රංචු රංචු කැලෑ වදින පානම පලූ කෙළිය

panama
පොසොන් සඳ වැවට කඩන් වැටිලා වැව් දියනානවා.. අපි පැල්කොටේ කතා දානවා.. හොල්මන් කුරුල්ලාගේ සද්දය ඉඳහිටක අසල මුහුදේ රළ කෑගහන සද්දේ වහලා දානවා.
‘හෙට නියම වැඩක් තියෙනවා. අපි උදේ රැයින්ම කැලේ යනවා පලූ කඩන්න. මහත්තයාත් එන්න කැමතියි නම්.’ පානම බණ්ඩාර මාමා කියනවා. ඉබ්බා දියට දැම්මහේ ඇන්නාවේ කිව්වාලූ.. හුම්.. හුම්.. එහෙට මෙහෙට කට ඇතුලේ නැළවෙන විට ඩිංගිත්ත එළියට පනින්න නොදී මම කතා කරනවා. මේ වැල්ලේ ඉහළ ආකැහේ තුරු වදුළු හඳ එළියත් එක්ක ඔට්ටු වෙනවා…
‘ඉස්සර මේ ගම් කොහොමද?’
‘දැන් අපි ළිං මැඩියෝ වාගේ. වටේම අපිට අයිතිය තිබුණ කැලේ රජයට අරං මායිම් කොරාගෙන. දඩමසක් දිවුලක් ඇහිඳින්න මීයක් කඩන්න වහන්වෙනවා බොරු.. ඉස්සර කෑම මතක් වෙනකොට ඇඟ නළියනවා..’ ‘අපේ රංචුවේ තවත් එකෙක් බණ්ඩාර මාමාගේ කතාවට කෑලි බෑලිවලින් දමලා ගහනවා.. අලියා කන්න ආස ගහමුල දුම් දමන නටන වතුර ඩිංගිත්ත අනේ බෙලිමල් හදන්නකෝ කියලා ළතැවෙන සීත රාතරියක අග්ගිස්ස මේක.
‘මං ගෑනු තුන්දෙනෙකුටත් කිව්වා.’
‘අනේ ඉතින් උඹට ඕකුන් නැතිව මොකුත් බැහැනේ..’ උදෑසන කැලෑ වැදිල්ල ගැන කස්ටිය ඕසේට කතාව..
‘මම බෙලිමල් ටිකක් හදන්නම්’ එක්කෙනෙක් කතාව හැරයනවා.. ඒ පාර මුවෙකුගේ බෑඟිරි ගෑමක්.. කළු සළුව සිදුරු කරන් අහසේ පොසොන් සඳ තවමත් අපේ මූණ බලනවා.. ඈත නැගෙනහිර සිතිජය හිරු පිළිගන්න දම් පාටින් සේල එළන වෙලාවක් මේක..
පාරට තාමත් පොඩි කළුවරක්.. අපි රතු ගුරු පාරේ.. අසලින් අලි වැට. පනිමු.. දැන් අලි ඉසව්ව.
‘හූ හූ ඔහොම ඉඩහල්ලා..’ හූ හඬ සහ දෙපැත්තට මාරුවෙන කතාව අතරින් ඈතින් මෙන්න ඔවුන් මතුවෙනවා.. ගෑනු! කලින් රාතරියේ කස්ටියගේ කතාව මට මතක් වෙනවා.. අපේ පිරිමි සෙට් එක අලි වැට ළඟ හොරගල් ඇහිඳිනවා.. යමු එහෙනම්… දැන් ඉතින් තොරතෝංචියක් නැති හිනාවකටයි කතාවකටයි විහිළු තහළුවලටයි ඉඩ වෙන්වෙනවා… ශුෂ්ක තැන්නේ රතු ගුරු පාරේ කටු පඳුරු වහගත්ත කරඹ වැල් ගොමු සුදුපාට මලින් සැරසිලා පිච්චමල් සුවඳකින් අපිට කැලේ ඇතුළට කතාකරනවා.
බණ්ඩාර මාමා කැලේ දෙයියන්ට කොළ අත්තක් එල්ලනවා. දැන් අපි ඉන්නේ කුමන කැලේ.. පුංචි පුංචි කටු පඳුරු අස්සෙ වීර පලූ වගේ ලොකු ගස් අහස අල්ලනවා.. ‘ඔහොම ඉන්න.’ ජයසිංහ මාමා කැලේට රිංගනවා, අපි බලන් ඉන්නවා. පුංචි වීර ගහක් රතු කහ පුංචි ගෙඩිවලින් සැරසිලා බලාන ඉන්නවා. ‘මෙන්න කාලා තියෙයිද?’ මට රතට රතේ හිනැහෙන වීර පොකුර දෙමින් මාමා අහනවා… ඕවාට උත්තර තියෙනවාද මේ වගේ වේලාවට. මම කනවා කනවා.
‘සිග්නල් දහයක් මදිවෙයි පුතාගේ දත් සුදු කරගන්න’ චන්ද්රලතා නැන්දා හිනාවෙනවා.. කස්ටිය හයියෙන් හයියෙන් කතාකරනවා හෝ.. හූ.. වගේ සද්දත් දානවා. ‘මොකෝ මේ’ මම අහනවා.
‘අපි මේ ඉන්නේ අපිට අයිති සීමාවක නෙවෙයි. මේ පාර මේ ගහකොළ මේ අහස සේරම උන්ගේ.. ඉතින් අපි උන්ගේ ගෙදරට එනකොට කලින් මේ විදිහට කෑගහලා ඒක දන්වන එක අපිට ගුණයි..’ බණ්ඩාර මාමා හේතු කියනවා. මම වීර කනවා. කස්ටිය උඩ බල බල තමයි යන්නේ. පුංචි පුංචි වීර ගස් මඟඅරිනවා.
‘පලූම තමයි හොයන්නේ.. වීර කඩන එක අමාරුයි. වීර මරක්කලයක් (මරක්කලයක් යනු සේරු හයකි) කඩන්න සෑහෙන්න වෙලාවක් යනවා. හැබැයි මේ වාරේ වීර තමයි ගණන්. වීර මරක්කලයක් රුපියල් දාහකට තම්බි ගන්නවා. පලූ නම් මේ ගමන රුපියල් පන්සීයයි.
කොහොමත් මේ කාලෙට අපේ ගමේ එක්කෙනා ලක්ෂෙ හොයනවා ලේසියෙන්ම. මාස දෙකක් විතර මේ පලූ සීසන් එක. සමහරු උදේ හතර පහවෙනකොට මහකැලේට රිංගලා. කොහොමත් දොළහ වෙනකොට පාරට ආවේ නැත්තන් මුස්ලින් වෙළෙන්දෝ යනවා යන්න. අනික පලූ ඉක්මනට නරක්වෙනවා. පණුවෝ ගහනවා. ෆරිජ් එකක නම් දවසක් තියාගන්න පුළුවන්. හැබැයි වීර නම් දවස් දෙක තුනක් තියාගන්න පුළුවන්.’ එස් චන්ද්රලතා නැන්දා පලූ කෙළිය වචනවලට පෙරළනවා.
තරමක් දුරින් බණ්ඩාර මාමාගේ හූව ඇහෙනවා. අපිත් හූ.. කියලා උත්තර දෙනවා. ඒ පැත්තට අකුල කඩාගෙන රිංගනවා… මේ පේනවද? ජයසිංහ මාමා මට රූස්ස ගහක කඳක් පෙන්නනවා. ඒ කඳ දළ පහරට කඩතොලූ වෙලා.
‘අලියා මඩ නාලා ඇවිත් පිට අතුල්ලන ගහ මේක.’ මාමා කියනවා. ‘එහෙනම් ළඟම වැවක් ඇති.’ මම කියනවා.. අර පෙන්නේ. පුංචි දිය කඩිත්තක් ඕලූ මල් ගොමුවක් ඔළුව උඩ තියාගත්ත.
ගස් බඩ ගෑම
අපි යනකොට බණ්ඩාර මාමා ගහ මුදුනේ. අඩි විස්සක් නම් උසයි දැවැන්ත පලූ ගහක්. කොළපාට පුංචි පුංචි කොළ කිණිති අස්සෙන් එබෙන කහපාට පුංචි පුංචි පලූ ගෙඩි.
‘මේ පුතා පේනවද මේ ගහ මුදුනේ අතු තලව් වෙලා. (තැලිලා) මේ ගහේ පලූ වළහා කාලා තියෙයි. දන්නවද ඌ කන විදිහ. ගහ මුදුනටම නඟිනවා. ඊළඟට හොඳට පලූ තියෙන අතු කිණිති කඩාගෙන ඒවා අත්ත උඩම බුෂියට දාගෙන ඒක උඩ ලැගලා කඩකඩා කනවා කොච්චරවත්..
ඒ වේලාවට අපි ගහ යටට එහෙම ආවොත් අඩානවා.’ බණ්ඩාර මාමා ගහ මුඳුනේ ඉඳලා කෑමොර ගහනවා. අතු එකින් එක කපලා බිම දානවා. මේක ලේසි පහසු කෙරුවාවක් නෙවෙයි ජීවිතයත් එක්ක කරන සටනක්.. අත්ත අතෑරුණොත් ජිවිතේ නිකන්ම අතාරින්න වෙනවා.
‘අපි කණ්ඩායමක් එනකොට ගොඩක් වේලාවට ගස් නඟින්න පුළුවන් පිරිමි දෙන්නෙක්වත් එනවා. අනික් අය ගැහැනු. පලූ ගස් වීර වගේ නෙවෙයි විශාලයි. වීර නම් ගස් පොඩියි. අපිට වුණත් නමලා කඩන්න පුළුවන්. මේ විදිහට ගහ පෑස්සහම ආයිත් ඒ ගහේ ගෙඩි හැදෙන්නේ අවුරුදු පහකට විතර පස්සේ.’ ඇස්ලින් නැන්දාගේ කතාවත් පලූ ගහ තරම් බංගසාලයි.
‘මට දැන් අවුරුදු පනස්හතක් වෙනවා. මේ රස්සාව පුංචි එකා කාලේ ඉඳලාම කරලා හුරුයි. ඉස්සර අපේ අපා (තාත්තා) අපිව කැලේ එක්කරගෙන එනවා. වෙසක් මහට තමයි මල් පුරවා ගන්නේ. පොසොන් මහට ගෙඩි ඉදෙනවා.
ඉස්සර අපි පුංචි කාලේ අපි කළේ වැවේ ගිහින් නෙළුම් ඇට කඩපු එක. නැත්තං කැලේට රිංගලා දිවුල් ඇහින්ද එක. නැත්තං වීර පලූ කඩන එක. මී කඩන එක. මී පැණිත් මේ කාලෙට තියෙනවා. මී මැස්සොත් පැණි හදන්නේ පලූ වීර මල්වලින් තමයි.’ නැන්දා තමන් අත්තා පනත්තාගෙන් අරගෙන ආපු දැනුම මා ඉස්සරහ විසිකරලා දානවා. මම ඒවා පලූ කටට විසිකරගන්න හනිකට ඔලූවට දාගන්නවා.
මේ නැන්දලාගේ අත් මැෂින් වගේ. මට රත්නපුරේ පැත්තේ තේ දලූ එක්ක ඔට්ටුවෙන රතැඟිලි මතක් වෙනවා. බණ්ඩාර මාමා වඳුරෙක් වගේ ගහේ අතු අග්ගිස්සේ සෙල්ලං කරනවා. දැන් මහා ගහේ බාගයක් ඉවරයි. මාමා බහිනවා. ‘මොකෝ තව තියෙනවනේ’ මම කෑගහනවා.
‘ගහ සම්පූර්ණයෙන්ම එළිකළොත් ගහ මැරෙන්න පුළුවන්. අනික වළහා නැග්ග ගහක්නේ. වළහා නගින්නේ රස ගහට විතරයි.’ බණ්ඩාර මාමා පලූ කැඞීමේ පාරිසරික පරතිපත්තිය අපිට කියනවා. ඒකට නැන්දලා තරගයට පලූ කඩනවා. මමත් නිකන් හිටියේ නැහැ තරගයටම පලූ බඩට විසිකරගත්තා. මේ කහපාට, සුදුපාට මැලියම් තවරගත්ත පුංචි ගෙඩිය හරිම රසයි. ‘පලූ කඩනකොට ඔයාල කවි කියන්නේ නැද්ද?’ මම නිකමට වචනයක් නැන්දලාගේ අතරට විසිකළා. හා හා සිනහා සාගරයක්. ඈතින් එන වලස්සු විතරක් නෙවෙයි, අලි කොටිත් බයවෙලා දුවන විදිහේ හිනාවක් ඒක.
‘නැහැ අපි පානම ගෑනු කවදාවත් කුඹුරට ගියේ නැහැ ගොයං කපන්නවත්. ඒක ඉස්සර ඉඳලම එහෙමයි.‘ මම දන්නේ නැති සංස්කෘතික කතාවක අග්ගිස්සක් එස්ලින් නැන්දා කියනවා. ‘ඔයා කුවේට් ගියා කිව්වා නේද? රට රස්සාවට වැඩිය පලූ රස්සාව හොඳයිද?’ මම නඬේ හැඩකාරී චන්ද්රලතා නැන්දාගෙන් අහනවා.
‘මම කොහොමත් ගමට ආසයි. විශේෂයෙන් මගේ මේ පානම ගමට. මේ වගේ ගමක් තවත් ලංකාවේ තියෙයිද? අපි නම් හිතන්නේ නැහැ. අපි ඉස්සර පුංචි එකා කාලේ මේ මහ කැලෙන්මයි ජිවිතේ ගැටගහගත්තේ’. ‘නැන්දා කවුද බැන්දේ?’ මම පලූ කතාව අස්සේ මඟුලක් අහනවා.
‘ඇවැස්ස හිරේනේ. ඒ කාලේ ගම දියුණු නැහැ. ඇවස්සට තමයි හැවොම කසාඳ බැන්දේ. දැන් නම් ඒක එහෙම නැහැ. කසාදෙන් නම් මට වැරදුණා. වෙන මොනවා කරන්නද? රට ගියා සෑහෙන්න කාලයක් එහෙට කැඹුරුවා… ඒ නිසා අද මගේ ළමයි ලස්සන ජීවිත ගතකරනවා. එයාලා ඉන්නේ අම්පාරේ ටවුන් එකේ.. මම ආයෙත් මගේ ගමට ආවා. මට මෙහේ මගේ අක්කා ඉන්නවා. එයත් එක්ක තමයි මම දැන් මෙහෙ ඉන්නේ..’ චන්ද්රලතා නැන්දාගේ සිනහව මගේ වීර පලූ කතාව වෙන පැත්තකට හැරෙව්වා. ආයිත් මේ කැලේටම එමු.
පලූ අතීතයක්
‘ඉස්සර අපේ සීයලා, අත්තලා පලූ කඩලා ඇට අයින් කරලා මී පැණි දාලා වේලලා කෑමට ගත්තා. ඒවා කාලා තමයි කැලේ කොළේ එක්ක යුද්ධ කළේ්. මගේ සීයා හාල් බාග තුනක බත් එකපාර කනවා. ගෝන මස් මුව මස් නැති දවසක් නැහැ. උන්දැ කොටපු හේන්, හදපු කුඹුරු තමයි අපි අදත් ජීවත් කරවන්නේ. එක කුඹුරක් හේනක් නැහැ අක්කර අටෙන් දහයෙන් මෙහා.
මේ පලූ වීර කියන්නේ මේ කලාපෙ අපිට තියෙන හොඳම පලතුරක්. කෑවහම යක්කු වගේ වැඩකරන්න පුළුවන්. දැන් හැදෙන එවුන් පලූ මොනවාද කියලාවත් අඳුරන්නේ නැහැ.
ඒකට මුස්ලිම් මිනිහා. මේක හරියට කනවා. දැන් නෝම්බි මාසේ නිසා තමයි අපිට ටිකක් විකුණා ගන්න අමාරු වෙන්නේ.’ ‘බණ්ඩාර මාමාට වලස්සු හම්බවෙලාම නැද්ද?’ අතීතයට යන බණ්ඩාර මාමාගේ කතාව මම ආයෙත් වර්තමානයට ගන්න හිතුවා… ‘මේ මොකද්ද?’ මාමා මට කකුලේ යටට බැහැපු පැල්ලමක් පෙන්නනවා.
‘දවසක් මට පාර වැරදුණා. මම හු තිය තියා ආවා. වලහත් ඒ විදිහටම හූ තිය තියා ආවා.. ඇඟට පැන්නා. මම ගහක අත්තක එල්ලූණා. ඌ කකුලේ එල්ලූණා. මම ගැහුව පාරට මස් කෑල්ලත් ඉරාගෙනම ඌ යන්න ගියා.. මේ ගමේ ඇස් නහය නැති අය කොච්චර ඉන්නවාද? දහයක් විතර ඉන්නවා පලූ කඩන්න මී කඩන්න ගියහම වලස්සු ගහපු අය.
වලහා මිනිහාගේ ඇස්දෙක කන්නම තමයි පනින්නේ.. හැබැයි බය නැතිකමයි හොඳ ඉනි කෑල්ලකුයි තිබුණහම හොඳටම ඇති වලහා මෙල්ල කරන්න. අපේ සීයලා, අත්තලා නම් කැලේ ගිහිං කුළුමීමොත් දඩයම් කළා.
ඒ උන්දැලගේ ශක්තිය.’ මාමා අතීතයටමයි යන්නේ. ඒක පානම මිනිස්සුන්ට හුරු පුරුද්දක්ද කොහෙද? යුද්ධය ඉවරයි එක්කම මේ මිනිස්සුන්ගේ කැලේ ජීවිතයත් බාගයක් ඉවරයි. ඒ කියන්නේ ආදායමත් බාගයක් ඉවරයි. ශරීර කුඩුවේ ශක්තියත් බාගයක් ඉවරයි.
‘ඉස්සර සත්තු මරන්න ලයිසන් දීපු කාලයක් තිබුණා. සමහර කාලවලට වල්හරක් මරන්න අවසර දුන්නා. දැන් ලීයක් කපාගන්න කැලේට ගියොත් අල්ලලා කූඩු කරනවා. පානම කුමන කියන්නේ කැලෙන් ඉපදුණ ගම් මහත්තයෝ.
කුමන මිනිස්සු නම් දෙහිඅත්තකණ්ඩියට ගිහින් දැම්මා. ඒත් ඒ මිනිස්සු අදටත් කියන්නේ අපිට හොඳ කැලේ තමයි කියලා.’ බණ්ඩාර මාමා ඉඳගෙන කතාව නැන්දලා තරගෙට පලූ කඩලා බේසම් පුරවනවා.. ‘දැන් මරක්කල කීයක්ද?’ මම අහනවා. ‘බයවෙන්න එපා මරක්කල කීයක් වුණත් විකිණුවට පස්සේ සමව බෙදෙනවා.’ චන්ද්රලතාගේ කතාවට හැමෝටම හිනා.
කෑම
මේ පලූ වීර කැඩිල්ලට කැලේට එනකොට උයාපිහාගෙන තමයි එන්නේ. දහදෙනෙක් කැලේට ආවොත් අඩුම ගානේ මරක්කල දහයක්වත් කඩන්න ඕනි දොළහ කිට්ටු වෙනකොට. එතකොට තමයි අඩුම ගානේ එක්කෙනෙකුට රුපියල් පන්සීයක්වත් සාක්කුවට දාගෙන ගෙදර යන්න පුළුවන්. සමහර කණ්ඩායම් ඊට ගොඩක් වැඩියෙන් කඩනවා.
කොහොමත් නිතර කැලේට මේ වැඬේටම යන අය පලූ වීර වැසි වැටුණ ගස් ඉසව් ටක්කෙටම දන්නවා. අපි කණ්ඩායම කන්න වාඩි වුණා. චන්ද්රලතා රොටී පාර්සලේකුත් එක්ක සෝයාමීට් ගෙනැල්ලා. සෝයා ගෙනාපු එකට කණ්ඩායමේ සමහර අය විරුද්ධයි. ‘මේක දෙයියන්ගේ අඩවිය උඹ දන්නේ නැද්ද?’ ‘දැන් කොරන්න දෙයක් නැහැ කමු.’ කතා කෝටියක්.
තවත් එකෙක් බත් පාර්සලයක් දිග අරිනවා. ‘කොහොම හරි අන්තිමට දෙවියන්ටත් සෝයා එක්ක රොටී ගොටුවක් තිබ්බා.’ ‘මේ මහ කැලේ හරි අමුතුයි කරමෙට කළේ නැත්තං යනවා බොරු.’ බණ්ඩාර මාමා දෙස් තියන ගමන් රොටි සෝයා හොද්දේ හොඳට මාත්තු කරලා දෙකට තුනට නවලා කට ඇතුළට විසිකරගන්නවා.
පානම කියන්නේ විචිතර සංස්කෘතික බැමි ගොඩකින් වටවුණ කැලෑකොදෙව්වක්. 1818 කැරැල්ලෙන් පල්ලන් වුණ මිනිස්සු තමයි හැඩ ඔය කුඹුක්කන් ඔය දිගේ මේ බිමට අඩිය ගැහැව්වේ.
ඒ ආපු මිනිස්සු කරකාරෙට ගත්තේ මඩකළපුවේ දෙමළ ගෑනු. ඒ මිශරවීම මරු. නුවරින් මාතලෙන් ඇවිත් ජීවිතය බේරගන්න මේ මහා කැලේ ඇතුළේ ජිවිතේ අතරමං කරගත්ත මිනිස්සුන්ගේ තමයි පානම සංස්කෘතිය බිහිවුණේ. ඒක ඇතුළේ මිථ්යාවට ලොකු ඉඩක් තියෙනවා.
මෙවැනි තත්ත්වයකින් නිර්මාණය වුණ සංස්කෘතියක් එහෙම නැතිව කොහොම වෙන්නද? එනිසා වියැකෙන ඒ සංස්කෘතිය විඳින ගමන් වීර පලූ අහුරක් කටට හලාගන්න පානමට එන්න. අපි රතු ගුරු පාරේ පලූ බෑග් බෑග් එක්ක ගමට හැරුණා.
ඉරමුදුන් කාස්ටකය අපිට පාර කියනවා…..

Related posts