bodilima

අප කවුරුත් දන්නා අන්දමට බෝදිලිමා යනු කටුසු විශේෂයකට අයත් සතෙකි. එහෙත්, එනමින් යුතු අමනුෂ්‍ය විශේෂයක් පිළිබඳ සාම්ප්‍රදායික ජන විශ්වාසයක් ද අප සමාජයේ තිබේ. දරුවෙකු බිහි කිරීමට ආසන්න මොහොතේ දරුවා කුසේ සිටියදීම , විළිරුදාවෙන් මියයන මව්වරුන් මරණයෙන් පසුව බෝදිලිමුන් නම් අමනුෂ්‍යයන් ලෙස උපදින බව පැරණි ගැමියෝ කියති.

ඉන්පසු ඔවුන් රාත්‍රී කාලවලදී පුරුෂ පක්ෂයට පමණක් ඇසෙන සේ වේදනාත්මක කෙඳිරියක් නඟන බව ඒ සම්බන්ධ ජන විශ්වාසයයි. නමුදු කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගල්ගමුවේ, ගිරිබාවේ පැවැත්වූ මාතෘ සායනයකට මහ දවාලේ පැමිණි එවැනි බෝදිලිමා යක්ෂයෙකු පිළිබඳ ‘ඇස් උඩ හිඳුවන’ පුවතක් මීට වසර කිහිපයකට පෙර මට අසන්නට ලැබිණ.

ඒ එවක ගල්ගමුව යූ.බී.වන්නිනායක ජාතික පාසලේ විදුහල්පති වශයෙන් කලක් සේවය කොට අපවත් වී වදාළ පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමිපාණන් වෙතිනි. උන්වහන්සේ පවසා සිටියේ ගල්ගමුව ප්‍රදේශයේ පැතිර යන එවන් කටකතාවක් පිළිබඳව ආචාර්ය මණ්ඩල සාමාජිකාවකගෙන් තමන්ට අසන්නට ලැබුණු බවකි. ඒ කෙසේ වෙතත් අමනුෂ්‍යයෙකු හිටිහැටියේ මහ දවල් පෙනී සිටීම මුල, මැද, අග ගලපා ගත නොහැකි ගැටළුවක් බැවින් එහි ගොස් විශේෂ විමසුමක් කිරීමට මට සිත් විය.

එම කටකතාවට පාදක වූ සිද්ධිය 2012 වසරේ නොවැම්බර් 19 වන අඟහරුවාදා සිදුවූවකි. එදින ගිරිබාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සායන සඳහා පැමිණි පිරිසකට ඒ ඉදිරිපිට මහා මාර්ගය පැන එදෙසට එන ‘අමුත්තෙකු’ නෙත ගැටී ඇත. ඒ සාමාන්‍ය ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් විශාල බෝදිලිම් කටුස්සෙකි.

bodilima

පසුව එහි සිටි කිහිප දෙනෙකු එම බෝදිලිමා අල්ලාගෙන එහි සිටි පිරිස හමුවේ ප්‍රදර්ශනය කරන ලද්දේ උගේ ශරීර ප්‍රමාණයේ ඇති අසාමාන්‍යතාව සලකමිනි. ඒ සතා ඒ මොහොතේ එහි සිටි ගිරිබාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ඩී.ජී.රත්නායක මහතාගේ ද නිරීක්ෂණයට ලක්ව තිබේ. පසුව ඒ පිරිස විසින් එම බෝදිලිමා ආසන්නම වන ලැහැබකට නිරුපද්‍රිතව මුදාහැර ඇත.

මෙම බෝදිලිම් කටුසු විශේෂය සහ එනමින් යුතු අමනුෂ්‍යයා හා සම්බන්ධයෙන් විමසීමේදී මතුවන පරස්පරතා බොහෝ ය. ශ්‍රී ලංකාවට ආවේණික ඉන්දියානු බෝදිලිමා යනුවෙන් හඳුන්වන මෙම සත්ව විශේෂයේ විද්‍යාත්මක නාමය Chamaeleo zeylanicus යන්නයි. කොළ සහ දුඹුරු පැහැවලින් යුතුව ශ්‍රී ලංකාවේ පහතරට තෙත් සහ වියළි කලාපවල දක්නට ලැබෙන මෙම සත්ව විශේෂය දිවා කාලයේ පමණක් හැසිරෙන බව සනාථ වී තිබේ.

එමෙන්ම දිවා කාලයේ බෝදිලිම් කටුස්සන් මෙන් සැරිසරන මොවුන් රාත්‍රී කාලයට අමනුෂ්‍ය වෙස්ගෙන පිරිමින්ට පමණක් ඇසෙන සේ වේදනාත්මක හඬක් නගන බව පිළිගත නොහැක.

ඒ සැන්දෑ අඳුර වැටීමත් සමඟ රුක් අත්තක් මතට හෝ ගස් දෙබලක් අතරට වී තම ඉදිරිපස පාද දෙක කොට්ටයක් සේ තබා ගනිමින් රැය පහන්වනතුරු සුවසේ නිදාගන්නා නිහඬ සත්ව කොට්ඨාසයක් බැවිනි. එමෙන්ම, මෙම බෝදිලිමා කටුස්සන් දක්නට නොලැබෙන ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවලින් ද බෝදිලිමා නම් අමනුෂ්‍ය ගණය පිළිබඳව තොරතුරු ගොනුකරගත හැක.

ඒ අනුව රාත්‍රී කාලයට පිරිමින් බිය ගැන්වීම පිළිබඳ චෝදනාවෙන් මෙම අහිංසක බෝදිලිම් කටුස්සන් ‘නිදොස්කොට නිදහස් කිරීමට’ අපට සිදුවනු ඇත.මෙම බෝදිලිමා යන්න ඇතැම් ප්‍රදේශවල බෝදිරිමා යනුවෙන් ව්‍යවහාර වන අතර එය (ප්‍රසූතිය සඳහා) බොහෝ දිරි ගත් මව යන අරුත ගෙනෙන බෝ+දිරි+මා යන්නෙන් සැකසුණු නමක් සේ ද පෙනෙයි.

පිරිමින් බියවද්දමින් රාත්‍රී කාලවල වේදනාත්මක හඬක් නගන බෝදිලිම් යක්ෂයන් පලවාහැරීම පිළිබඳ වන ජන සම්මත ක්‍රම කිහිපයකි. ගල්ගමුව යූ.බී.වන්නිනායක විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වූ ඒ.එම්.සෙනෙවිරත්න මහතා පවසනුයේ මෙම බෝදිලිම් හඬ නගන දිසාවට පිරිමින්ගේ මුත්‍රා සහිත පොල්කටුවක් විසි කිරීමෙන් එම හඬ නෑසී යන බවට තමන් උපන් මහව, කෝන්වැව ප්‍රදේශයේ පැරණි ජන විශ්වාසයක් තිබූ බව ය.

එමෙන්ම ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාව හත්වරක් ජප කරන ලද තෙල් වර්ගයක් සහිත පොල් කටුවක් ගම්මිරිස් කොලයක් ද සහිතව බෝදිලිම් හඬ එන දෙසට තබා ‘ඉඳා, මෙන්න මේ තෙල් ටික ගාගනින්, එතකොට උඹේ ඔය රුජාව ඇරිලා යයි’ යනුවෙන් හඬ නගා කීමෙන් ද මෙම බෝදිලිම් හඬ නෑසී යන බවට ජන විශ්වාසයක් තිබේ.මෙහි දී ගම්මුන් බෝදිලිමාට එම ප්‍රතිකාරය සඳහා බුලත් කොළයක් වෙනුවට ගම්මිරිස් කොළයක් තැබීමට විශේෂ හේතුවක් තිබේ.එනම් බුලත් කොළයක් තැබීමක් මඟින් එය තමන්ට කරනු ලබන “බුලත් දීමක්” හෙවත් ඇරයුමක් සේ බෝදිලිමා වටහා ගනු ඇතැයි ගැමියන් විශ්වාස කළ බැවිනි.

පිරිමින් බියපත් කරන මෙම බෝදිලිම් හඬ හමුවේ ඉලපත් ද රැගෙන මිදුලට බැස අමු තිත්ත වදනින් බෝදිලිමාට බැණවදින වැඩිහිටි ගැමි ගැහැනුන් පිළිබඳ අපූරු සඳහනක් මෙරට මිනින්දෝරු වෘත්තියේ යෙදෙන අතරේ මානව විද්‍යංත්මක මෙහෙවරක් කළ ඒ.එල්.බ්‍රෝහියර් සූරීන්ගේ Discovering Ceylon.නම් කෘතියෙහි සඳහන් වේ. එහිදී බෝදිලිම් යක්ෂයා පිළිබඳ විස්තර දක්වන ඔහු අවසානයේ මෙසේ ද කියයි.

“එක් අසරණ බෝදිලිමෙකු බියවැද්දීම පමණක් නොව යක්ෂ සේනාවක් පලවාහැරීමට වුව උචිත භාව ප්‍රකාශනයක් සහ වදන් මාලාවක් බොහෝ ගම්බද වැඩිහිටි කතුන්ගේ වාග් කෝෂයේ තිබෙන බවට සහතික වන්නට මට පුළුවන.”

මීට අමතරව වත්මන් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවිය ප්‍රදේශයේ බෝදිලිම් යක්ෂයන් පලවා හැරිය හැකි ‘අංකිරි ගොට්ටේ’ කෙමක් පිළිබඳවද අසන්නට ලැබේ.

කේ.බී. මානෑව සූරීන්ගේ ‘නුවර කලාවියේ ජනවහර’ අපවත් වී වදාළ ඔරුක්මාන්කුලමේ චන්දන හිමියන්ගේ ‘නුවර කලාවියේ නිමිති’ සහ හොරොව්පතානේ පඤ්ඤානන්ද හිමියන්ගේ ‘කල්පෙ කෝරලයේ ඇදහිලි, පුද සිරිත්’ යන කෘතිවල සඳහන් අන්දමට එම ගොටුවේ තිබිය යුතු අංකිරි වශයෙන් හඳුන්වා ඇත්තේ ශුකාණුය. බෝදිලිම් යක්ෂයා ගැබිනියකව සිටියදී මරණයට පත්වූ නිමිත්ත සහ ඉහත සඳහන් ‘අංකිරි’ අතර ඇති සබැඳියාව අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

දරු ප්‍රසූතියක් මුල්කොට මවක මරණයට පත්වීම (Intrapartum menternal death) සෞඛ්‍ය සේවාවන්හි පවත්නා ඌණතාවයන් මත සිදුවීමේ පැහැදිලි සම්භාවිතාවක් ඇතැයි පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය 2017 වසරේ සිදුවූ එවන් මාතෘ මරණ දෙලක්ෂ අනූපන්දහසින් සියයට අනූ හතරක්ම ලොව අඩු සහ මධ්‍ය ආදායම්ලාභී රටවලින් වාර්තා වූ වළක්වා ගත හැකි මරණ බව නිවේදනය කොට ඇත.

එවන් පසුබිමක් තුළ මේ වනවිට අප රටේ මාතෘ මරණ අනුපාතය ද ආසියාතික මට්ටමින් සතුටුදායක මට්ටමින් අව ප්‍රමාණ වී ඇති බැවින් ඒ ඔස්සේ දැනට අප පැරණි ජන සමාජය සතු බෝදිලිමා නම් අමනුෂ්‍යයා පිළිබඳ විශ්වාසය ද හුදෙක් මානව ඉතිහාසය හා එක්වන දිනය නුදුරේදීම උදාවනු ඇත.

තිලක් සේනාසිංහ

 

Similar Posts