senaka

සිරකරුවෝද මනුෂ්‍යයෝය කියා පාඨයක් බන්ධනාගාර තාප්ප වල ගසා තිබුණාට නීතිය ක්‍රියාත්මක කිරිමේ බන්ධනාගාර නිලධාරීන් තුලම සිරකරුවන් / සැකකරුවන් ගැන ඇත්තේ පහත් හැඟීමක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ බන්ධනාගාර 28 ක් ඇති බවත් ඒවායෙහි මේ වන විට සැකකරුවන් හා සිරකරුවන් 25000 ක් පමණ සිටින බවත් කිසිම ආකාරයකට බන්ධනාගාරය තුල ඔවුන්ට මනුෂ්‍යයෙකු ලෙස සැලකුම් නොලැබෙන බවද ඒ මහතා කියා සිටියි.

බන්ධනාගාර තුල මේ වන විට ඝාතන රැසක් සිදු වුවද මේවාට වැරදිකරුවෙකු තවමත් නොමැති බව පෙන්වා දෙන ඔහු ආසන්නතම උදාහරණයට ගත්තේ පහුගිය වසරේ සිදු වු මහර බන්ධනාගාරයේ සිදු වු කැරැල්ලය. මහර බන්ධනාගාර ගැටුම සිදුව ලබන මස 29 දාට වසරක් සම්පුර්ණ වෙන නමුත් තවමත් එහිදි වින්දිත තත්ත්වයට පත් වු සිරකරුවන්ට සාධාරණ්‍යක් ඉටු වී නොමැති බව අවධාරණය කර සිටියි.

එදා මෙය දෙපාර්ශවයක් අතර ඇති වු ගැටුමක් ලෙස සඟවා මේ රැඳවියන්ගේ ඝාතන යටපත් කිරිමට ගත් උත්සහ පිලිබඳවද සිහිපත් කළ සේනක මහතා පවසන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අප සිරකරුවන්ට හොඳින් සලකන බවට අත්සන් තබා ඇතත් එය නාමික බව පෙන්වා දී සිටියි.

එසේම බන්ධනාගාරයෙන් පිටව යන 50% ක පමණ පිරිසක් නැවත බන්ධනාගාර ගත වෙන බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ ඊට හේතු වී ඇත්තේ බන්ධනාගාර විශෝධන ක්‍රියාවලියේ අසාර්ථකභාවය නිසා බව ද පවසයි.

බන්ධනාගාර ආඥා පනතේ ඇති ආකාරයට විශෝධන ක්‍රියාවලියක් සිදු නොවන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මේ රැඳවියන් ක්‍රමවත් ලෙස විශෝධන ක්‍රියාවලියකට යොමු කළ යුතු බවය.

එසේම පහුගිය සැප්තැම්බර් 12 දා රාජ්‍ය අමාත්‍යවරයෙකු බන්ධනාගාර තුලට කඩා වැදී හැසිරි තිබු ආකාරය සම්බන්ධයෙන්ද තවම නීතිය ක්‍රියාත්මක වී නොමැති බව සඳහන් කරන සේනක මහතා පවසන්නේ මේ රැඳවියන් ඉල්ලන්නේ දුමින්ද සිල්වාට දුන් පහසුකම් වලින් 5% ක් වත් නොවන බවය.

එසේම බන්ධනාගාර රැඳවියාට වධකාගාරයක් නොවිය යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ඔහු මේ බව කියා සිටියේ සිරකරුවන් සම්බන්ධ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරෙන ” සිරකරුවෝ මනුෂ්‍යයෝ ද ? ” විද්වත් සංවාදය අද (21) පෙරවරු 10.00 ට කොළඹ ජානකී හෝටලයේදී පැවැති අවස්ථාවේදීය.

මෙය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය හා අයිතිය වෙබ් අඩවිය විසින් සංවිධානය කර තිබු අතර සීමිත ජන සහභාගීත්වයකින් සුම් තාක්ෂණය ඔස්සේ සජීවිව පැවැත්විණි.

මෙම මහජන සංවාදයේදී ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප්‍රනාන්දු, ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකා නීතිඥ අම්බිකා සත්කුණනාදන්, රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය සුරංජිත් ගුණසේකර යන මහත්ම මහත්මීන් අදහස් දැක් වුහ.

මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුයේ නීතිඥ දුලාන් දසනායක මහතා විසිනි.

Similar Posts