Naphtali Bennett

වසර 12ක ඊශ්‍රායල අගමැති ධුරය හෙබවූ බෙන්ජමින් නෙතන්යාහුට සිය ධුරය අහිමි වී ඇත. ඊශ්‍රායලයේ නව අගමැතිවරයා ලෙස පත් වී ඇත්තේ 49 හැවිරිදි නෆ්තාලි බෙනට් ය. දක්ෂිණාංශික යමිනා නම් පක්ෂයේ නායකයා වන ඔහු දේශපාලන සන්ධානයකට නායකත්වය දෙමින් අගමැති ධූරයට පත් වීය.

සභාග ආණ්ඩුවක් හරහා පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගත් ඔහුගේ සන්ධානයට විවිධ මත නියෝජනය කරන පක්ෂ කණ්ඩායම් 08ක් එකතු වී ඇත. සංවිධානයේ පාර්ශවකරුවන්ගේ එකඟතාවය අනුව නව රජයක් පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එය සම්මත කරගැනීමට අවශ්‍ය බහුතරය සන්ධාන රජය සතු වූ හෙයින් නෆ්තාලි බෙනට් එරට නව අගමැතිවරයා ලෙස තේරී පත් විය. සභාග රජය වාමාංශික, මධ්‍යස්ථ, දක්ෂිණාංශික සහ අරාබි පක්ෂවලින් සමන්විත වේ. මෙම සභාගයේ අරමුණ නෙතන්යාහු ධුරයෙන් ඉවත් කිරීමයි.

ධූරයෙන් ඉවත් කරනු ලැබූ බෙන්ජමින් නෙතන්යාහු තවදුරටත් ලිකුඩ් පක්ෂ නායක සහ විපක්ෂ නායක ලෙස කටයුතු කරනු ඇත. 1996 සිට 1999 දක්වාත් 2009සිට 2021 දක්වාත් පස් වතාවක් ඔහු අගමැති ධුරය දරා තිබේ. 2009 සිට 2021 දක්වා වසර දොළහක් ඔහු අවසාන වශයෙන් අගමැති ධුරයේ කටයුතු කර තිබේ.

ඊශ්‍රාලය පිළිබඳව මෑතකදී කතාබහට ලක් වූයේ පසුගිය මැයි මස දී පලස්තීන හමාස් සටන් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇතිවූ දරුණු ගැටුම් හේතුවෙනි. ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ බලවත් පීඩනය හමුවේ මේ වන විට ගැටුමට සම්බන්ධ පාර්ශවයන් සටන් විරාමයකට එළඹ ඇත.

නව අගමැති නෆ්තාලි බෙනට් 2006- 2008 කාල වකවානුව තුළ අගමැති නෙතන්යාහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර මීට පෙර ඔහු නෙතන්යාහු රජය යටතේ ආරක්ෂක, ආර්ථික, අධ්‍යාපන වැනි ප්‍රධාන අමාත්‍ය ධුරයන්හි කටයුතු කර ඇත. ඇතැම් ඉරානියානු මාධ්‍යය, ඔහුව අන්ත ජාතිකවාදියෙකු ලෙස නම් කර තිබේ. කෙසේ වෙතත් නව අගමැතිවරයා ඊශ්‍රායල-පලස්තීන රටවල් අතර සාමය ඇති කිරීම පිළිබඳ නව බලාපොරොත්තු ගෙනෙනු ඇතැයි වැඩි දෙනෙකු විශ්වාස කරයි.

Similar Posts