ජමීල්  අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න

pasku-paharaya

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි.

ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි.  පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ.

වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින් කියවා බලා නැති දෝෂ සහිත සිංහල වාර්තාවකි.

අපරාධ සහායකයා නිලන්ත ජයවර්ධනද?

කොමිෂන් සභාවේ සාක්ෂි විභාගය සමඟ මෙම පිටු 541ක් වන ජනාධිපති කොමිසමේ පළමු පරිච්ඡේදය විමසිල්ලෙන් කියවන විට රාජ්‍ය නිලධාරීන් අතුරින් ප්‍රධානතම සැකය ඇති වන්නේ එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධන කෙරෙහි ය.

ඔහු, තමා ඒ දිනවල පාවිච්චි කළ ජංගම දුර කථනයේ තොරතුරු මකා දැමුවේ ය. අතිශය භයානක මිනිස් ඝාතනයක් සිදු වූ අවස්ථාවෙහි තමා විසින් ඒ පිළිබදව කරන ලද කතා බහ කරා ආපසු යා හැකි තොරතුරු මූලාශ්‍ර මකා දමන්නේ කුමන බුද්ධි අංශ ප්‍රධානියකුද?  ඔහු එම තොරතුරු ආපසු සොයා ගත නොහැකි වන ලෙස මකා දැමුවේ සිය ජංගම දුරකථනය පැක්ටරි රී සෙට් යන තත්වයට ගෙන යාම මගිනි.

ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත ලැබී ඇති මෙම පිටු 541ක පළමු පරිච්ඡේදය  සැකිල්ලෙන් කියවන ඕනෑම අයකුට සිහියට නැගෙන විමතිය ඇති කරන කාරණා ගණනාවක් තිබේ.

නිලන්ත ජයවර්ධනට අප්‍රේල් හතරවනදා ඉන්දීය ඔත්තු සේවාවන්ගෙන් නිල වශයෙන් සහරාන් අතුලු කන්ඩායමේ සැළැස්ම ගැන ප්‍රථම ඔත්තුව ලැබුණි. වාර්තාවට අනුව එදිනම ශ්‍රී ලංකාව තුළ සිටි ඉන්දීය බුද්ධි සගයකුගෙන්ද එම තොරතුර ලැබුණි. වාර්තාවේ සිංහල පරිවර්ථනයට අනුව අප්‍ර්ල් 04 දා මුලාශ්‍ර දෙකකින් තොරතුරු ලැබුනේද යන්න පැහැදිලි නැත.

ඉන්දීය බුද්ධි අංශ නිල වශයෙන් කරන ලද දැනුම් දීමෙහි දී ප්‍රහාරයකට සම්බන්ධ වියහැකි පුද්ගල නාම ලැයිස්තුවක්ද ලබා දන්නේ ය. ඒ අතර හිටපු බුද්ධි අංශ සාමාජිකයින්ද විය ප්‍රහාරයට සූදානම් වන අය වශයෙන් සහරාම් හෂිම්, රිල්වාන්, මිල්හාන් ඇතුලු තවත් නම් ගණනාවක් ද අතුළත් විය.

කෙසේ නමුත් නිලන්ත ජයවර්ධන ආරක්ෂක තත්වය ගැන කරන ලද ඉදිරිපත් කිරීම්වල දී මෙම තොරතුර සඟවා ගෙන සිටියේ ය. අප්‍රේල් 09දා පොලිස්පති වෙත මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීමක දී ඔහු සහරාන්ගේ නම සඳහන් නො කිරීමට ප්‍රවේසම් වී තිබේ.

මෙම තොරතුරු ලබා ගත්තේ පණිවිඩවලට සවන් දීමෙන් දැයි විමසනු ලදුව ඉන්දීය බුද්ධි ඒජන්තවරයා කියා සිටියේ ඒම තොරතුරු ජන මූලාශ්‍රයකින් ලබා ගත් බවයි. එපමණක් නොව තමන් විසින් දෙන ලද තොරතුරු එලෙසම බෙදා හැර ඇති බැවින් තමන්ට තවදුරටත් තොරතුරු ලබා ගත නොහැකි වීමට ඉඩ ඇතයි ද ඔහු කනස්සල්ලට පත්ව සිටියේ ය. එලෙස බෙදා හරින ලද තොරතුරු ලිපියක් ඔහුට ලැබී තිබුණි.

20වනදා තෙක් නිදා සිටි ජයවර්ධන

අප්‍රේල් 20දා වන තුරු නිලන්ත ජයවර්ධන ප්‍රහාරය වැළැක්වීමට ගත හැකිව තිබූ කිසිම පියවරක් ගත්තේ නැත.

ඔහු ජනාධිපති සිරිසේනට මේ ගැන දැනුම් නොදුන්නේ යැයි කීම පිළිගැනීමද දුෂ්කරය. රන්මසු වටිනා ප්‍රශ්නය වන්නේ ඔහු සිය ජංගම දුරකථනයේ සියලු තොරතුරු මකා  දැම්මේ ඇයිද යන්නයි. බුද්ධි නිලධාරියකු වශයෙන් ජංගම දුරකථනයක දත්තයන්හි වැදගත්කම ඔහු නොදැන සිටියේ යැයි පිළිගත හැක්කේ අඳබාලයකුට පමණි.

ඇත්ත වශයෙන්ම නම් මේ වන විට සිරගත ව සිටිය යුත්තේ හේමසිරි සහ පූජිත නොව නිලන්ත ජයවර්ධනය.

වාර්තාව සඳහන් කරන්නේ නිලන්ත ජයවර්ධන ජනාධිපති සිරිසේන ආරක්ෂා කිරීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම් අයකු ලෙස පෙනී ගිය බවයි. තමා මේ ගැන සිරිසේනට දැනුම් නො දුන් බවට නිලන්ත ජයවර්ධන දුන් සාක්ෂිය කොමිසම පිළිගෙන නැත.

ඕනෑම රටක රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට රාජ්‍ය නායකයා දුරකථනයෙන් දවසේ ඕනෑම වේලාවක සම්බන්ධ කර ගත හැකි දුරකථන සම්බන්ධතාවයක් තිබේ. එපමණක් නොව මෙරට සෑම දිනකම උදෑසන රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් රාජ්‍ය නායකයාට එදින තත්වය සහ වැදගත් බුද්ධි තොරතුරු අඩංඟු ලිපි ගොනුවක් යවයි. එයට කලු පෙට්ටිය යැයි පවබැඳි නාමයක්ද තිබේ.

නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ කියා සිටියේ තමා 2දවන දින තෙවරක්ම ජනාධිපති සිරිසේන දුර කථනයට සම්බන්ධ කර ගැනීමට දරන ලද උක්සාහ අසාර්ථක වූ බවයි. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයකු හෝ පත් නොකර විදේශගතව සිටි ආරක්ෂක ඇමැතිවරයාද වූ රාජ්‍ය නායකයා සිය බුද්ධි අංශ ප්‍රධනියාගෙන් ලද ඇමතුම් තඅනකටම පිලිතුරු නොදුන්නේ නම් නිලන්ත ජයවර්ධන සමඟ කූඩුවේ සිටිය යුත්තේ සිරිසේනය.

සහරන් හා එක් වූ මෙම හිටපු බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනාම මරා ගෙන මැරෙන ප්‍රහාරයන්ට ඉදිරිපත්  වී ද නැත.

බුද්ධි අංශ ඔත්තුකරු මිල්හාන්

තවත් වැදගත් කාරණයක් නම් මිලිහාන්ය.

සහරාන් විසින් සංවිධානය කරන ලද පුහුණු කඳවුරු 13ක හෝ 14ක අවි ආයුධ පුහුණුව ලබා දී ඇත්තේ මිල්හාන් විසිනි.

ඔහුගේ සම්පූර්ණ නම හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්ය. ඔහුට ආයුධ පුහුණුව ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වීමයි. ඒ එල්ටීටීයට එරෙහි යුද්ධ හමුදා ඔත්තුකරුවකු ලෙස සේවය කිරීමට 2006 වසරෙහි දීය. ඔහුට මෙම පුහුණුව ලබා දෙන ලද්දේ පොලිස් ෆයිස් නමින් හැඳින් වූ තවත් මුස්ලිම් ජාතික මිලිටරි බුද්ධි අංශ සාමාජිකයකු විසිනි. පසුව පොලිස් ෆයිස් ද සහරාන්ට සම්බන්ධ විය.

මෙහි පුදුමයට කරුණ නම් තමන් විසින් ආයුධ පුහුණුව ලබා දෙන ලද මුස්ලිම් ජාතික ඔත්තුකරු පිළිබඳ ව ඉන් පසුව යුද හමුදා බුද්ධි අංශ කවර හෝ නිරීක්ෂණයක් පවත්වා නො ගැනීමයි. පෙනෙන විදිහට 2010 වර්ෂයෙන් පසු බුද්ධි අංශ විසින් එක්කෝ ඔහු අතහැර දමන ලදහ. නැත්නම් රහසිගතව වැඩ කරන බුද්ධි අංශ ඔත්තුකරුවකු ලෙස තබා ගන්නා ලදී.

2016 වර්ශයේ සිට මෙම මිලිටරි ඔත්තුකරු අයිසිස් නම් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයේ අදහස් සිය මුහුණූ පොත හරහා ප්‍රචාරය කරන්නට පටන් ගත්තේය. ඒ වන විටත් ඔහු ඔත්තුකරුවකුව සිටියේ ද නැද්ද යන්න පැහැදිලි නැත. පාස්කු ප්‍රහාරයන්ගෙන් පසු කටාර්හිදී අත්අඩංගුවට ගැනුණු මිලිහාන් දැන් සිර භාරයේ පසු වෙයි.

තවත් බුද්ධි අංශ සාමාජිකයෙක්: මෙහොමඩ් නියාස්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් අයකු යුද හමුදා බුද්ධි අංශයේ සේවය කර ඇති බව වාර්තාව සඳහන් කරයි. ඒ අහමඩ් ලෙබ්බේ මෙහොමඩ් නියාස්ය.

2004 වර්ශයේ සිට බුද්ධි අංශ සාමාජිකයකු ලෙස කටයුතු කළ නමුත් ඔහු පෙනී සිටියේ මාධ්‍යවේදියකු ලෙසයි. ඒ සඳහා වෙබ් අඩවි දෙකක් පවත්වා ගෙන ගිය ඔහුට භාෂා පහක් චතුර ලෙස කතා කිරීමට හැකි විය.

(අද පවා බුද්ධි අංශ විසින් පවත්වා ගෙන යන දෙස් විදෙස් ශ්‍රී ලංකා වෙබ් අඩවි තිබෙන බව කියනු ලැබේ. එදා තිබුණි නම් අද නොතිබීමට හේතුවක් නැත.)

පෙනෙන විදිහට ඔහු බුද්ධි අංශ සමඟ සබඳතා පවත්වා ගනිමින්ම කටාර්හි රැකියාවකට ගොස් තිබේ. 2017 දී ආපසු පැමිණි ඔහු අසිසිස් මතවාදය ප්‍රචාරය කරන්නට පටන් ගත්තේය. මේ වන විට බුද්ධි අංශ ඔහු සහමුලින්ම අතහැර දමා තිබුනේද යන්න පැහැදිලි නැත. සිය බුද්ධි අංශ ඔත්තුකරුවකට නිදැල්ලේ යාමට ඉඩ දෙන යුද්ධ හමුදාවක් තිබිය හැකිද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ.

ඔහු ප්‍රහාරයන්ට සම්බන්ධ නොවූ නමුත් අප්‍රේල් 26 දින සයින්දුමර්දු හි ඇතිවූ වෙඩි හුමමාරුකින් සහ බෝම්බ පිපිරීම් හමුවේ මරණයට පත් විය.

මෙම හිටපු බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනාම මරා ගෙන මැරෙන ප්‍රහාරයන්ට ඉදිරිපත්  වී ද නැත.

රජයේ හමුදාවන්ට සම්බන්ධ වී සිටි බව පෙනෙන ආමි මොහිදීන් නම් පුද්ගලයකුද සහරාන් කණ්ඩායමට සම්බන්ධ වී සිට තිබේ. යුද සමයේ මෙන්ම ඉන්පසුවද හමුදා බුද්ධි අංශයන්ට සම්බන්ධ වු මුස්ලිම් ජාතිකයින් 40 දෙනෙකුට පමණ යුද හමුදාවේ රහසිගත අරමුදලෙන් වැටුප් ගෙවන ලදැයි චොදනා ඒල්ල විය. එනමුත් ඒම පුද්ගලයින් සියලු දෙනා හෙළිදරව් වී නැත. එය ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක් විය හැකිය.

ඒලෙස වැටුප් ගෙවන ලද රහසිගත අරමුදල පවතින්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේය. එය බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවැත එයි. එය කිසිදු අයුරකින් විගණනය වන්නේ නැත. අනුමත නොකළ ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම අරමුදල අධිකරණ අමාත්‍යාංශයට ලැබෙන වැය ශීර්ෂය ඉක්මවන බවයි. ශ්‍රී ලංකාවේ මෙම අරමුදල තවමත් රහසිගතව පවත්වා ගැනෙන මුත් බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව වැනි රටවල් එය දැන් විගණනයන්ට යටත් කර තිබේ.

අභිරහස: ජමීල් මොහොමඩ්

පාස්කු වාර්තාවෙහි එන තවත් වැදගත් පුද්ගලයකු නම් ජමීල්ය. පසුගියදා කාර්දිනල් මැල්කම් රංජිත් පවසා තිබුණේ  මෙම ජමීල්ට සොනික් සොනික් නම් රාජ්‍ය බුද්ධි අංශ පුද්ලගයකුගෙන් ඇමතුමක් ලැබුණේය යන චෝදනාව සොයා බැලිය යුතු බවයි.

ඒ මාරක  අප්‍රේල් 21 දින අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් මරාගෙන මැරෙන බෝම්බය පුපුරැවා ගැනීමට ගියේ ටාජ් සමුද්‍ර හෝටලයටය. නමුත් ඔහු ආපන ශාලාවේ වාඩි වී සිය බෑගය ඇරීමට සූදානම් වන විටම ලද දුරකථන ඇමතුමක් නිසා ඔහු බෝම්බය පිපිරවීම පසෙක තබා තමන්ගේ අනෙක් ගමන් මල්ලද අමතක කොට හෝටලයෙන් යන්නට ගියේය.

අනතුරුව දෙහිවල  ට්‍රොපිකල් ඉන් නවාතැනෙහි සිය බෝම්බ ඇසුරුම තබා දෙහිවල මුස්ලිම් දේවස්ථානයට කිහිප වරක්ම ආ ගිය ජමීල්, හිටපු පොලිස් නිලධාරියකු වන අමීර් නම් දේවස්ථානයේ ආරක්ෂක නිලධාරියා විසින් සැක කොට ප්‍රශ්න කරන ලදී. හැදුනුම්පත හෝටලයේ තබා ආ බැවින් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට ජමීල් සිය බිරිදට කතා කරන ලෙස අමිර්ට දන්වයි. ජමීල්ගේ බිරිඳ වන ඕමර්තා කියන්නේ නිවසේ ආරවුලක් නිසා සිය පුරුෂයා වන ජමිල් බැහැර ගිය බවයි.

නමුත් ජමීල් නිවසින් පිට යන්නේ තමන් දින කිහිපය ගමනක් යන බව කියමින් දරුවන්ගේ සහ බිරිදගේ හිස සිඹිමිනි. එපමණක් නොව තමා කීවේ බොරුවක් බවත් ඇත්ත වශයෙන්ම තමා අල්ලා හමුවීමට යන බවත් කියා ජමීල්ගේ නමින් වට්ස් ඇප් පණිවඩයක් ඒ මාර්තු 21 දින උදෑසන ඕමර්තාට  ලැබේ. පවුලේ ආරවුලක් පිළිබඳ කතාව අලුත් එකකි.

අමීර් එම දුරකථන ඇමැතුම ගත්තේ 13.23ටය. ඉන් විනාඩි තුනකට පසු ඕමර්තාගේ දුර කථනයෙන්ම අමීර්ට කතා කරන පිරිමියකු කියන්නේ පවුලේ ආරවුලක් නිසා පිටවී ගිය ජමීල් ඔවුන් එන තුරු එතැනම රඳවා ගන්නා ලෙසය. නමුත් ඒ වන විට ජමීල් එතැන සිටියේ නැත.

ඉන් මද වේලාවකට පසු පුද්ගලයින් කිහිප දෙනෙකු දෙහිවලට පැමිණ අමීර් හමු විය. ඒ අතර ඕමර්තාගේ දුරකථනයෙන් තමා කතා කළ පුද්ගලයාගේ හඩ අමීර් හඳුනා ගත්තේය. ඔවුන් පැමිණ සිටියේ හමුදා බුද්ධි අංශයෙනි.

කවද ජමීල් ඉස්ලාමීය අන්තවාදී අදහස් ප්‍රචාරය කරමින් සිටින බව යුද හමුදා බුද්ධි අංශ දැන සිටියේය. ඔහු සිරියවට ගොස් අයිසිස් සංවිධානයට බැදීම පිනිස තුරුකියට යාමට වීසා ඉල්ලුම් කළ මුත් ලැබුණේ නැන. මේ සියලු තොරතුරු තිබියදී බුද්ධි අංශ ඔහුගෙන් ප්‍රශ්ණ කර ඔහු දුන් තොත් බබා පිලිතුරු පිළිගත්තේය. මේ 2018 වර්ශයේදී ය.

මෙම සිදුවීම පිළිතුරු නැති ප්‍රශ්ණ ගණනාවක් ඉදිරිපත් කරයි. පිපිරීමෙන් පැය ගණනාවක් ඇතුළත ජමීල්ගේ නිවසට පමණක් බුද්ධි අංශ ගියේ කෙසේද? ජමීල් මිය නොගිය බව ඔවුන් දැන සිටියේද? ඕමර්තා සහ බුද්ධි අංශ නිලධාරීන් පවුලේ ආරවුලක් යන එකම කතාව කීවේ කෙසේද? මෙලෙස අනෙක් මරාගෙන මැරුණ ලැයිස්තුවේ සිටි අන් කවර හෝ නිවසකට හමුදා බුද්ධි අංශ ගියේද? ජමීල්ට හෝටලයේ දී දුරකථන ඇමැතුම දුන්නේ කව්ද?

මද වේලාවකට පසු ජමීල් ට්‍රොපිකල් ඉන්හිදී බොම්බය පිපිරී හෝ පුපුරුවා ගෙන මරණයට පත් විය.

කොමිසමේ විග්‍රහය එකයි එකයි දෙකයි වැන්න

පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාවෙහි බොහෝ අඩුපාඩු තිබේ. එහි එන සමහර නිගමන සහ නිර්දේශ යථාර්තවාදී නැත. වාර්තාව ගැඹුරු ගවේශනාත්මක සහ විශ්ලේෂනාත්මක එකක් නොවේ. එය කර ඇත්තේ එකයි එකයි දෙකයි වර්ගයේ සරළ විග්‍රහයකි.

හිටපු නීතිපති නොකියා කියා සිටි පරිදි කොමිසමේ වාර්තාව උඩ සහ එහි නිර්දේශ මත පමණක් කවර පුද්ගලයකුට හෝ නඩු පැවරීම දුෂ්කරය.

කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කරන තුරු වාර්තාව මගින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ව සම්පූර්ණ අදහසක් ඇති කර ගත නොහැක.

(ඉහත සදහන් සටහන ලිවීමට භාවිත කරන ලද්දේ කොමිසමේ විශ්ලේෂන නොව එන සඳහන් කරුණු පමණක් බව සලකන්න.)

වාර්ථාව සම්පූර්නයෙන් කියවන්න:Easter Attack PCoI Report – Copy

සුනන්ද දේශප්‍රිය

Related posts