ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කෝවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන ගංගා නදියේ ශුද්ධ දියේ ගිලීම සඳහා පැවැත් වූ හින්දු ආගමික උත්සව ඇතුලු බොහෝ උත්සව පැවැත්වීමට මෝදි රජය අවස්ථාව ලබා දී තිබුනි. ඒමෙන්ම, කෝවිඩ් ආරක්‍ෂිත නීති කිසිසේත් මායිම් නොකරමින් විශාල මැතිවරණ රැළි රට පුරා පැවැත්වීමට ද මෝදි රජය අවසර දී තිබුනි.

ඒහි ප්‍රථිපලය වුයේ අප්‍රේල් මාසයට පෙර ඉන්දියාවේ ලක්ෂයකට අඩු අගයකින් වාර්තා වූ කෝවිඩ් රෝගීන් ප්‍රමාණය අප්‍රේල් 15 දින වන විට දිනකට රෝගීන් ලක්ෂ දෙක ඉක්මවා වාර්තා වීමයි. අද වන විට ඒම තත්ත්වය තවත් දරුණු අතට හැරී තිබේ. පසුගිය සතිය පුරාම ඉන්දියාවෙන් කෝවිඩ් රෝගීන් ලක්ෂ 3 ඉක්මවා වාර්තා විය. ඊයේ (28) දිනයේ පමණක් රෝගීන් 379,459 ක් වාර්තා වී තිබේ. මේ අයුරින් කෝවිඩ් මරණ සංඛ්‍යාවද ඉහල ගොස් ඇති අතර දිනකට වාර්තා වන මරණ සංඛ්‍යාව තුන්දහස ඉක්මවා ගොස් ඇත. ඒ් අනුව ඊයේ දිනයෙන් ද කෝවිඩ් මරණ 3,647 ක් වාර්තා විය.

මේ අතර, මෙම සංඛ්‍යාවන් මීට වඩා 30 ගුණයකින් පමණ වැඩි විය හැකි බව නව දිල්ලියේ රෝග ගතික, ආර්ථික හා ප්‍රථිපත්ති පිළිබද මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රාමනන් ලක්ෂමනාරයන් පවසා ඇති බව අද පුවත්පත වාර්තා කරයි. ඒමෙන්ම, දිල්ලියේ සෑම පවුලකම ඒක් සමාජිකයෙක් කෝවිඩ් 19න් මේ වන විට මියගොස් ඇති බවටත්, ඉන්දියාව තුළ දිනකට මිය යන ප්‍රමාණය දහතුන්දහසක් පමණ විය හැකි බවත් ඔහු පවසා තිබුනි.

පසුගිය මැතිවරණයේ දී අසීමිත බලයක් ලබා ගත් අගමැති මෝදි, ඒ බලයෙන් මත්වී ඔහුගේ ගේ වගකීම් විරහිත ක්‍රියාමාර්ග හේතුවෙන් අද මුලු ඉන්දියාවම විශාල නුවරක් බවට පත්කර තිබේ. මේ වන විට ඉන්දියානු රෝහල් පද්ධතියටම කිසිසේත් දරාගත නොහැකි මට්ටමින් වෛරස ආසාදිත රෝගීන්ගෙන් මුලු රෝහල් පද්ධතියම පිරී ඉතිරී ගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. සමහර රෝගීන් රෝහලකට ඇතුලත් කර ගැනීමට පවා නොහැකිව මහ මග මිය යන තත්ත්වයට පත්වී තිබේ.

අසල්වැසි ඉන්දියාව හා සමාන අත්දැකීමකට ශ්‍රී ලංකාවේ අපිත් අද දවසේ මුහුණ දෙමින් සිටී. අලුත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වුයේ කොවිඩ් 19 රෝගීන් 150කට අඩු ප්‍රමාණයකි. මෝදිගේ ජයග්‍රහණයට සමාන ජයක් ලැබූ වත්මන් ආණ්ඩුව ද මෝදි මෙන්ම කටයුතු කළාය. පළමු හා දෙවැනි කෝවිඩ් රැල්ල යම් කිසි සාර්ථකත්වයකින් මැඩ පැවැත්වීමට ලැබූ හැකියාව නිසා සෞඛ්‍ය අංශ විසින් ලබා දුන් උපදෙස් නොතකා ලංකාවේ මෝදි ද කටයුතු කළාය. ඒ බව පැහැදිලි වුයේ කෝවිඩ් මර්ධනය සදහා පත්කළ රාජ්‍ය ඇමතිණී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රකාශයන් හරහාය. ඇය ප්‍රකාශ කළේ පසුගිය උත්සව සමයේ සංචරණසීමාවන් පැණවීම සදහා ගෙනා යෝජනාවන් පරාජය වූ බවයි.

ඒ අනුව අපිත් ඉන්දියාව මෙන්ම, කතරගම දෙවියන් ඇතුලු සියලු දෙවි දේවතාවන් හමුවීමට යාමටත් උත්සව පැවැත්වීමටත්, අලුත් අවුරුදු උත්සවය සදහා සාප්පු සවාරි යෑම හා අවුරැදු උත්සව පැවැත්වීමටත්, නුවරඒලිය සැනකෙලියේ සිට විවිධ සැනකෙලි හා විනොද් චාරික පැවැත්වීමත් ජයටම සිදු කළා. ඒ සදහා නොමද සහායක් රජයෙන් ද ලැබුනි. කෝවිඩ් වසංගතයක් තිබුනා ද යන්න බොහෝ දෙනෙකුට පසුගිය සතිය තෙක් අමතක විය. සෞඛ්‍ය උපදෙස් බල්ලට ගියේය.

ප්‍රථිපලය වුයේ දිනකට 150කට අඩුවෙන් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය දහස දක්වා වැඩිවීමයි. ඊයේ (28) වාර්තා වූයේ ඒම ප්‍රමාණය 1,466 ලෙසයි. දිනකට මිය යන රෝගීන් ප්‍රමාණයත් ඒ හා සමානව වැඩි වුයේය. අත්‍යවශ්‍යම  මොහොතක යෙදවිය යුතු අවධානය නිසියාකාරව නොයෙදීම නිසා අද මුලු රටම විශාල ව්‍යාකූලත්වයකට තල්ලුකර තිබේ.

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති B.1.1.7 සැර විකෘති වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී ස්ථිරයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒමෙන්ම ඔහු පවසන්නේ මෙම වෛරසය පැතිරීමේ සීඝ්‍රතාව මෙතෙක් පැවැති වෛයිරසයන්ට සාපේක්ෂව 50% දක්වා වැඩි වන බවයි.  මරණ ඇති වීම ද සාමාන්‍ය ප්‍රභේදයට වඩා 50% ක් වැඩි බවයි ඔහු පවසන්නෙ.

මේ අතර, දැනටමත් IDH, කළුබෝවිල, අනුරාධපුර හා ගම්පහ රෝහල්වල දැඩි සත්කාර ඒකක කෝවිඩ් රෝගීන් ගෙන පිරී ඇති බව වාර්තා වේ. ඒමෙන්ම, මේ වන විට වෛද්‍යවරැන් 14 දෙනෙකුට කෝවිඩ් වැලදී ඇති බවත් පුවත්පතක් වාර්තා කර තිබුනි.

වත්මන් තත්ත්වය සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ මේ විට රට පුරා තැනින් තැන කොරෝනා අනු පොකුරු වාර්තා වන බවත් ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු PCR පරික්ෂණවලදී ආසාදිතයන් ප්‍රතිශතය 30% පමණ අගයක් ගන්නා බවයි.

ඉදිරි දින කිහිපය තුළ මේ තත්ත්වයේ තවත් වර්ධනයක් මිස කිසිදු පාලනයක් සිදු විය නොහැකියි. විශේෂඥයින් පවසන්නේ මීට මුහුණ දීමට දැනට ඇති ඒකම විසදුම ඒන්නත් කරණය පමණක් බවයි. නමුත් කෝ අපිට ඒන්නත්, ගනන් බලා ඇති ආකාරයට ජනග්‍රහණයෙන් මිලියන 16ක් සදහා ඒන්නත් මිලියන 32ක් අවශ්‍යව ඇති මොහොතක් අපට ඒන්නත් ලැබී තිබෙන්නේ මිලියන 1.5ක් පමණි. තවත් ඒන්නත් මිලියන 30.5ක් අවශ්‍යව තිබේ. ඒසේ නම් ඒය ලැබෙන තෙක් අප ජීවත් විය යුතුව ඇත.

ඒ සදහා තව දුරටත් රෝගය පැතිරීම වලැක්වීමට කටයුතු කරමින් තරමක් දුරට හෝ රෝගය අප විසින් පාලනය කර ගත යුතුව තිබේ. ඊට ඇති ඒකම විසදුම අවම වශයෙන් සති දෙක තුනකටවත් සංචරණයන් සීමා කොට PCR පරික්ෂන ප්‍රමාණය අවම වශයෙන් 50,000ක් දක්වා වැඩිකර රෝගය පැතිරී ඇති ආකාරය පිළිබදව නිවැරදි තක්සේරැවකට පැමිණ අවශ්‍ය පියවර ගැනීමය. නමුත් දැනටමත් අප සිටින්නේ ප්‍රමාද ලයිස්තුවේය.

පිලිප් දිසානායක

Similar Posts