akmemana

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ පොරොන්දුවක් දෙක්ක පමණක් ඉටු කිරීමෙන් 69 ලක්ෂයක ජනතාව සතුටු කළ නොහැකි බවත්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් එහි තිබෙන අති සංවේදී සහ වැදගත් ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරිමට රජයට තවමත් කාලය සහ හැකියාව ඇති බවත් සිංහල රාවය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති

මෙහිදී උන් වහන්සේ සදහන් කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී දේශපලනයෙන් අතුගා දැමූ ජාති ද්‍රෝහී, සිංහල බෞද්ධ විරෝධී බලවේග වල කසකරුවන් යළිත් දේශපාලන අඩව්වකට සූදානම් වීම කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බවයි.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ සිංහල රාවය පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. මේ මාධ්‍ය හමුව සදහා සිංහල රාවය පක්ෂයේ මහා ලේකම් ශාලික පෙරේරා ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනකු සහභාගී වූහ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අසරණව සිටින ජනතාවට සහනයක් දීමට රජය අපොහොසත් වීම සහ රාජ්‍ය සම්පත් විකුණා දැමීම ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අක්මීමණ දයාරතන හිමියෝ මෙසේද සදහන් කළහ,

‘‘මීට අවුරුද්දකට දෙකකට පමණ පෙර අපි මෙවැනි මාධ්‍ය සාකච්ඡා පවත්වද්දී කතා කළ කාරණාවලට හාත්පසින්ම වෙනසක් කාරණා දැන් අපිට කතා කිරීමට සිදුවෙලා තිබෙනවා. එදා අපි රනිල් – මෛත්‍රී – මංගල හවුල රටට කරමින් සිටි විනාශය ගැන ජනතාව දැනුවත් කළා. ඔවුන්ව අවධි කළ. රාජ්‍ය බලයට, මර්දනයට අභියෝග කරමින් අපි, සිංහල ජාතික ව්‍යාපාරය ලෙස අපේ අභීත භික්ෂූන් වහන්සේලා, තරුණ පිරිස සිංහල බෞද්ධයින් දැනුවත් කළා. අවධි කළා.

එහිදී අපි පටු පුද්ගලික ලාභ බලාපොරොත්තු වුණේ නැහැ. තනතුරු – වරදාන බලාපොරොත්තු වුණේ නැහැ. ගජමිතුරන් පිනවන්න කොන්ත්‍රාත් බලාපොරොත්තු වුණේ නැහැ.

අපේ එකම අපේක්ෂාව, අරමුණ වුණේ යහපාලන ආණ්ඩුව සහ ඒකට ආවඩන සුළුජන පක්ෂ රටට, සිංහල බෞද්ධයින්ට, සිංහල බෞද්ධ උරුමයට කරමින් තිබූ විනාශයට එරෙහිව ජනතාව අවධි කරවීම, ඔවුන්ව සංවිධානය කරවීම. අවසානයේ රටට, ජනතාවට, එහි සම්පත්වලට ආදරය කරන, ඒවා රැකගත හැකි නායකත්වයක් බලයට ගෙන ඒම.

මේ ව්‍යායාමය පාවඩ මතින් ගිය ගමන් වුණේ නැහැ. මර්දනය, පොලිස් කූඩුව, නිමක් නැති අවලාද හා අපවාද මතයි අපේ භික්ෂූන් වහන්සේලා, ගිහි ක්‍රියාකාරීන් ඒ ගමන ගියේ. එහි ප්‍රතිඵල තමයි අවසානයේ ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී නෙළා ගත්තේ. ඒ සතුටට තමයි එදා අපේ තරුණයෝ රටේ තාප්ප පුරා චිත්‍ර ඇන්දේ. රට පුරා පැළ හිටෙව්වේ.

ඒත් කනගාටුවට වඩා වේදනාවට, පශ්චාත්තාපයට කරුණ වන්නේ අපිට ඒ සතුටට බුක්ති විදින්න ලැබුණේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු කාලයක්. පරණ දේශපාලන ක්‍රමය යළිත් පණ ගහලා ආවා. කුමන්ත්‍රණකරුවෝ, අවස්ථාවාදියෝ, ජාති ආගම් භ්‍රෂ්ඨයෝ මුල්පුටු අල්ල ගත්තා. අවසානයේ දී සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් දෙවපු කිරි කළයට මේ කොල්ලකාර කල්ලිය ගොම තලියක් ම දැම්මා. දැන් අපි දැක්ක සිහින, අපේ තරුණයෝ දැක්ක සිහින විනාශ වෙලා ඉවරයි. ඒවාට ආයේත් පණ දෙන එක පහසු නැහැ.

අපි තාමත් කියන්නේ ජනාධිපතිවරයාට, අගමැතිවරයා සහ මේ රටට – ජාතියට ආදරය කරන දේශපාලනඥයින්ට, නිලධාරීන්ට අවස්ථාව තිබෙනවා නිවැරදි වෙන්න. තමන්ට වැරදුණ තැන විමසා බලන්න. අපි බෞද්ධයෝ විදිහට දන්නවා වැපුරුව දේම තමයි කපා ගන්න වෙන්න. හේතුව තමයි ඵලයට මූලික වෙන්නේ.

ඒ නිසා ජනාධිපතිතුමනි, අගමැති තුමනි, වැරදුණේ කොතැනද ? කොහොමද කියලා යහපත් සිහියෙන් විමසා බලන්න. අපිට තේරෙනවා මේ ආණ්ඩුවට වැරදුණේ කොහොමද ? කොතැනද ? කියලා. ඒ නිසාම තමයි අපි මේ තාමත් කෑ ගහන්නේ. වද විදින්නේ. මොකද ළමයත් එක්ක කොරහේ වතුර විසි කරන්න අපිට වුවමනාවක් නැහැ. අපි එහෙම කළොත් මොකද වෙන්නේ කියලා අපි හොදාකාරවම දන්නවා.

දේශපාලන අවස්ථාවාදීන්, ජාති භ්‍රෂ්ඨයෝ, දේශද්‍රෝහීන්, නරි ආයොත් බැල්ලම හෙළනවා. ඒ කල්ලියේ නායකයා, කසකරුවා දැන් පාර්ලිමේන්තුවට එන්න ඇගිලි ගණනිවා. අපිට පේනවා අලුත් රෙදි ඇදගෙන, කසකාරයෝ, ගිනි බෝලකාරයෝ සූදානම් කරගෙන ඇතැමුන් ආයෙත් අඩව්වක් අල්ලන්න කල්යල් බලනවා.

මේක කිසිසේත්ම යහපත් දෙයක් හෝ රටට, ආගමට වැඩදායි දෙයක් නෙමෙයි. එදා ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී අතුගාලා දැම්ම පක්ෂ, නායකයින් ආයෙත් දේශපාලන කරළියට, දියවන්නාවට ඒම කිසිසෙත් යහපත් තත්ත්වයක් නොවෙයි. මැරණ බලවේග වලට පණ දෙන්න බැරි වුණත් මේ ආගමන හරහා භූතයින්, කුම්භාණ්ඩයින් සතුටු වෙන්න පුළුවන්. උන් යළිත් හොල්මන් කරන්න පුළුවන්.

ඒ නිසයි අපි කියන්නේ කොවිඩ් බොරදියේ මාළු බාන්න මේ අවස්ථාවාදීන්ට, දේශ ද්‍රෝහීන්ඨ. බෞද්ධ විරෝධීන්ට අබමල් රේණුවකවත් අවස්ථාවක් දෙන්න එපා.

ඒ නිසා ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී සිංහල බෞද්ධ ජනතාවට දුන්න ඒ පොරොන්දු ඉටු කරන්න. ඔවුන් හමුවේ තැබූ න්‍යාය පත්‍රය පෙරට ගන්න. වසවිස නැති ගොවිතැන විතරක් නෙමෙයි තවත් ආකර්ෂණීය, ජාතික වශයෙන් අති සංවේදී පොරොන්දු ක්‍රියාත්මක කරන්න.

මහ බැංකු හොරුන්ට වගේම පාක්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. සිය ගණනක් ඝාතනය කළ, මුළු රටක් විනාශ කළ අපරාධකාරයෝ තාමත් යහතින් ජීවත් වෙනවා. රාජ්‍ය සම්පත් විනාශ කළ ද්‍රෝහීන් තාමත් යහතින් ඉන්නවා.

වසවිස නැති ගොවිතැන කොන්දේසි විරහිතව ඉදිරියට ගෙනාවා වාගේ ඒ පොරොන්දුත් කොන්දේසි විරහිතව ඉටු කරන්න. එහෙම වුණොත් විතරයි අපිට ජාතික ව්‍යාපාරය විදිහට සතුටු වෙන්න පුළුවන්.එදා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ 69 ලක්ෂයට, මහ මැතිවරණයේදී 3/2ක් දුන්න ජනතාවට සතුටු වෙන්න පුළුවන්.

ඒ නිසා අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට කියන්නේ 69 ලක්ෂය තෘප්තිමත් කරන්න, ඔවුන් තුළ බලාපොරොත්තු දල්වන්න මහ ලොකු දෙයක් කළ යුතු නැහැ. අවශ්‍ය වන්නේ දේශපාලන අවංකම සහ ධෛර්යය පමණයි.

aboutceylon

Similar Posts