හැටන් වතු සමාගමට අයත් ඕල්ටන් වත්තේ කම්කරුවන් අට දෙනෙකු, හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත, මාර්තු 3දා සිට මහනුවර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ඇත.

ඔවුන් අට දෙනා පෙබරවාරි 18 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඕල්ටන් වත්ත පිහිටා ඇත්තේ, මස්කෙලියේ අප්කොට් හි ය. වැඩි වැටුප් ඉල්ලමින් හා කලමනාකාරීත්වයේ මර්දන ක්‍රියාවන්ට විරෝධය පලකරමින්, වත්තේ කම්කරුවන් 500 දෙනා ම පෙබරවාරි 2දා පටන් වැඩ වර්ජනයේ නිරත ව සිටිය හ.

කාන්තාවන් හත් දෙනෙකු ඇතුලු කම්කරුවන් අට දෙනා වන්නේ: එස්. පුවනේසරී, කනපති දේවි, ජී. ශතීස්වරී, ෆ්‍රැන්සිස් තිරේසාම්මල්, මාරිමුත්තු තමිල්සෙල්වි, යෝහශක්ති, එම්. කේ. ශාන්තිනී හා ආන්දිමුතු විස්වකේතු ය.

ඔවුන්ට විරුද්ධව අධිකරනය ඉදිරියේ මෙතෙක් චෝදනා පත්‍රයක් ගොනු කර නැත. එහෙත්, “නීති-විරෝධී ජනරාශිය” හා වත්තේ කලමනාකාර සුභාෂ් නාරායනන්ට “බරපතල තුවාල සිදුකිරීම” පිලිබඳව පොලීසිය කම්කරුවන්ට එරෙහිව අධිකරණය වෙත කරුණු වාර්ථා කිරීමක් සිදුකොට ඇත.

කම්කරුවෝ පොලීසියේ චෝදනා ප්‍රතික්ෂේප කරති. මෙම කම්කරුවෝ, ඔවුන් යෙදී සිටි වැඩ වර්ජනය බිඳ දැමීම සඳහා වතු සමාගම හා පොලීසිය එක් ව සිදුකල කුමන්ත්‍රනයක ගොදුරු බවට පත්ව සිටිති. කම්කරුවන් අට දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ, පෙබරවාරි 24දා හැටන් මහේස්ත්‍රාත් උසාවියේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කළහ.

අත්අඩංගුවට ගැනීම පිනිස තවත් කම්කරුවන් 18 දෙනෙකු සොයමින් සිටින බව සඳහන් කල පොලීසිය දැක්වූ බලගතු විරෝධය හේතුවෙන්, මහේස්ත්‍රාත්වරයා ඇපදීම ප්‍රතික්ෂේප කලේ ය.

දීර්ඝ කාලයක් තිස්සේ වතු කම්කරුවන්ගේ ඉල්ලීමක් වූ රුපියල් 1000ක දෛනික මූලික වැටුප ලබාදෙන ලෙස සමාගම්වලට “බලපෑම් දැමීම” පිනිස, සීඩබ්ලිව්සීය පෙබරවාරි 5දා එක් දින වැඩ වර්ජනයක් කැඳවුම් කලේ ය.

මෙම ඉල්ලීම මත 2015 පටන් වතු කම්කරුවන් විසින් දියත් කරන ලද වැඩ වර්ජන ගනනාවක් ම  සීඩබ්ලිව්සීය හා අනෙකුත් වතු සමිති විසින් දිගට ම පාවා දී තිබේ. සීඩබ්ලිව්සීය එක්දින වැඩ වර්ජනය කැඳවන ලද්දේ වතු කම්කරුවන් අතර ගැඹුරින් ම පැතිරී ඇති කෝපය වාෂ්ප කර දැමීම සඳහාය.

එම ජාතික වර්ජනයට ලක්ෂයකට අධික කම්කරුවෝ සම්බන්ධ වූහ. අනෙක් වතු කම්කරුවන් ද සමගින් කලින්ම වැඩ වර්ජනයට පිවිසීමට තීන්දු කල ඕල්ටන් වත්තේ සේවකයෝ, පෙබරවාරි 2දා, පිරිසැකසුම් කරන ලද තේ නිපැයුම් වත්තෙන් පිටතට ප්‍රවාහනය කිරීමට විරෝධය පල කල හ. මෙම විරෝධතාව බිඳ දැමීම සඳහා කලමනාකාරවරයා පොලීසිය කැඳවී ය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කම්කරුවන් අතර වැඩුනු කෝපය නිසා මැදිහත් වූ සීඩබ්ලිව්සී ප්‍රාදේශීය නායකයෙක්, තේ ප්‍රවාහනය කරමින් තිබුනු ලොරිය ආපසු හරවා යැවීය.

පෙබරවාරි 7දා කොටගල වෘත්තීය සමිති කාර්යාලයේ දී සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන් හමු වුනු කම්කරුවන් 50ක් පමන, ඔවුන්ගේ අඛන්ඩ වැඩ වර්ජනයට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිය හ. රාජපක්ෂ ආන්ඩුවේ වතු යටිතල පහසුකම් ඇමති වන තොන්ඩමන්, එම ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කලේ ය.

සීඩබ්ලිව්සීය විසින් ආධාරය හා අනුබලය දෙන ලද සමාගම් වල හා පොලිසියේ කුමන්ත්‍රනය, සමස්ත කම්කරු පන්තියට එරෙහි බලපතල ප්‍රහාරයක් ලෙස කම්කරුවන් විසින් සැලකිය යුතු ය. එකදු වතු වෘත්තීය සමිතියක්, අත්අඩංගුවට ගැනීම් හෙලාදැකීමක් හෝ කම්කරුවන් වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමක් කර නැත.

මෙම ම්ලේච්ඡ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරය, ශිෂ්ට සම්පන්න ජීවිතයකට සරිලන වැටුප්, රැකියා හා අනෙකුත් සමාජ අයිතීන් සඳහා වතු කම්කරුවන් අතර වර්ධනය වන ව්‍යාපාරය බිඳ දැමීම පිනිස, වතු සමාගම් විසින් දරන ලද ප්‍රයත්නයකි.

වතු කම්කරුවන්ගේ නැගෙන ප්‍රතිරෝධයෙන් බියපත් වන රාජපක්ෂ ආන්ඩුව, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පෙබරවාරි 12දා නිවේදනය කලේ ය.

ඉහල නැගෙන ජීවන වියදමට කිසිසේත් සරි නො වන මෙම සොච්චම් වැඩිවීම පවා, වතු සමාගම් ප්‍රතික්ෂේප කරති. මෙම මුදල ගෙවීමට බල කලහොත්, පිරිවැය කප්පාදු කිරීම, ඵලදායිතාව ඉහල දැමීම, විශ්‍රාම වැටුප් කපා දැමීම හා වතුවල අනෙකුත් සොච්චම් සමාජ වියදම් අහෝසි කිරීම පිනිස වැඩ සතිය අඩු කරන බව වතු සමාගම් ප්‍රකාශ කර තිබේ.

ආන්ඩුව තවමත් සමාගම් සමග “සාකච්ඡාවල” යෙදී සිටී. කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමට ඔවුන් විකල්ප ක්‍රියා මාර්ගයක් අනුගමනය කල යුතු ය.

රාජ්‍යයේ හා ධනපති පන්තියේ උපකරන බවට පරිවර්තනය වී ඇති වෘත්තීය සමිති මත ඔවුන්ට විශ්වාසය තැබිය නො හැක. කම්කරුවෝ,  වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්ව තම අයිතීන් රැකගැනීම සඳහා කම්කරු පන්තියේ සෑම කොටසක්ම එකමුතු කිරීමට තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැංවීමේ අවශ්‍යතාවය මේ වන විට මතුවෙමින් පවතී.

සබැදි පුවත්

– වතු ප්‍රශ්නයේ සුල මුල

Similar Posts