවත් එහෙත් එම සංස්කෘතිය අවසන් නොවීමට බොහෝ හේතු තිබෙන බව ද ඇය පෙන්වා දෙයි.

ඒ අතර අධිකරණ පද්ධතියේ ඇති ගැටලු, නඩු ප්‍රමාදය මෙන්ම දේශපාලඥයින්ගේ නොසැලකිල්ල වන බව ඇය කියයි.

එමෙන්ම මෙහිදී මාධ්‍යවේදියාගේ භූමිකාව සම්බන්ධයෙන් හැරී බැලිය යුතු බවත් අර්බුදයක් හමුවේ මාධ්‍ය කළමණාකරණය කරන්නේ කෙසේද යන්න බරපතල ලෙස ලංකාවේ මාධ්‍ය අසමත් වෙමින් පවතින බව පෙන්වා දෙන ඇය පවසන්නේ රාජ්‍ය විසින් මාධ්‍යට එල්ල කරන හිංසනයට හා සමානවම මාධ්‍ය විසින්ද සමාජයට  සිදු කරන බවත් එය දේශපාලනිකව, වාර්ගිකත්වය මත, ජාතිබේද මත, ස්ත්‍රී /පුරුෂ භාවය මත, ලිංගිකත්ව මත පුද්ගලයින්ව පීඩාවට පත් කරන බවය.

මහජන ජනතාවගේ සංඛයාත භාවිතා කරමින් ඇතැම් නාලිකා මාධ්‍ය ආචාරධර්ම විරෝධීව ඉතාම සාහසික අයුරින් මිනිසුන්ගේ භීතිය හා වේදනාව රූගත කරමින් සිටින බවත් මෙය වඩාත්ම කොවිඩ් පළමු රැල්ලේදී සිදු වූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

එමෙන්ම මාධ්‍ය හිංසනයේ බරපතලම ගොදුරු වන්නේ ගැහැණුන් බවත් එය නිදහස් වෙළඳ කලාපයේ තරුණියන්ටත්, පියුමි හංසමාලිටත්,  චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් ඒක සේම අදාල බවද ඇය අවධාරණය කර සිටියි.

ඇය මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යට එරෙහි  හිංසනය හා  හිංසාකාරී මාධ්‍ය යන මැයෙන්  පැවති සුම් සාකච්ඡාවකදීය. මෙය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කර තිබුණි.

-ශානි- aithiya

Similar Posts