පානදුර, මොරටුව පරණ පාර මාර්ගයේ රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව  පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි.

එම අවස්ථාවේදී  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ කරුණු දැක්වීම් අනුව අධිකරණය භාරයේ තිබූ කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය වෙනුවට රුපියල් 50,000ක් වූ මුදල් ඇපයක් මත තාවකාලික රියදුරු  බලපත්‍රයක් නිකුත් කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

මෙම අනතුර 2020 ජූනි මස 6 වැනි දින අළුයම් කාලයේ සිදුවූ බවත් අනතුරින් පානදුර, ගොරකාපොල ප්‍රදේශයේ පදිංචි (64) වැනි වියේ පසුවූ රැකියාව වශයෙන් පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයෙකු වන නෙවිල් පීරිස් නැමැති පුද්ගලයෙක් මරණයට පත් වූ බව පොලීසිය විසින් අධිකරණයට කරුණු දැක්වීය.

කරුණු සියල්ල සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම රිය අනතුරින් මරණයට පත්වූ පුද්ගලයා වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට අගතියට පත් පාර්ශවය  අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වෙනම නඩුවක් ගොනු කරන ලෙසත් වැඩිදුරටත්  උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඇලුම් කරන දක්ෂ ක්‍රීඩක පරපුරක් සිටියත් රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලබන්නේ ඉතා අතළොස්සක් පමණක් බවත් ඒ තේරීම ඉතාම ගෞරවාන්විත රැක ගන්නා ලෙසත් රටේ ජීවත් වන ජනයා කිසිදු ආකාරයකින් පීඩාවකට හෝ අපහසුතාවයකට පත් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් රටේ ලෝකයේ  සියලු දෙනාටම ආදර්ශමත් ලෙස හා විනීතව හැසිරෙන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතාට තරයේ අවවාද කළේය.

නැවත මෙම නඩු විභාගය 2021 සැප්තැම්බර් මස 29 වන දින යළි කැඳවන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරයා පාර්ශව වෙත දැනුම් දුන්නේය.

කුසල් මෙන්ඩිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා ඇතුළු නීතිඥයින් පිරිසක් පෙනී සිටියේය.

සමීර අබේසිංහ  – බොරලැස්ගමුව

Similar Posts