සංචාරක කර්මාන්තය බිද වැටී මාස 18ක පමණ කාලයක් ගත වී නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා  පාස්කු ප්‍රහාරයෙන් පසු බිදවැ‍ටුණු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් කර්මාන්තය බිමට ම සමතලා වූ බවත් මේ වන විට සංචාරක හෝටල් හා නවාතැන්පළ ඇතුළු ආහාරපාන සපයන ස්ථාන 350 පමණ වැසී ගොස් එහි සේවය කළ සේවකයන් 3500 කගේ ‍රැකියා අහිමිවී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.පි.ආරියදාස මහතා පවසයි.

කේ.පී.ආරියදාස මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.

එහි දී ඔහු වැඩි දුරටත් පැවසුවේ මාස 4 ක පමණ කාලයක් වසා දැමුණු සංචාරක හෝටල් සදහා දවල්  තරු පෙනෙන විදුලි බිල් ලැබෙමින් පවතින බවයි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ කේ.පී.ආරියදාස මහතා මෙසේ ද කීය.

“මේ වන විට තිබෙන තත්ත්වය ඉතාම බර පතලයි.සංචාරක කර්මාන්තය බිද වැටීම වේගවත් වෙලා.අපේ සංගමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් හිමියන් 151ක් සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.දිස්ත්‍රික්කයේ ම සංචාරක හෝටල් 350ක් පමණ තිබෙනවා.

මේ හෝටල් වල සේවය කළ සේවකයින් 3500ක් විතර කොරෝනා නිසා වසා දැමුණු හෝටල්වලින් ඉවත් කෙරුණා.තරු පන්තියේ හෝටල් පවා සේවකයින් බාගයක් පමණ අඩු කළා.මේ කිසිම සේවකයෙකුට මේ මාස 4ක කාලය තුළ කිසිම වැ‍ටුපක් ගෙවන්න අපට පුළුවන්කමක් තිබුණේ නෑ.ඒ සේවකයින්ට හාම්පුතුන්ගෙන් රාජ්‍ය යාන්ත්‍රණයෙන් කිසිම සහනයක් ලැබුණේ නැ.

රජය කොරෝනා ව්‍යාතිය පාළනයට ගත්ත නිවැරදි තීරණ හා උත්සාහයන් නිසා මාස 4කින් පමණ පසු හරි අපේ සංචාරක හෝටල් විවෘත කරන්නට හැකි වීම ගැන ජනාධිපතිතුමාට රජයට හා සෞඛ්‍ය කාර්යමණ්ඩල ඇතුළු කොරෝනා මර්දනයට උර දුන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.

කොරෝනා අවදානම්ම කාලේ මෙහෙ හිටිය විදෙස් සංචාරකයින්ට අපි පෙරුම්කායන් බැදලා දේශීය සෞඛය සහන ලබා දීලා ‍රැක බලා ගෙන නිරුපද්‍රිතව ඔවුන්ගේ රටවලට යන්න ඉඩ සැලසුවා. අපේ හෝටල් නැවත පනගන්වන්න මාස දෙකක කාරක ප්‍රාග්ධනයක් රජය විසින් ලබා දෙන බවට පොරොන්දු වුණා.ලංකා බැංකුව මහජන බැංකුව එම කාර්යයට අත ගහලා තියෙනවා.නමුත් පෞද්ගලික බැංකුවලට මෙම නියෝගය ලැබී නෑ.ඔවුන් ද ලොකු සහයක් හෝටල් කර්මාන්තය වෙනුවෙන් දක්වනවා.

ඒ සහනය පෞද්ගලික බැංකුවලිනුත් ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.දැන් අපෙ සංචාරක හෝටල්වල කිසිම විදෙසීය සංචාරකයෙක් නෑ.පොලොන්නරුවේ කිසිම හෝටලයක නවාතැන් ගෙන සිටින කිසිම විදෙස් සංචාරකයෙක් නෑ.අපේ හෝටල් නවීකරණය කරන්න සිද්ධ වෙලා. මාස 4 ට ඒවා පරිහානියට පත් වෙලා.කොරෝනා අස්සේ අපිට එන විදුලි බිල තමයි දරන්නම අමාරු.මගේ හෝටලයටත් මාසයකට 120 000ක පමණ විදුලි බිලක් ලැබෙනවා.මාස 4ක් ගත්තාම හිතා ගන්න පුළුවන් ද අපට සිද්ධ වෙලා තියෙන පාඩුව.

තරු පන්තියේ හෝටල්වලටත් මෙය තදින්ම දැනි තිබෙනවා.මිලියන බාගයක් විතර අපට විදුලිය බිල ගෙවන්න වෙලා තියෙන්නෙ කිසිම ආදායමක් නැතුව.ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බිද වැ‍ටුණු සංචාරක හෝටල් කර්මාන්තය ගොඩ ගන්න කියලා යහපාලන ආණ්ඩුව මාස 06ක් බැංකු ණය වාරික නොගෙවා සිටීමේ සහනයක් දුන්නා.දැන් ඒ මාස 06 ටත් එක්ක පොලියත් හැදිලා අපට ඩබල් ගෙවන්න වෙලා තියෙනවා.කිසිම ආදායමක් නැතුව.අපි රජයෙන් ඉල්ලා හිටින්නේ මුලු රටේම සංචාරක කර්මාන්තය පොලවලට සමතලා වෙන්න නොදී ‍රැක ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා.” යැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ඊෂා මුදියන්සේ -පොලොන්නරුව

Similar Posts