NGO භීතිකාව

චාපා බණ්ඩාර – ‘ජාතික ජන බලවේගය හා ඉන්න සමහර සංවිධාන එන්ජීඕ කල්ලි….. ඒ ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නෙ?’

අනුර කුමාර දිසානායක – ‘ඔබ එන්ජීඕ වශයෙන් අර්ථ දක්වන්නේ කුමක්ද?’

චාපා – ‘මං කියන්නෙ පිටරට සල්ලි වලින් ජීවත් වන සංවිධාන’

අනුර – ‘අපිත් එක්ක එහෙම සංවිධාන නැහැ…… කවර හෝ තැනකින් ඩොලර් ලැබිලා තියෙනවා කියල ඔබ ඔප්පු කරොත් හෙට අපි ඔවුන් අයින් කරනවා පමණක් නෙවෙයි අපි අපේ දේශපාලනය ගැනත් නැවත හිතා බලනවා.’

දෛවයේ සරදම නම් මෙයයි. මේ රටේ බොරු එන්ජීඕ භීතිකාවක් පැල කිරීමේ නියමුවා වන්නේ ජවිපෙය.

මේ පසුගිය සඳුදා අනුර කුමාර දිසානායක සහභාගී වූ හිරු සලකුණ වැඩසටහන් සංවාදය ගැන සිරිමල් විජේසිංහ සිය ෆෙස් බුක් පිටුවේ තැබූ සටහනකින් කොටසකි.

සිරිමල්ගේ මේ අදහස සරලව බැහැර කළ නොහැකි වුවත් මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව කටයුතු කිරීමට ගෙන ඇති තීරණය අප අගය කළ යුතුය. මෙම වැඩසටහනේදීම අනුර කුමාර තවදුරටත් සඳහන් කරන්නේ ‘ප්‍රගතිශීලි මිනිසුන්ට එන්ජීඕ ලේබල් අලවන එක සාමාන්‍ය දෙයක් වී ඇති’ බවයි. මේ අදහස කවුරුන් පැල කළද “ලංකාවේ සමාජ සේවා කටයුතු කරන බව කියමින් විදේශ රටවලින් මුදල් ආධාර ලබා ගෙන මෙරට දේශපාලන, ආර්ථික හා සමාජ පරිසරය අවුල් කිරීමට ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධාන වලට වැට බැඳීම කළ යුතු බවට” වන අදහස දැන් සාමාන්‍යකරණය වී ඇත. දැන් එයින් වැඩිම ප්‍රයෝජනයක් ගන්නේ බලයට පත්වන ආණ්ඩු බව නොරහසකි.

රාජ්‍ය නොවන සංවිධාන යනු?

සාමාන්‍ය ව්‍යවහාරය අනුව ගත් කළ රාජ්‍ය නොවන සංවිධාන හෙවත් එන්ජීඕ යනු ලාභ ලැබීමේ අරමුණකින් තොරව පවත්වාගෙන යනු ලබන්නා වූත්, පෞද්ගලික වූත්, ස්වයං පාලනයකින් යුතු වූත් සංවිධාන විශේෂයකි. නූතන සමාජ න්‍යායට අනුව සිවිල් සමාජය යනු රාජ්‍යය සහ රාජ්‍යයට සම්බන්ධ ආයතන මෙන්ම පෞද්ගලික අංශයෙන්ද වෙනස්ව පුරවැසියන් ගොඩනගා ගත් සාමූහික ක්‍රියාකාරීත්වයන්ය. මේ ක්‍රියාකාරීත්වය තුළ ප්‍රතිසංස්කරණ සඳහා දේශපාලනය, විකල්ප සංවර්ධන මාදිලීන්, මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම්, පරිසර ව්‍යාපාර, ගොවි, කම්කරු, ශිෂ්‍ය ව්‍යාපාර, සත්ත්ව අයිතිවාසිකම්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ආදි සියල්ල අයත් වේ. ගමේ මරණාධාර සමිතිය, මහිලා සමිතිය, සුබ සාධක සංගම් පවා රාජ්‍ය නොවන සංවිධාන වේ. “ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වීමට එක් ප‍්‍රධාන හේතුවක්, පැතිරී ගිය, සක්‍රීය, පුරවැසියන් සහභාගි කර ගන්නා සිවිල් සමාජ සංවිධාන ජාලයක් පැවතීම” යයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි.

රාජ්‍ය නොවන සංවිධාන රජයට ගැනීම

රාජ්‍ය නොවන සංවිධානවල විශේෂ අවධානය යොමු වන්නේ ආණ්ඩුව, පෞද්ගලික අංශය සහ පුරවැසියන් විසින් මග හරිනු ලබන විෂය කාරණා සඳහාය. උදාහරණ ලෙස රටේ නීතිය අනුව පිළිගැනීමක් නොමැති නිසා රජයේ රැකවරණයෙන් බාහිරව සිටින ලිංගික ශ්‍රමිකයන්, වෙනස් ලිංගික වරණයක් සහිත ප්‍රජාව වැනි අයගේ සුබ සාධනය සිදුකරන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. වධහිංසාව, අතුරුදහන්වීම්, මානව හිමිකම්, පරිසරය වැනි ක්ෂේත්‍රවල කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන ද ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නේ රජයේ අඩු අවදානමකට ලක්වූ කලාපවලය. මෙය ඇතැම් විට බලයේ සිටින රජයකට පෙනී යා හැක්කේ තමන්ට එරෙහිව කටයුතු කිරීමක් ලෙසය. කිසිදු විගණනයකින් තොරව රටට ඩොලර් ගෙන්වා ඒවා ආණ්ඩු පෙරළීමට භාවිතා කරන බව කියවෙන අදහසට උදව් වන්නේ මේ තත්ත්වයයි. කෙසේ නමුත් සිවිල් සමාජ සංවිධාන සහ එහි ක්‍රියාකාරීත්වය අරඹයා බාහිර සමාජයෙන් එල්ල වන සියලු‍ විවේචන මෙයින් බැහැර නොවන අතර එවැනි සැබෑ ගැටලු‍ පිළිබඳ සංවිධාන අභ්‍යන්තරයේ දිගු කලක් පුරා සංවාදයට ලක් වෙමින් තිබේ. විශේෂයෙන්ම සිවිල් සමාජ සංවිධාන ස්වයං නියාමනයකට ලක් කිරීමට, ඒවායේ මූල්‍ය විගණනයන් නියමිත ප්‍රමිතියකින් පවත්වා ගැනීම මෙන්ම ඒවායේ ක්‍රියාකාරීත්වයන් විනිවිදභාවයකින් සිදුවීම සම්බන්ධව මෙම සංවාදය පුළුල් වී තිබේ. එසේම රටේ පිළිගත් නීතින් වන සමාගම් ලියාපදිංචිය හෝ සමාජ සේවා පනත යටතේ ලියාපදිංචියෙන් තොර සංවිධාන වලට විදෙස් මුදල් ගෙන්වා ගැනීමේ හැකියාවක් නොපවතින අතර ඉහත ලියාපදිංචි කිරීම් මගින් එම සංවිධාන තම වාර්ෂික වාර්තා සැපයීමට බැදී සිටියි.

මෙලෙස රටේ සාමාන්‍ය නීතියෙන් පාලනය කළ හැකි රාජ්‍ය නොවන සංවිධාන කෙරෙහි විශේෂ නීති රීති හඳුන්වා දෙමින් රජයන් සෑම විටම උත්සාහ දරන්නේ රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය සංවිධාන බවට පත් කර ගැනීමටය.

නන්දන – විජිත අතුරු වාර්තාව

රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය හා බලපෑම පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් 2005 අගෝස්තු මස පත් කරනු ලැබීය. ‘2005 අගෝස්තු මස 30 වැනි දින ගරු නන්දන ගුණතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදේශාධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම පිණිසද, එම රාජ්‍ය නොවන සංවිධානයන්හි මූල්‍ය කටයුතුවල පවත්නා විනිවිදභාවය කවරාකාරදැයි සොයා බැලීම පිණිසද, එකී රාජ්‍ය නොවන සංවිධානයන්හි ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා ජාතික ආරක්ෂාව කෙරෙහි බලපා ඇත්තේ කවර අයුරින්දැයි හඳුනාගැනීම පිණිසද, එම රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය ජාතික සහ සමාජ යහපැවැත්ම කෙරෙහි බලපා ඇත්තේ කවර අයුරින්දැයි හඳුනාගැනීමටද මෙම රාජ්‍ය නොවන සංවිධාන අරභයා ශ්‍රී ලංකා රජය කටයුතු කළ අන්දම පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ නිකුත් කිරීම පිණිසද, පාර්ලිමේන්තුවට පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිසද විශේෂ කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී.’ පසුව නන්දන ගුණතිලක පෞද්ලික හේතුවක් මත කාරක සභාවේ සභාපතීත්වයෙන් ඉවත් වන අතර ඒ සඳහා විජිත හේරත් පත් කරයි. කමිටුවේ සමස්ත සාමාජික සංඛ්‍යාව 23කි.

එම අතුරු වාර්තාවේ යෝජනා අතර,

  1. රාජ්‍ය නොවන සංවිධානවල විනිවිදභාවය හා වගවීම වර්ධනය වන ආකාරයට විධිමත් කිරීම හා ක්‍රමවත් නීති පද්ධතියක් හඳුන්වා දීම යෝජනා කරන අතර 1980 අංක 31 දරන සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත අවලංගු කොට නව පනත් කෙටුම්පතක් සකස් කර නීතිගත කළ යුතු බව අවධාරණය කරයි.
  2. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ අධික්ෂණය සඳහා වූ නීති ප‍්‍රතිපාදන සකස් කිරීම සඳහා සියලු‍‍ බලතල සහිත කොමිෂන් සභාවක් පත් කිරීමටද රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලංකාවේ විධිමත් නිර්වචනයක් නොමැති හෙයින් සහ පවත්නා පනතේ නිර්වචනය ප‍්‍රමාණවත් නොවන හෙයින් රාජ්‍ය නොවන සංවිධාන වෙනත් කිසියම් නීතියක් යටතේ ලියාපදිංචි වී තිබුනද අනිවාර්යෙන්ම මෙම කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමට යෝජනා කරයි.
  3. වාර්තාවේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ නිර්වචනයයක්ද සපයනු ලබයිිදේශීය හා විදේශිය ආධාර සහිතව සමාජ ආරක්ෂණය, සුබභසාධනය හා සංවර්ධනය අරමුණු කර දේශීය නීති හා ප්‍රතිපත්ති රාමුවට ද සාරධර්මවලටද අනුකූල වූ ව්‍යවස්ථාවක් හා කලමනාකාරණ පද්ධතියක් සහිතව ලාභ අපේක්ෂාවෙන් තොර ස්වේච්ඡාවෙන් සේවය කිරීම සඳහා රාජ්‍ය ගිවිසුමක් නොමැතිව පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ගොඩනඟාගත් සියලු‍ම සංවිධාන ස්වේච්ඡා සමාජ සංවිධාන හෙවත් රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් නිර්චනය කෙරේ’ යන්න විය යුතුය.
  4. හඳුන්වා දෙනු ලබන කොමිෂන් සභාවේ කාර්ය හා බලතල, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමට අදාළ ප‍්‍රතිපත්ති, ඒවා කලමනාකාරණය සහ අධීක්ෂණයට අවශ්‍ය ප‍්‍රතිපත්ති විගණනයට සහ විමර්ශනයට අදාළ නීතිමය විධිවිධාන ඇතුළත් කළ යුතු වීම.
  5. මෙම කොමිෂන් සභාවේ බලතල දිස්ත‍්‍රික්ක හා ප‍්‍රාදේශීය මෙහෙයුම් කමිටුවලට විමධ්‍යගත කර ක්‍රියාත්මක කිරීමට සැලස්වීම. එහිදි රාජ්‍ය නොවන සංවිධානවල දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය මට්ටමේ ක්‍රියාකාරකම් රාජ්‍ය යාන්ත‍්‍රණය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් විය යුතුය.
  6. රාජ්‍ය නොවන සංවිධාන සඳහා අනිවාර්ය ලියාපදිංචියක් මෙම කමිටුව නිර්දේශ කර ඇත. ‘ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බැවින් රාජ්‍ය නොවන සංවිධාන මෙරට තුළ ලියාපදිංචි කිරීම අනිවාර්ය කළ යුතු බවද රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේදි එය රටේ පවතින මූලික නීතියට යටත්ව හා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලබන කොන්දේසිවලට යටත්ව සිදුකළ යුතුය.’

රාජ්‍ය නොවන සංවිධාන සාමාන්‍ය නීතියෙන් පාලනය වෙනවා වෙනුවට විශේෂ නීති මගින් පාලනය කිරීමට අවශ්‍ය යෝජනා රාශියක් මෙම වාර්තාවෙන් යෝජනා වන අතර කාරක සභාව අවස්ථානුකූලව ගත් යෝජනා ලෙසින් සංවිධාන කිහිපයක ක්‍රියාකාරීත්වයන් පිළිබඳ සෘජුවම කරුණු දක්වා ඇත. උදාහරණ ලෙස ඨඔ’ ආයතනය ප්‍රකාශ කළ ළමා මානසික සෞඛ්‍ය නම් කෘතිය බෙදාහැරීම තහනම් කර ඇති අතර හේතුව ලෙස දක්වා ඇත්තේ මෙරට යුද හමුදාව පිළිබඳ වැරදි ආකල්පයක් ළමා මනස තුළ ගොඩනැගීමට උත්සාහ දරා ඇති බව නිරීක්ෂණය කිරීමයි.

රාජ්‍ය නොවන සංවිධාන නියාමනය, අධීක්ෂණය සහ පරීක්ෂා කිරීමේ අරමුණ පෙරදැරිව 1980 අංක 31 දරන සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනතට 2018 දී ගෙන ඒමට උත්සාහ දරා සිවිල් සංවිධාන විරෝධය හමුවේ හකුලා ගත් සංශෝධන බොහොමයක් මෙම අතුරු කමිටු වාර්තාවේ යෝජනා මත පදනම්ව ඇති බවක් පෙනෙන්නට තිබේ.

සමාජ සේවා සංවිධාන පනත සංශෝධනය

1980 අංක 31 (එල්.ඩි.ඕ. 32/2011) දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන සංශෝධන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) පනත් කෙටුම්පත සම්මත කර 2018 පෙබරවාරි 20 වැනි දින ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරන ලදී. යහපාලන ආණ්ඩු සමයේ මනෝ ගනේෂන් අමාත්‍යවරයාගේ අමාත්‍යංශය මගින් සකස් කෙරුන මෙම කෙටුම්පත සකස් වන්නේ සක්‍රීය සිවිල් සංවිධානවල අදහස් විමසීමකින් තොරව වීම ද විශේෂත්වයකි.

එම නිසා මෙය එක්රැස් වීමේ නිදහස, අදහස් ප‍්‍රකාශනයේ නිදහස, සිතීම, හෘදය සාක්ෂිය, විශ්වාසය සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය සම්බන්ධ නිදහස යන අයිතීන් උල්ලංඝනය කරන පනතක් ලෙස විවේචනයට ලක් විය. මෙම කෙටුම්පත හරහා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට, විෂය භාර අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස අර්ථකථනය කර ඇති ඕනෑම කණ්ඩායමක් සම්බන්ධයෙන් පෙර නොවූ විරූ පාලන බලයක් ලබා දෙයි.

පුළුල් පරාසයක ක්‍රියාකාරී වන සමාජ බලපෑම් කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන යන අර්ථකථනය තුළට හසු කර ගැනීම සඳහා මෙම කෙටුම්පත තුළින් උත්සාහ දරන හැඩක් දක්නට ලැබේ. එම සියලු‍‍ සංවිධාන, ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම සහ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වන අතර එසේ නොවන සංවිධානවලට අපරාධ වගකීම් පවරමින් සාපරාධී දණ්ඩනවලට යටත් කිරීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම කිසිදු අධිකරණමය අධීක්ෂණයකින් තොරව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමට ඉඩකඩ ලැබී තිබේ. කිසියම් නීති විරෝධී ක්‍රියාකාරකමක් සිදු වෙන බවට සාධාරණ සැකයක් මතුවුවහොත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිර්ණායක නොමැතිව පවා “තොරතුරු ඉල්ලීම සහ ලබා ගැනීම” සඳහා බලයක් මෙමගින් ලේකම් කාර්යාලයට පැවරේ.

එහෙත් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ සංවිධාන නියෝජිතයන් සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව පනත හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවිය.

ජාතික ආරක්ෂාව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව

යහපාලන සමයේ පාස්කු ප‍්‍රහාරයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මලිත් ජයතිලකගේ සභාපතිත්වයෙන් යුතුව ජාතික ආරක්ෂාව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවක් පත් කරනු ලැබීය. “ජාතීන් අතර මිත‍්‍රත්වය වර්ධනය කරවමින් නව ත‍්‍රස්තවාදය සහ අන්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ නීති රීති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් වාර්තාව,” ලෙසින් නම් කෙරුණු, සුවිශේෂි කරුණු ගණනාවක් ඇතුළත් වාර්තාව පෙබරවාරි මස පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණි.

සිවිල් සමාජය සහ එහි කි‍්‍රයාකාරීත්වය, පාලනය සම්බන්ධයෙන් නිර්දේශ ගණනාවක් ද මෙම වාර්තාවට ඇතුළත්ව තිබුණි. උතුරු නැගෙනහිර යුද සමය තුළ දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධානයන්හි කි‍්‍රයාකාරීත්වය පිළිබඳ මහජනතාවට තිබුණා යැයි ඔවුන් විසින් පැහැදිලි කරන විරෝධාකල්පය, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනවලදී අනාවරණය කෙරුණා යැයි කමිටුව විසින් සඳහන් කරන රාජ්‍ය නොවන සංවිධානවල ලියාපදිංචිය පිළිබඳ ගැටලු‍‍ව මෙන්ම මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සහ ජාතික බුද්ධි සේවා ප‍්‍රධානියා හරහා ලබාගත් තොරතුරු අනුව සිවිල් සමාජය, මුදල් විශුද්ධිකරණය හා ත‍්‍රස්තකි‍්‍රයා සඳහා මුදල් සැපයීම යන මේවා අතර සම්බන්ධයක් ඇතැයි යන කාරණා මත පදනම්ව නිර්දේශ නිකුත් කිරීමට මෙම කමිටුව කටයුතු කර තිබේ.

සිවිල් සමාජ සංවිධාන දැනට වඩා බරපතළ ලෙස රාජ්‍ය අධීක්ෂණයට ලක්කළ යුතු යැයි කමිටුව විසින් අවධාරණය කරයි. එසේම පැවති රජය විසින් ගෙන එනු ලදුව පසුව අත්හැර දැමූ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණය) පනතෙහි සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර එය සම්මත කරගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි. මහ බැංකුවේ මුදල් බුද්ධි මණ්ඩලය, ජාතික බුද්ධි ප‍්‍රධානියාගේ කාර්යාලය සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ඒකාබද්ධ වැඩසටහනක් හරහා දේශීය රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන මුදල් ආධාර නියාමනය කිරීමට ද වාර්තාව මගින් නිර්දේශ කරනු ලැබ තිබේ. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය යටතේ විදේශ දායකත්ව නියාමන පනත වැනි පනතක් ස්ථාපිත කිරීම සහ ශ‍්‍රී ලංකාවට ලැබෙන විදේශ ආධාර නිසි ලෙස විගණනය කිරීමට පියවර ගැනීම ඇතුළු නිර්දේශ ගණනාවක් මෙමඟින් ඉදිරිපත් කර තිබේ.

සිවිල් සමාජයේ යෝජනා

සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙම වාර්තාවන් සහ ඒවායේ නිර්දේශයන් අරභයා මතුවන ගැටලු‍‍ සම්බන්ධයෙන් වරින් වර ආණ්ඩු වෙත සිය ප‍්‍රතිචාර පළ කර තිබේ. විශේෂයෙන්ම මෙම පනත් කෙටුම්පත හරහා සමාගමයේ රැස්වීමේ නිදහස සීමා කරන බවත් රටේ සියලු‍ දෙනාට බලපාන නීතියට වෙනස්ව නීති සහ ප්‍රතිත්ති සිවිල් සමාජ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම විසින් සිවිල් සමාජය වෙනස්කොට සැලකීමට ලක්කෙරෙන බවත් පුළුල් පරාසයක විහිදෙන විවිධ වපසරි තුළ ක්‍රියාත්මක වන සිවිල් සමාජ සංවිධාන සියල්ල එකම ආකාරයේ නීතියකින් පාලනය කිරීමට උත්සාහ දැරීමේ අනුචිත බවත් පෙන්වා දී තිබේ. ඒ අනුව පසුගිය වසරේ මෙම පනතට විකල්ප වශයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට සිවිල් සමාජ සංවිධාන කමිටුවට අවස්ථාවක් හිමිවිය. “රාජ්‍ය නොවන සංවිධාන නීති පිළිබඳ සිවිල් සමාජ අදහස් විමසීමෙහි සොයාගැනීම් සහ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත සඳහා යෝජිත සංශෝධන 2019,” යනුවෙන් එම යෝජනා ඉදිරිපත් වූ අතර මෙම කමිටුව දිවයින පුරා පළාත් නවයේම සංවිධාන 233 ක් සමඟ සහ 2018 ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ පුද්ගලයන් 348 දෙනෙකු ඇතුළත්ව විවිධ පාර්ශ්වයන් සමඟ සාකච්ජා කර එම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත. එමඟින් පනත් කෙටුම්පතෙහි සිවිල් සමාජ සංවිධාන පිළිබඳ නිර්වචනය සංශෝධනය කිරීම, අනිවාර්ය ලියාපදිංචිය සම්බන්ධ තත්ත්වයන්ට අදාළව විකල්ප යෝජනා ඉදිරිපත් කර තිබේ.

මේ අතර රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන නීතිඥ රාජා ගුණරත්න පසුගිය ජුනි මස 29 වැනිදාවේ දේශීය සහ ජාත්‍යන්තර සංවිධානයන්හි පාර්ශ්වකරුවන් වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානවලට අදාළව පවත්නා නියාමන යාන්ත‍්‍රණය සහ නෛතික රාමුව සම්බන්ධව අදහස් ප‍්‍රතිචාර ඉල්ලා සිටිනු ලැබ තිබීම රාජ්‍ය නොවන සංවිධාන නියාමනය හා අධීක්ෂණය කිරීම අලු‍‍ත් වටයකින් ආරම්භ වීමේ සලකුණකි. සමබිම ඒ සංවාදයට විවෘතය.

රාජ්‍ය නොවන සංවිධානවල විකල්ප යෝජනා

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් විසින් දැනට පවතින ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත සඳහා විකල්පයන් සහ සංශෝධන කෙටුම්පතක් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට 2018 වසරේ සිවිල් සමාජ කමිටුවක් වෙත පවරන ලදී. එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද විකල්ප සංශෝධන කෙටුම්පතෙහි සිවිල් සමාජ සංවිධාන පිළිබඳ නිර්වචනය සහ සංවිධාන ලියාපදිංචි කිරීම් වලට අදාළ සංශෝධනයන් පමණක් මෙහි උපුටා පළ කරමු.

    පනතේ අවශ්‍යතාව

– ලාභ අපේක්ෂා නොකරන සිවිල් සමාජ සංවිධානයන්ට ස්වේච්ඡාවෙන් ලියාපදිංචිවීම සඳහා විධිවිධාන සලස්වන පනතකි,

– නිසි පරිදි ස්ථාපිත කරනු ලබන එවැනි සංවිධාන පිළිගැනීම සඳහා;

– ලියාපදිංචි සිවිල් සමාජ සංවිධාන පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රවේශවිය හැකි ලේඛණයක් පවත්වාගෙන යාම සඳහා

– රජයේ සහාය අවශ්‍ය වූ විට ක්‍රියාකාරකම් පහසුකරණය කිරීම සඳහා

– එවැනි සංවිධානවල නීත්‍යානුකූල ක්‍රියාකාරකම් කෙරෙහි මැදිහත්නොවීම තහවුරු කිරීම සඳහා;

– ආරවුල් විසදීමේ යාන්ත්‍රණයක් සඳහා විධිවිධාන සැලස්වීම සඳහා;

– එවැනි සංවිධානවල සාමාජිකයින්ට සහ පොදු මහජනතාවට එකී සංවිධානවල වගවීම දිරිගැන්වීම සඳහා.

– සහ ඒ හා සම්බන්ධ සහ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලස්වීම සඳහා.

ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව

  1. ශ්‍රී ලංකාවේ නෛතික ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම පිණිස ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම සහ පහසුකම් සැපයීම) පනත යටතේ ලියාපදිංචිවීම සඳහා සංවිධානයක් රෙජිස්ට්‍රාර් වෙත අයදුම් කළ හැකිය. සැකය මඟහැරීම සඳහා, මෙම පනත යටතේ ලියාපදිංචිවීම ස්වේච්ඡාවෙන් සිදුවන අතර ලියාපදිංචි නොවීම නිසා අහිතකර ප්‍රතිවිපාක ඇති නොවේ.

ජයනි අබේසේකර සහ ප්‍රබෝධ රත්නායක විසින් සමබිම ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපියකි

Related posts

Leave a Comment