mechanism is needed to prevent child abuse and crime

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන අතර, ඊයේ ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අකාරයේ තවත් දැරිවියන් දෙදෙනෙකු මීට පෙර රිෂාඩ් ඇමතිවරයාගේ නිවසේ සිටිය දී මියගොස් ඇති බවයි.

පසුගියා දා මිය ගිය දැරිවියගේ මව මේ සම්බන්ධව පැමිණිලි කිරීමට මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දැනට කෙරී ඇති පරීක්ෂණ පිළිබදව ඇයට සෑහීමකට පත්විය නොහැකි බවයි. ඇය වැඩි දුරටත් කියා සිටියේ මෙම සිද්ධියේ මූලික පොලිස් පරීක්ෂණය හා මරණ පරීක්ෂණය සම්බන්ධව ඇයට සැකයක් පවතින්නේ ඒ දෙකම සිදු කර ඇත්තේ මුස්ලිම් ජාතිකයින් විසින් වීම නිසා වීම නිසා යැයි ඇය පවසයි.

අපගේ අතීතය දෙස බැලීමේ දී ඇයගේ මෙම කතාව ඒතරම් අරුමයක් ද නොවේ. ජාති, කුළ, ආගම් හා සමාජ තත්ත්වයන් මත මේ අකාරයෙන් නීතිය නැවූ සිද්ධි පිළිබදව ඇයට ද බොහෝ අත්දැකීම් තිබෙන්නට ඇත. කෙසේ හෝ මේ පරීක්ෂණ සාධරණව, අපක්ෂපාතීව හා කාර්යක්ෂම සිද්ධ වේ දැයි අපි බලා සිටිමු.

බැලූ බැල්මට මෙම සිද්ධියේ දී පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලු අපරාධ මර්ධන අංශ ඉතා කාර්යක්ෂමව කටයුතු කරන බව මේ මොහොතේ අපට පෙනේ. ඒමෙන්ම, දැනට දින කිහිපයක සිට ප්‍රධාන මාධ්‍යයන් හි මූල් පුවත ලෙසත් මෙම පරීක්ෂණයන් හි ප්‍රගතිය වාර්තා කරනු ලැබීමත් දැකිය හැක.

නමුත් ඉතා කෙටි කාලයකින් මේ සම්බන්ධව මාධ්‍යයන් හි ඇති උනන්දුව අවම වෙන අතර, ඒ සමගම මහජන උද්යෝගයද කෙමෙන් වියැකී යනු ඇත. මෙවැනි ඛේදවාචකයක් නැවත ඇති නොවීමට නම් මේ සම්බන්ධව අඛන්ඩ මහජන බලපෑමක් සිදු විය යුතු අතර, ඒ හරහා ඇතිවන නීතිමය හා අනෙකුත් ප්‍රථිසංස්කරණයන් සමග නැවත මෙවැනි තත්ත්වයන් සමජය තුළ ඇති වීම වලක්වනු ලබයි. වෙනත් රටවල් නම් මෙවැනි ප්‍රශ්ණ විසඳා ගත්තේ ඒ අකාරයෙනි.

නමුත් අපි එසේ නොවන බව පසුගිය දශක හත තිස්සේ පෙන්වා තිබේ. අපි අපේ දරුවන් පණ මෙන් සුරකින බව බොහෝ දෙමාපියන් ප්‍රකාශ කරයි. හොදම දේ දරුවන්ට යැයි අප අතර ප්‍රසිද්ධ කියමනක් ද තිබේ. නමුත් අපේ රටේ සෑම පැය දෙකක වරක්ම කිසියම් ම තැනක ළමා අපයෝජනයක් සිද්ධ වන බව ජාති ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. අවුරුදු 2500 ක ‌ප්‍රෞඩ ඉතිහාසයක් ඇති උදේ සිට රාත්‍රිය වෙන තෙක් පිරිත් හා බණ අහන දේශප්‍රෙමී ජනතාවක් වෙසෙන මේ රටේ වෙන දෙයක් තබා තමුන්ගේ හය හතර නොතේරෙන දරුවන්වත් ආරක්ෂා කර ගැනීමට බැරි වැඩිහිටියන් පිරිසක් ඉන්න රටක් ලෙස ශ්‍රී ලංකාව ඉතිහාස ගත වී තිබේ.

නීතිය මත පාලනයක් සිදු වන දේශයක මාධ්‍ය අවධානය යොමු නොවුවත්, මහජන උද්යෝගය අවම වුවත් කිසිසේත්ම අඩපන නොවිය යුතු ක්ෂේත්‍ර දෙකක් වන්නේ මේ සම්බන්ධව සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ හා නඩු විභාගයන්ය. ඒය ඉතා කාර්යක්ෂම හා විධිමත්ව කඩිනමින් සිදු විය යුතුය. ළමා අපයෝජන සම්බන්ධව වසරක ලැබෙන 8000 කට වැඩි පැමිණිලි විභාග කිරීම සදහා පළාත් නමයටම බලාත්බද අධිකරණ නමයක් පිහිටුවන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පසුගිය දා ප්‍රකාශ කළාය.

එය වැදගත් පියවරකි. නමුත්, කොපමණ අධිකරණ පිහිටවූවත් මෙවැනි අපරාධ වැලැක්වීමට නම් මේ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ ඉතා සූක්ෂමව, විද්‍යාණුකූලව ඉතා විධිමත්ව සිදු කළ යුතුය. එහි ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඇතුලු පොලීසිය වෙතය. නමුත් එවැනි හැකියාවක් ඇති පොලීසියක් අප සතුව තිබේද යන්න අප ඉතා ගැඹුරින් සලකා බැලිය යුතුය.

මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කිරීමට ළමයින් ඇතුළු සියලු පුරවැසියන් ආරක්ෂා කිරීමට රාජකාරිමය වශයෙන් බැදී සිටින පොලිස් දෙපාර්තමේන්තුව සතු පොලිස් ස්ථාන දෙකක දී සිදු වූ අපයෝජන දෙකක් සම්බන්ධව සිද්ධි දෙකක් පසුගියා දා අප වෙත වාර්තා විය. ඉන් එකක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, අනෙක ගාල්ල නෙලුව ප්‍රදේශයෙන් වාර්තා විය.

ගාල්ල, නෙළුව ‌පොලිස් ස්ථානය තුලදී 15 හැවිරිදි බාල වයස්කාර දැරියක්ව එහි සිටි රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපත්වරයෙකු විසින්  සිප ගත් බවට  එම දැරියගේ මව විසින් චෝදනා කර තිබුණි. ඒ අනුව අදාල සැකකාර පොලිස් කොස්තාපල්වරයා පසුව අත්අඩංගුවට ගෙන තිබුනි.

මෙම දැරිය ප්‍රදේශයේ තරුණයෙකු සමග ඇති කර ගත් ප්‍රේම සම්බන්ධතාවයක් දුර දිග යාමෙන් ඇය අපයෝජනය වී ඇති බවත් දැනගත් දෙමාපියන් ඒ සම්බන්ධව පැමිණිලි කිරීමට නෙලුව පොලිස් ස්ථානයට ගොස් තිබුනි.

එම පැමිණිල්ල අනුව අදාල තරුණයාවද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර,  මෙම දැරියව වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමුකිරීමට යැයි පවසා එදින රාත්‍රියේ මෙම දැරිය අගේ මව සමග පොලීසියේ රඳවාගෙන තිබේ. එදින මධ්‍ය රාත්‍රියේ මෙම සිදුවීම වූ බව ඇය ප්‍රකාශ කරයි. ඇයගේ එම ප්‍රකාශය පහත ලින්කුව ඔස්සේ නැරඹිය හැක. (https://www.aithiya.lk/9515/sexual-harassment-of-police-officers-in-sri-lanka

ඒ හා සමාන සිදුවීමක් පාදුක්ක පොලිසීයෙන් ද වාර්තා විය. ඒ මුහුණ පොත හරහා හදුනාගත් තරුණයෙකු සමාන්‍යපෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින තම දියණියට නිරුවත් ඡායාරූප එවීම සම්බන්ධව පැමිණිලි කිරීමට පාදුක්ක පොලීසිය වෙත ගිය මවකට පොලිස් නිළධාරියෙකුගෙන් සිදු වූ ලිංගික අතවරයක් ගැන වූ සිද්ධියයි.

මෙම සිද්ධිය පැමිණිලි කිරීමට ගිය ඇයගේ පියා පොලීසිය තුළ දී අවේග ශීලිව හැසිරීම නිසා ඔහු පොලිස් අත්අඩගුවට ගෙන ඇති අතර, මෙම දැරිය සමග ඇයගේ සිඟිති නැගනිය හා මවද පොලීසිය තුළ රඳවාගෙන තිබේ.  ඇයගේ මව අලුයම වැසිකිලියට යාමට අවශ්‍ය බව පවසා ඇති අතර, ඇයව වැසිකිලිය වෙත කැඳවාගෙන ගිය වැඩිහිටි පොලිස් නිළධාරියා වැසිකිලි ගොස් පැමිණෙමින් සිටි ඇයගේ මවට අතවර කිරීමට උත්සහ කළ බව පැවසේ. එහි දී ඇගේ මව කෑ ගසා ඇති අතර, එහිදී වෙනත් පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ ඇයට කෲර ලෙස පහර දුන් බවත් එහිදී ඇය සිහිමුර්ඡා වූ බවත් පවසයි. මෙම සිද්ධිය සම්බන්ධව අගේ ප්‍රකාශය පහත ලින්කුව ඔස්සේ නැරඹිය හැක. ( https://www.aithiya.lk/9877/padukka-police-sexual-harassment)

මෙම සිද්ධි දෙකම හරහා පෙන්නුම් කරන්නේ ළමා අපයෝජන සම්බන්ධව මෙන්ම පොදුවේ මේ රටේ ජනතාවගේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමත්, අපරාධ වැලැක්වීමටත් පිහිටුවා ඇති පොලිස් දෙපාර්තමේන්තුව අද පත්වී ඇති තත්ත්වයයි. මෙවැනි තත්ත්වයකට අප පත්ව ඇති බව ඔබත් පිළිගන්නේ නම්, එය සරල විවේචන හෝ සම්ප්‍රදායික විරෝධතා වලින් එහාට යන ගැඹුරු සාකච්ඡාවක් හරහා මීට පිළිතුරු සොයා ගත යුතුය.

Similar Posts