doctors

ගෝලීය වසංගතයක්ව පවතින කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය මෙරට ආක්‍රමණය කිරිමත් සමඟ සෞඛ්‍ය අංශ වලට විශාල වගකීමක් පැවරුණි. ඒ අතර හෙද සේවාව ප්‍රමුඛය.

නමුත් ඔවුන් ඉදිරියේදි වෘත්තිය ක්‍රියා මාර්ගයකට සුදානම් වන බව ප්‍රකාශ වු අතර ඒ සම්බන්ධයෙන් හා රටේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ගැන අප රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සමන් රත්නප්‍රිය මහතා සමඟ සාකච්ඡා කළෙමු.

01) කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ලංකාවේ සුදානම ප්‍රමාණවත්ද?

ලංකාවේ සුදානම නම් ප්‍රමාණවත් කියලා අපි හිතන්නේ නැහැ. මේ වසංගත තත්ත්වය පටන් ගන්නකොට රටේ සුදානමක් තිබුණේ නැහැ. මේක සාමාන්‍ය දෙයක් ලෙස ගණන් ගත්ත බව තමා අපේ හැඟිම. ඒ නිසා විවිධ ප්‍රකාශ කරනවා දැක්කා රටේ පාලක පක්ෂය.

ඒක නිසාම අද යම් යම් ගැටලු බරපතල විදිහට මතු වෙලා තියෙනවා. ඒවාට උත්තර හොයා ගන්න ගියහම හරි අපහසු තත්ත්වයක් තියෙන්නේ. වසංගත රෝග තත්ත්වයට මුහුණ දිමේදි ප්‍රධාන වශයෙන්ම මේක පැතිරීම වැලැක්වීම අනිවාර්ය සාධකයක්.

ඒ වගේම රටේ ඉන්න රෝගීන්ගේ සංඛ්‍යාව නිවැරදිව යම් ආසන්න තක්සේරුවකට හදා ගැනීම තව කාරණයක්. කොච්චර රෝගීන් ඉන්නවද කියා දළ අදහසක් තියෙන්න ඕනේ. ඊළඟට රෝහල් වලට එන රෝගීන්ට හරියට ප්‍රතිකාර සේවාව දෙන්න ඕනේ. එහෙම දෙන්න පුලුවන් වන්නේ මොනවගේ තත්ත්වයන් යටතේද කියා අදහසක් තියෙන්න ඕනේ.

අද වෙන කොට රෝහල් වල පහසුකම් ගතහොත් රෝගීන්ට ප්‍රතිකාර හා සත්කාර සේවා කිරිම සඳහා ඇති පහසුකම් ප්‍රමාණවත් නැහැ.

02) ලොව පුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ වෛරසයට ගොදුරු වුණා. ලංකාවේ සෞඛ්‍ය මණ්ඩල වල තත්ත්වය කොහොමද?

ඊයේ සිදුවේච්ච උදාහරණයක් තමයි. කුරුණෑගල රෝහලේ භ95 කියන මාක්ස් එක නැහැ. මේ මාක්ස් එක තමා වෛරසයෙන් බේරෙන්න මුඛ ආවරණයක් ලෙස පලඳින්න සුදුසු කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් නිර්දේශ කරන්නේ. අපි භාවිතා කරන හුඟක් මාක්ස් වලින් මේ වෛරසය පෙරෙන්නේ නැහැ. ඒ වෛරසය අපේ මුඛයෙන් හෝ නාසයෙන් ඇතුල් වීම වළකින්නේ නැහැ. මේ මාක්ස් එක කුරුණෑගල රෝහලේ තිබිලා නැහැ. කොළඹින් ඉල්ලුවහම ලැබිලා තියෙන්නේ 10 යි.

මේ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයම 1200 කට වැඩියි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගතහොත් තුන්දහසකටත් වැඩියි. එතැන අංශ කිහිපයක්ම තියෙනවා කොරෝනා වෙනුවෙන්. මෙවැනි තත්ත්වයක් තමා ඉදිරියට උපකරණ සහ භාණ්ඩ පැත්තෙන් තියෙන්නේ. ඒ වගේම වෛද්‍යවරු හා හෙද කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තියෙන්නෙත් 20 ක් වගේ ප්‍රමාණයක්. නමුත් එක සේවා මුරයකටම මේ ආරක්ෂිත ඇඳුම් කට්ටල 6-7 ක් අවශ්‍ය වෙනවා. මේ ප්‍රමාණය මදි.

පෙරේදා දවසේ අකුරණ රෝහලේ සිද්ධියක් වුණා. අකුරණ වසා දමා ඇති ගම්මානයේ ජිවත් වන කොටසක් පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට අරන් යන්න හමුදාව මැදිහත් වෙලා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ගිලන් රථ වලින් මේ පිරිස ගෙනියන්න තීරණය කළ අවස්ථාවේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයට යාමට හැකි වුණේ නැහැ.

මොකද? ඔවුන්ට කිසිම ආරක්ෂිත උපකරණයක් තිබුණේ නැති නිසා. අවම වශයෙන් මාක්ස්වත් තිබුණේ නැහැ. මෙහිදි මාතලේ රෝහලෙන් ඇඳුම් වගයක් ගෙනත් දීලා තිබුණා. ඒවත් ඒ රෝහලේ හෙද නිලධාරින් විසින් මසා ගත් ඒවා. අද වෙනකොට කුණු ඉවත් කරන ගාබේජ් බෑග් දෙපැත්ත මසාගෙන අඳින තත්ත්වයට පත් වෙලා තියෙනවා.

මේ ආරක්ෂිත ඇඳුමක් අඳින්න පුලුවන්, මාක්ස් එකක් පලඳින්න පුලවන් එක වරක් පමණයි. නැවත පිරිසිදු කරලා ගන්න බැහැ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයත් නිර්දේශ කරලා තියෙන්නේ. අන්තිමට අකුරණ රෝහලේ කාර්ය මණ්ඩලය ගියේ නැහැ ඒ ජිවිත අවධානම නිසා. අන්තිමට ඒක සෞඛ්‍ය පරිපාලන පැත්තෙන් ප්‍රශ්නයකුත් වුණා.

ඒ වගේම බේරුවල රෝහලෙන් පැමිණිල්ලක් ආවා. බේරුවල රෝහලෙත් මේ වෙනකොට කොරෝනා ඒකකයක් දැම්මා. මොකද? ඒ පැත්තේ මේ වෛරසය පැතිරෙමින් තිබෙන නිසා.

ඒ ආපු පැමිණිල්ල තමා නේවාසික පහසුකම් වගේම අනෙක් අවශ්‍ය පහසුකම් නැහැ කියලා. මා එය සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කළා.

ඔවුන් යම් දෙයක් කරන්න උත්සහ කළත් ලැබෙන සම්පත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
භ95 කියන මාක්ස් එක ලංකාවේ ගබඩා වල දෙදහකට තුන්දහකට වඩා නැහැ.

සමහර විට ඊට අඩු වෙන්නත් පුලුවන්. මේ ප්‍රමාණය කිසි විටෙක සෑහිමකට පත් වෙන්න පුලුවන් ප්‍රමාණයක් නෙමේ. ලංකාවේ රෝහල් පද්ධතිය බැලුවහම මේ වගේ මාක්ස් දාහක් වගේ හෙද, වෛද්‍ය, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා භාවිතා වෙනවා. ආරක්ෂිත ඇඳුම් පවා අඩුවෙන් තියෙන්නේ. මේවා ගෙන්වා ගැනීම සඳහා වැඩපිලිවෙලක් සකස් කරන්න ඕනේ.

මම දන්නා තරමින් මේවා චීනයෙන් ආනයනය කරන්න සැලකිය යුතු මහන්සියක් ගන්නවා. නමුත් තාම ඒක සාර්ථක වෙලා නැහැ. ඒ නිසා මෙය රාජ්‍ය ත්‍රාන්තික මැදිහත් වීමක් කරලා හෝ මේවා ගෙන්වා ගැනිමට උත්සහ කළ යුතුයි.

අනෙක් පැත්තෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක් වෙන්නට සිදු වෙලා තියෙනවා. මිනිස්සු රෝග තත්ත්වය නොකියා එනවා. එතකොට ඔහු රෝගියෙක් වුණොත් ඒ මුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම දවස් 14 කට නිරෝධායනයට ලක් කරන්න සිදු වෙනවා. අද වෙනකොට කලුබෝවිල, රාගම, මීගමුව, ජයවර්ධනපුර ආදි රෝහල් වල සැලකිය යුතු ප්‍රමාණයක් නිරෝධායනය වෙනවා. මේක අනාරක්ෂිත බවක්. එමෙන්ම ඉන්න කාර්ය මණ්ඩලය අඩු වීමක් සිදු වෙනවා.

ඇත්තටම දැන් දවස් 14 ක් නිරෝධායනය කිරිම ප්‍රමාණවත්ද? කියන කාරණය ගැන ගැටලුවක් තියෙනවා. මොකද? නිරෝධායනය කළ දෙන්නෙකුටම අද වෙන කොට රෝගය වැලඳිලා තියෙනවා.

ඒ වගේම නේවාසික පහසුකම් පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් විදිහට අයි.ඩි.එච් රෝහල ගතහොත් එහි හෙද කාර්ය මණ්ඩලය සේවය නිමවා හෙද නේවාසිකාගාර වලට ආවහම ඔවුන්ට තුන් දෙනෙක් එක්ක නේවාසිකාගාර කාමරය බෙදා ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ විවේකයෙන් ඉන්න එද්දී ඔවුන් මාක්ස් දාන්නේ නැහැ.

ආරක්ෂිත ඇඳුම් කට්ටලය අඳින්නේ නැහැ. මොවුන්ට භාවිතා කරන්න තියෙන්නේ එකම වැසිකිලිය. එතකොට ඕනෑම අවස්ථාවක මේ වෛරසය ආසාදනය වුණ කෙනෙක් කාමරයට පැමිණිමේ හැකියාව තියෙනවා. මේක අනතුරුදායක තත්ත්වයක්.

සාමාන්‍යයෙන් එක්කෙනකුට එක කාමරයක් දෙන්න ඕනේ. අපි එළියෙන් තැනක් අරන් දෙන්න කිව්වත් තාම ඒක සිදු වෙලත් නැහැ. හෙද කාර්ය මණ්ඩලය දැන් කියන්නේ නේවාසිකාගාරයට යනවට වඩා ආරක්ෂිතව වාට්ටුවේම ඉන්න එක හොඳයි කියලා.

සමහර රෝහල් වල ආහාර පාන ලබා දිමේදිත් විශාල චෝදනා තිබුණා. හරියට කන්න පුලුවන් දෙයක් දෙන්නේ නැහැ, හරියට කෑම ලැබෙන්නේ නැහැ ආදි ප්‍රශ්න. අපි මේවා සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමඟ කථා කළා.

මේවට විසඳුම් දෙන්න එකඟ වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේවට මුදල් වියදම් කරන්න රෝහල් වලට දීලා තිබුණත් රෝහල් වල හරි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

මේවා අපි කියන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂිත කරගතහොත් පමණයි රෝහලට එන රෝගියාත් සුවපත් කර ගෙදර යැවිය හැකි වන්නේ. මේ අය අසාධාරණකම් වලට ලක් වුණොත්, මෙයාලට වෛරසය ආසාදනය වුවහොත් තත්ත්වය භයානක වෙනවා. එතකොට රෝගියාට ප්‍රතිකාර කරන්න, සත්කාර කරන්න කවුරුත් ඉතිරි වන්නේ නැහැ. ඉතාලියේ සිදු වුයේ එයයි.

03) කොරෝනා රෝගය හඳුනා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරන පරික්ෂණ ප්‍රමාණවත්ද?

රෝගීන් හඳුනා ගැනීම කියන කාරණයේදි අපට තක්සේරුවක් තිබිය යුතුයි රෝගීන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවාද? කියලා. ඒ තක්සේරුව සඳහා අවශ්‍ය වෙනවා පරික්ෂණ කරන එක. මේ රෝගය හඳුනාගන්න ඡක්‍ඍ එැිඑ දවසකට 90-150 ක් කරනවා කියලා තමා ප්‍රායෝගිකව වාර්තා වෙන්නේ.

නමුත් මෙය 200 – 300 ක් වගේ ප්‍රමාණයක් කරන්න පුලුවන්. දැනට මේ සම්බන්ධයෙන් පරික්ෂණ කරන රෝහල් ප්‍රමාණය වැඩි කරගෙන යනවා.

ඇත්තටම දවසකට 1000 – 2000 ක් දක්වා වැඩි කලොත් පමණයි මේක අපට ඉක්මනට හඳුනා ගන්න හැකි වෙන්නේ. මේ එක පරික්ෂණයකට පැය හයක පමණ කාලයක් ගත වෙනවා. වියදම රුපියල් 4000-6000 ක් වගේ. අපි සොයා ගන්නා රෝගීන් ප්‍රමාණය අටෙන් වැඩි කරලා ගන්න ප්‍රමාණය තමා දළ වශයෙන් සිටින රෝගින් සංඛ්‍යාව කියලා ජත්‍යන්තරය පිලිගන්නේ. මේ හඳුනාගත් රෝගීන් හැර සෙසු සැක කරන සියලුම දෙනා ඉන්නේ ප්‍රජාවේ. එතකොට ඒ අය රෝගය බෝ කරනවා.

අපට මේ පරික්ෂණ කරන්න දැනුම තියෙන අය ඉන්නවා. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් අරගෙන මේ කරන පරික්ෂණ වැඩි කරන්න ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට හඳුන්වලා දීපු පරික්ෂයක් තමයි රැපිඞ් ටෙස්ට් :ඍ්චසා එැිඑ * එක. මේ පරික්ෂණය පරණ පරික්ෂණය වගේ නෙමේ. විනාඩි 5 -10 න් කරන්න පුලවන්. මේ ටෙස්ට් එකේ සංවේදිතාවය සියයට හැටක් වගේ ප්‍රමාණයක්. කලින් ටෙස්ට් එකේ සංවේදිතාවය සියයට හැත්තෑවක් වගේ.

ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ඉක්මනට හොයා ගන්න නම් රැපිඞ් ටෙස්ට් එක කරන්න කියලා. ඒ වගේම එක පාරක් නෙමේ. සැක කරන රෝගියෙකුට තුන් පාරක් කරන්න කියනවා. ඒ තුන් වෙනි අවස්ථාවේදි හරි මොහු රෝගියෙක්ද කියා හරියට දැන ගන්න පුලුවන් කියලා. මේ රැපිඞ් ටෙස්ට් එක තාම ලංකාවේ පටන් අරන් නැහැ.

මේක වියදම් අඩු ටෙස්ට් එකක්. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත්, වෛද්‍ය රසායනාගාර වල වැඩ කරන සහෝදරවරුන්ගේ තාක්ෂණික සංගමයත් අපේ සංගමයත් කිව්වා මේක පටන් ගන්න කියලා. නමුත් පටන් ගත්තේ නැහැ. මේකට අවශ්‍ය ටෙස්ට් කිට් ගේන්න ඕනේ ජපානයෙන් හරි චීනයෙන් හරි. තාම ඒවා ඇණවුම් කරලවත් නැහැ.

කාර්ය සාධක බලකාය තාම තිරණය කරමින් ඉන්නවා. ඇණවුම් කළත් සතියක් විතර යයි ගේන්න. අවම වශයෙන් පරණ පරික්ෂණය හරි සැක සහිත නිරෝධායන මධ්‍යස්ථාන වල ඉන්න අයට හා නිවෙස් වල ඉන්න අයට කරන්න ඕනේ. එහෙම කළොත් තමා රෝගීන් හඳුනා ගන්න පුලුවන්. කොරෝනා රෝග ලක්ෂණ පහල වෙන්නේ සියයට අසුවකට.

සියයට විස්සක් හැංගිලා ඉන්නේ. ඔවුන් රෝගය බෝ කරනවා. ඔවුන්ව හඳුනගන්න විදිහක් නැහැ. මේක ඉතාම බරපතල තත්ත්වයක්. ඒ නිසා කරන පරික්ෂණ උපරිමයෙන් කළ යුතුයි.

04) කෙරෝනා වෙනුවෙන් ඇප කැප වි සේවය කරන සෞඛ්‍ය අංශ සමාජයෙන් දුරස් කරන තත්ත්වයක් තියෙනවාද?

මේක ජනතාවගේ ආකල්ප වල තියෙන ප්‍රශ්නයක්. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වගේම නිරෝධායනයට ලක් වෙන පිරිසුත් ප්‍රතික්ෂේප වෙනවා. පහුගියදා වාර්තා වුනා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට කළ පහරදිමක්.

තමන්ගේ ජිවිතය බේරා ගන්න එන අයටත් පහර දෙනවා. මුල් කාලයේදි කොරෝනා වෙනුවෙන්ම වෙන් කළ රෝහල් වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල අයව සමච්චලයට ලක් කලා. ජනතාවගේ ප්‍රතික්ෂේප කිරිම් වලින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල කලකිරිමට පත් වෙනවා.

ඔවුන් එතකොට සිතන්න පටන් ගන්නවා ඇයි අපි මෙහෙම වැඩ කරන්නේ කියලා. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. මිනිස්සු බොහොම සංයමයෙන්, සංවේදිතාවයෙන් වැඩ කළ යුතු අවස්ථාවක් මේක.

අපි ඔවුන්ට කියලා තියෙන්නේ කළකිරිම් නොසලකා වැඩ කරන්න කියලා. මේක අපේ වගකීම. මිනිස්සු බේරා ගැනිම තමා පළවෙනිම කාර්යය. ජිවිතය ආනාරක්ෂිත වුණත් ඔවුන් එය කළ යුතු වෙනවා. මේක දාලා යන්න බැහැ.

05) ඉදිරියේදි වෘත්තිය ක්‍රියා මාර්ගයකට යොමු වෙනවද?

ඇත්තටම අපි වෘත්තිය ක්‍රියා මාර්ගයකට යොමු විය යුතු කාලයක් නෙමේ මේක. අපි මාස දෙකක් විතර මේ කොරෝනා වසංගත තත්ත්වය උඩ වැඩ කළා. එතකොට අපිට තේරුණ දෙයක් තමයි හරියට සැලැස්මක් ඇතිව මේ වැඬේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. සැලසුම් කරලා තිබුණා නම් අද වෙන කොට බඩු නැති වෙන්නේ නැහැ.

චීනයේ, ඉතාලියේ වෙන්නේ මොනවද කියලා තේරුම් අරන් තිබුණා නම් කලින්ම මේ බඩු ඇණවුම් කරන්න තිබුණා. ඒක එහෙම වුණේ නැහැ. ඇත්තටම මේක ගණන් ගත්තේ නැහැ. මේ බඩු නැති ප්‍රශ්නය අපිට ආවා. ඒ වගේම සෞඛ්‍ය ඇමතිනි ගන්න තීන්දුව පහළට ගලා ගෙන ගියේ නැහැ.

ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. සෞඛ්‍ය ඇමතිනි අපි සමඟ සාකච්ඡා කරලා පහසුකම්, නේවාසික හා ආහාර සම්බන්ධ ප්‍රශ්න විසඳන්න තීන්දු ගත්තා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙම නොවෙනකොට කියන්න තැනක් තිබුණෙත් නැහැ. හරි ඇහුන්කන් දිමක් තිබුණේ නැහැ. ඒ නිසා අපි රජයට යම් බලපෑමක් කරන්න හිතුවේ. රජය මේකට අද හෝ හෙට විසඳුම් ලබා දේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.

සංවාද සටහන – ශානිකා මාධවී

Similar Posts