ප්‍රවීන් සහ රෙස්ලින් පොලිස්

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අතින් අමානුෂික ලෙස පහර කෑ රියදුරු තමන්ගේ එම අමිහිරි අත්දැකීම පිළිබඳව සියල්ල හෙළි කර තිබේ. මෙලෙස පහර කෑමට ලක්ව තිබුණේ කලෙයිමගන් ප්‍රවීන් නම් තරුණයෙකි.

එළවළු වෙළෙඳාමේ නිරත වන ප්‍රවීන් පසුගිය 29 වැනිදා අලුයම 1ට පමණ බණ්ඩාරවෙල නගරයේ සිට කොළඹ බලා පිටත්ව පැමිණ ඇති අතර පන්නිපිටිය ප්‍රදේශයේ දී ඔහුව මාර්ග තදබදයට හසුව තිබේ.

ඔහු එම අත්දැකීම පිළිබඳව පවසමින් කියා සිටියේ “..මම උදේ 8 – 8.15 වෙනකොට තමයි මාව ට්‍රැෆික් එකට සෙට් වුණේ…එතනට ඇවිල්ලා මම ට්‍රැෆික් එකේ ඉන්නකොට අව්වේ සැරට නින්ද ගියා..ඒ නිදිමතෙන් තමා මංවත් දන්නේ නැහැ වාහනේ මං හිටපු පැත්තේ ඉඳලා අනිත් පැත්තට පාරට හැරුණේ කියලවත් මතක නැහැ.. අර ගැට්ටේ වැදුණාට පස්සේ තමා මං එක පාර ඇහැරුණේ…” ලෙසිනි.

තමන් ඇහැරුණු පසුව වාහනය ඉස්සරහ කෙනෙක් සිටින බව දුටු බව පැවසූ ප්‍රවීන් තවදුරටත් සඳහන් කර සිටියේ “මගේ වාහනේ ඉස්සරහ එක්කෙනෙක් යට වෙන්න ඔන්න මෙන්න ඉන්නවා කියලා ඇහැට පෙනුණා..OIC මහත්තයා ඉන්න එක මට ඒ වෙලාවේ තමා පෙනුණේ..” ලෙසිනි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ කවුරුන් හෝ අනතුරකට පත් වෙන්න ඉන්නවා නම් කෙළින්ම ගිහින් අනතුරට පත් නොකරන බවත් තමන් එම නිලධාරියාව දුටු ගමන් වාහනය ආපසු හරවාගන්නට කටයුතු කළ බවත් සඳහන් කළේය. එම අවස්ථාවේදී මහරගම පොලිසීයේ රථවාහන ස්ථානාධිපතිවරයා ගැටුණු බව ඔහු සඳහන් කළේය.

එම අනතුර සිදු වුණු සැනින් වාහනයේ අත් තිරිංග ක්‍රියාත්මක කර වාහනය නවත්වා ගත් බව පැවසූ ඉන්පසු ප්‍රවීන් සිදුවීම විස්තර කළේ මෙලෙසිනි, “..මම බහින්න කළින් තව පොලිස් කෙනෙක් ඇවිත් එයාම දොර ඇරලා මට ගහලා ඇදලා එළියට ගත්තේ..”. ප්‍රවීන් පවසා සිටියේ තමන් එම අවස්ථාවේ අසුන් පටියවත් ගලවා නොසිටි බවයි.

තමන් අසුන් පටි ගලවා එළියට බැස්ස පසු තමන්ට එම පොලිස් නිලධාරියා පහර දීම ආරම්භ කළ බවද ප්‍රවීන් සඳහන් කළේය. පොලිස් නිලධාරියා තමන්ව ඇද එළියට ගත් අවස්ථාවේ තමන්ගේ කමිසයද ඉරි ගිය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“මම ලොරියෙන් බැස්ස පාර කිසිම දෙයක් කිව්වෙත් නැහැ, කිසිම දෙයක් ඇහුවෙත් නැහැ කෙළින්ම ගහන්න පටන් ගත්තා..” යැයි පැවසූ ප්‍රවීන් කියා සිටියේ අනතුරට පත් වූ නිලධාරියාව එම අවස්ථාවේ කාර් රථයකට නංවන ආකාරය තමන් දුටු බව පැවසූ ඔහු කියා සිටියේ “මොකක් හරි ලොකු සිද්ධියක් වුණා කියලා මම හිතුවා.. ඒ බයෙන් මං හිටියේ…” ලෙසිනි.

තමන් නිලධාරියාට වූ සිදුවීම කීමට උත්සාහ කළ තමන්ට ඔහු දිගටම පහර දුන් බවත්, එතන සිටි තවත් පුද්ගලයෙකු පැමිණ පහර දුන් බවද ඔහු කියා සිටියේය. එම පොලිස් නිලධාරියා තමන්ට කකුල් මාට්ටුවක් දමා බිම දමා ඇඟට පැන්න බවද ප්‍රවීන් පවසා සිටියේය.

තමන්ට පහර දෙන අවස්ථාවේ ‘දෙමළා’ යනුවෙන් අමතා පරුෂ වචනයෙන් බැන පහර දුන් බවද කලෙයිමගන් ප්‍රවීන් පවසා සිටියේය.

පහර දීමෙන් පසුව තමන්ව සිය ලොරි රථයටම දමාගෙන මහරගම පොලිස් ස්ථානය වෙත ගෙන ආ බවත්, එම අවස්ථාවේ තමන්ගේ වෙළෙඳසැල් හිමියා අමතා සිදුවීම කී බවත්, අනතුරු සිදු වූ ස්ථානය පවා නොදැන සිටි නිසා තමන්ට පහර දුන් පොලිස් නිලධාරියා වෙත දුරකථනය දුන් අවස්ථාවේ ඔහු පරුෂ වචනයෙන්ම වෙළෙඳසැල් හිමියාටද බැන වැදුණු බවද ඔහු සඳහන් කළේ.

යුටියුබ් නාලිකාවක් සමග එක්වෙමින් ඔහු තමන් මුහුණ දුන් අත්දැකීම ගැන විස්තර කලේ මෙලෙසයි..

Related posts