නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ?

පසුගිය දා අභිරහස් ලෙස මියගිය පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ?

සොයා බැලීමේ කුහුල නිසාම පසුගිය දවසක රත්ගම නැතිනම් රජ්ගම ප්‍රදේශයේ ඇවිද්දෙමි.

සුන්දර කළපුවකට ද නීල සයුරට ද මැදිවුණ මේ බිම සලාගම වාංශිකයින් බහුතරයක් ජීවත් වෙන ප්‍රදේශයක් ය. රත්ගම මැතිවරණ කොට්ඨාශයට යාව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශ පිහිටා ඇත. මේ මැතිවරණ කොට්ඨාශ තුනම කුල පදනම මත බෙදා වෙන් කළ මැතිවරණ දේශ සීමාවන් ය. රත්ගම සලාගම වනවිට අම්බලන්ගොඩ කරාව ය.

කරන්දෙණිය දේව වාංශික ය. අම්බලන්ගොඩට යාබද බලපිටිය ගත්ත ද එයත් කුලය සලකා සීමා නිර්ණය කළ අසුනක් ය. එහි ද බහුතරය සලාගමය. මෙම බෙදිල්ලට පසුව රත්ගම ප්‍රාදේශීය සභා සීමාව ද යළි නැවත හික්කඩුව නගර සභාව සහ රත්ගම ප්‍රදේශීය සභාව ලෙස යළි සැකසෙන්නේ කුල පදනම මත බෙදෙමින් ය.

ඒ අනුව කරාව බහුතරය වටකර හික්කඩුව නගර සභා නාමපෝරුව එල්ලා ඇත. රත්ගම බහුතර සාලිග්‍රාමයෝ කියන්නේ රත්ගම ප්‍රදේශීය සභාවට සල්ලි යහමින් පැමිණි හික්කඩුව වටකර කරාව වාංශිකයෝ හික්කඩුවට නගර සභාවක් දිනා ගත් බවය.

දැන් ඔබට මේ ප්‍රදේශය කේන්ද්‍රගත කුල ක්‍රමය පිළිබඳව යම් වැටහීමක් ලැබෙන්නට ඇත. ඉතිං දැන් අපිට අපගේ මූලික කතාවට නැවත යන්නට ඇහැක් ය.

ඇත්තටම හාමුදුරුවෝ මැරුනද? මැරුව ද?

ඉහත ප්‍රශ්නය මම රත්ගම බොහෝ දෙනෙකුගෙන් ඇසුවෙමි. ඔවුන්ට ඒ සඳහා නෙක පිළිතුරු තිබුණි. එය රෂෝමන් සිහි ගන්වයි. ” හාමුදුරුවෝ එහෙම කා එක්කවත් කතා කරපු ආශ්‍රය කරපු කෙනෙක් නෙවෙයි, පොල්ගස්දූවට වෙලා භාවනා කළා.

ඔරුව පැදගෙන ඇවිත් ගමේ පින්ඬපාතේ වැඩියා. එහෙම අපේ ගෙවල්වලට වැඩියාම වුණත් සීමිත වචන ප්‍රමානයක් තමයි කතා කළේ.

ඉතිං හාමුදුරුවන්ට මේ මොකද වුණේ කියලා හිතා ගන්න බැහැ.” මේ එක් රත්ගම වාසියෙකුගේ හඬය. ඔහුට අනුව හාමුදුරුවන්ට සියදිවි හානිකරගන්නට හේතුවක් නැත. ඒ වගේම හාමුදුරුවන්ව ඝාතනය කරන්නද හේතුවක් නැත. ” හාමුදුරුවන්ගේ මිනිය හම්බවෙන්න කළින් හාමුදුරුවෝ භාවිතා කරපු ඔරුව පරක්කු දූවට පාවෙලා ඇවිත් තිබුණා.

සමහර දවසට එහෙම පාවෙලා එනවා, එතකොට ජිනවංස හාමුදුරුවෝ පීනගෙන ඇවිත් අරගෙන යනවා, ඒ නිසා අපි ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඒත් පහුවෙනිදා හාමුදුරුවන්ගේ සිරුර පාවෙනකොට තමයි අපිත් මේ සිද්ධිය අඳුර ගත්තේ” මේ හඬ පොල්ගස්දූව සහ පරක්කුදූව යන රත්ගම කළපුව මැද දෙදූපත් වලට ඔරු ගමන අරඹන ජැටියට ආසන්නව ජීවත්වෙන ගැමියෙකුගේ ය.

පොල්ගස්දූව සහ පරක්කුදූව යන දූපත් දෙකේම අයිතිය ඇත්තේ බම්බලපිටිය වජිරාරාමයටය. මෙම ආරණ්‍ය සෙනසුන අවුරුදු 100 කට වඩා පැරණි බව දැනගන්නට ඇත. මෙහි වැඩවසන විස්සකට මඳක් වැඩි සඟුන් භාවනානුයෝගීහුය.

එනිසාම ඔවුනට මෙම දූපතට යාබද රත්ගම හෝ දොඩන්දූව සමග හෝ එහෙමට ඇයි හොඳයියක් නැත. ” මේ හාමුදුරුවෝ එක්ක එකටම හිටපු හාමුදුරුවරු කියන්නේ මේ හාමුදුරුවන්ට හොඳටම විෂාධිය තිබුණා කියලා. ඒ හින්දා ගොඩක් අය හිතනවා මේක හාමුදුරෝ විසින්ම කරගන්න ඇති කියලා.

කොහොම වුණත් තවත් පිරිසක් කියනවා මේ කළපුව හරහා අලුතින් ඉදිවෙන පාලම සහ පාර සහ මේ මරණය අතර සම්බන්ධයක් තියෙනවා කියලා.

මොකද මේ අලුත් පාරට මේ පොල්ගස්දූවේ හාමුදුරුවරු විරුද්ධයි.” මේ පොල්ගස්දූව පෙනෙන ඉමේ කටුදම්පේ ගමේ ගැමියෙක් මේ මරණය දකින් අයුරු ය.

හාමුදුරුවන් මානසික තැවුල් සිත නිසා මෙය කරගත්තා ද? දෙපයේ ගල් ගැටගසාගෙන ඔරුවෙන් ගඟට පැන්නා ද? සියදිවි හානිකරගන්නට සිතුනු වෙලාව සහ ඒ සඳහා ගත්වුණ කාලය පිළිබඳව සිතීමේදී හාමුදුරුවන්ගේ සිත නොවෙනස් වීම පුදුමයක් ය!!.

කොහොම වුණත් ඉදිරි කාලයේ දී මේක සියදිවි හානිකරගැනීමක් ද නැතිනම් මිනී මැරුමක් ද යන්නට උත්තරයක් ලැබෙනු ඇති.

මම හාමුදුරුවන් ගේ මරණය ගැන සෙවීම පසෙක තබා රත්ගම කළපුව හරහා අලුතින් ඉදිකරන්නට යෝජිත පාලම සහ එම පාලමට දෙපසින් දැනට ඉදිවෙන මාර්ගය පිළිබඳව කරුණු සොයන්නට වෙහෙසුණි.

මොකද්ද මේ පාර?

රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් කටුදම්පේ ගලගොඩවත්තේ සිට හෙන්නාතොට ගොරකගස් බොක්ක දක්වා රත්ගම කළපුව හරහා මිටර්100ක දිගින් යුතු යකඩ පාලමක් සමගින් කිලෝමීටරයක් ( හික්කඩුව ප්‍රදේශීය සභාව කියන ලෙස) දිග මාර්ගයක් මේ වනවිට ලහි ලහියේ ඉදිවෙමින් ඇත. මම රත්ගම ප්‍රදේශීය සභාවට අයත් කටුදම්පේ ග්‍රාමයේ නිග්‍රෝධාරාම විහාරය අස සිට නව මඟේ ගමන් කළෙමි.

කඩොල් රක්ෂිතයට සමාන්ත්‍රව බොහෝ තැනක කඩොල් කැලේ විනාශ කරමින් පාර කැපී ඇත. යකඩ පාලම ඉදිකරන්නට යෝජිත සීමාවේද ඇත්තේ කොළට කොළ කඩොල් කටු කැලයක් ය. මම ඇවිද ගිය රත්ගම සීමාවේ මාර්ගයට යාව නිවෙස් එහෙමට කියා දකින්නට නැත.

මිනිස් වාසයකුත් නැතිනම් ඇයි මෙහෙම පාරක්? ඇයි ගඟ හරහා පාලමක්? නැඟෙන ප්‍රශ්නය එයයි. ඊළඟ ප්‍රශ්නය රත්ගම ප්‍රදේශීය සභාවට අයත් මේ භූමියේ හික්කඩුව නගර සභාව පාරක් කපන්නේ ඇයි ? මේ පාරට පොල්ගස්දූව ආරණ්‍ය සෙනසුනේ සඟුන් විරුද්ධ වුණේ ඇයි? මම මේ ප්‍රශ්නවලට පිළිතුරු එම ගම ප්‍රජාවගෙන්ම එකතු කළෙමු. ඒ රත්ගම කටුදම්පේ ගලගොඩවත්ත හෙන්නාතොට ආශ්‍රයෙන් ය.

“රත්ගම කටුදම්පේ තමයි මේ ප්‍රදේශයට කියන නම. ප්‍රධාන ගම ඒක. මේ කියන කටුදම්පේ සලාගම සහ කරාව කුලවලට අයිති මිනිස්සු සමව වගේ ඉන්නවා. ඊට අමතරව හින්නා කුලය, දුරාව කුලය, ගොවිගම කුලය වගේ කුලවල මිනිස්සුත් ඉන්නවා.

හැබැයි අපි කිසි ප්‍රශ්නයක් නැතුව මෙච්චර කාලයක් සාමයෙන් සමගියෙන් හිටියා. ඒත් දැන් අපිට ඒක නැතිවෙලා.

ඒකට හේතුව උග්‍ර කුලවාදියෙක් වෙන හික්කඩුව නගර සභාවේ නගරාධිපති විනී කාරියවසම් තමන්ගේ කරාව කුලයේ මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශ දෙකක් යා කරන්න හදන මේ පාලම” මිනිස්සු පාලම් හදන්නේ එකතු කරන්නටය.

එහෙත් කඩොල් රක්ෂිතය ද කඩාගෙන නීතියට පිටින් මේ හැදෙන පාර සහ පාලම මිනිස් බැඳීම් දෙකඩ කරමින් සිටින්නේ කුලවාදය ප්‍රමෝදයට පත් කරමිය.

“කටුදම්පේ මේ පාර අලුතින් කැපෙන රත්ගමට අයිති හරියේ වැඩිපුර ඉන්නේ කරාව මිනිස්සු. ඒ හින්දම පළාත් පාලන ඡන්දයේ දී මේ කොට්ඨාශයට ජනසෙත පෙරමුණෙන් ඡන්දය ඉල්ලපු කරාව මනුස්සයා දිනුවා. රත්ගම කළපුවේ මානන් ඔයට උඩින් තමයි පාලම යනවැයි කියන්නේ. කළපුවේ අනික් පැත්ත තමයි ගොරකාගස් දෙබොක්ක, එහෙත් බහුතරේ කරාව.

ඉතිං විනී කාරියවසම්ට ඕනෑ මේ ප්‍රදේශ දෙක එකතු කරන්න. ඊට පස්සේ මේ රත්ගමට අයිති මේ ප්‍රදේශයත් හික්කඩුවට ඈද ගන්න. මේක රත්ගම ප්‍රදේශීය සභාවේ සභාපතිට තේරෙන්නේ නැහැ. නැත්තං මෙච්චර රත්ගම මිනිස්සු විරුද්ධ වෙද්දි විනී කාරියවසම්ගේ මැර බලයට මෙහෙම පාරවල් කපන්න ඉඩ දෙයිද?

ඔය මනුස්සයාම තමයි කරාව මිනිස්සු වට කරලා හික්කඩුව නගර සභාව හැදුවෙත්. අන්තිමට මිනිහෙක් මරලා හිරේ ගියා. මරණ දඩුවමට නියමවුණා. මහින්ද මහත්තයා තමයි එළියට දැම්මේ. මිනිහගේ මැර දේශපාලනයට පොලීසියත් බයයි.

ඒකයි ඇත්ත.” මේ රත්ගම කටුදම්පේ මැදහත් පුරවැසියෙකු මේ පාලමේ අභ්‍යන්තරයට එබෙන විදිහය.

පාලම ගැන සහ පාර ගැන කතා කරන කරාව වාංශිකයන් කියන්නේ මේ පාර නිසා ඉක්මනින් තමන්ට දොඩන්දූව නගරයට යන්නට ඇහැක් වෙන බවය.

එහෙත් මම කළ නිරීක්ෂණයේදී පැහැදිලි වුණේ කටුදම්පේ මිනිසුන්ට රත්ගම හරහා ද ගොරකාගස් දෙබොක්ක මිනිසුන්ට පින්කන්ද හරහා ද දොඩන්දූවට යන්නට විනාඩි 10ක් පමණ යන බවය. දෙපසම මාර්ග කාපට් අතුරා සංවර්ධනය කර ඇත.

අනෙක් වැදගත් කාරණය වන්නේ දොඩන්දූවට වඩා නාගරීකරණය වූ බිම රත්ගම වීම තුළ රත්ගම කටුදම්පේ කරාව වාංශිකයන් තමන්ට නාගරික අවශ්‍යතා සපුරා ගැනීමට ඉක්මනට දොඩන්දූවට යන්නට මේ මඟ අවශ්‍යයි පැවසීමය.

සාමාන්‍ය ජනතාවගේ මේ අවශ්‍යතාවය විනී කාරියවසම් වැනි උග්‍ර කුලවාදී යැයි කියන මිනිසුන් ඇති කළ හැඟීමක් වන්නට බැරි නැත, අනෙක් පැත්තෙන් මේ කොට්ඨාශයෙන් රත්ගම ප්‍රදේශීය සභාවට පත්ව සිටින නියෝජිත‍යා වන තිලක් පුෂ්පකුමාරට ද මේ පාර අවශ්‍ය වී ඇත.

ඒ ගැන අදහස් දක්වන ගම්මුන් කියන්නේ ඊළඟ ඡන්දයට හික්කඩුව නගර සභාවෙන් මේ ප්‍රදේශයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් මේ පුද්ගලයාට ඇති බවය.

මේ සියලු තත්ත්වයන් මැදහත්ව නිරීක්ෂණය කරන කුලය කරේ ගසාගෙන නොන්ඩි ගසමින් නොඇවිදින මේ බිමේ බහුතරයක් මැද මාර්ගික මිනිසුන් කියන්නේ මේ තත්ත්වය නිසා මේ පාලම හෝ පාර හැදුවොත් එක මේ ප්‍රදේශය තුළ කුල ගැටුමක් වර්ධනය කරනු ඇති බවය.

එනිසා ඔවුන් කියන්නේ මෙවැනි පාරක් සහ කඩොලාන රක්ෂිතය විනාශ කරන පාලමක් අවශ්‍ය නැති බව ය.

පාරක් ඕනෑ

මේ ප්‍රදේශයේ ජීවත් වෙන කුල සමගිය අගයන, අපි එකට සහජීවනයෙන් ජීවත් වෙන්න අවශ්‍ය යැයි සිතන බොහෝ දෙනෙක් මේ පාර අවශ්‍ය නැති බව කියද්දීත් මේ පාර හදන්නේ කාගේ උවමනාවට ද? හික්කඩුව නගර සභාව ප්‍රකාශ කරන්නේ මේ මාර්ගය සාදන්න යැයි රත්ගම සුනන්දාරාමයේ විහාරාධිපති හික්කඩුවේ තිලක හිමියන් ඒ සඳහා විනී කාරියවසම් නගරාධිපතිවරයාගෙන් ලිපියක් මාර්ගයෙන් ඉල්ලා ඇති බවය.

මෙම ලිපිය දුටුවා යැයි ප්‍රකාශ කරන පන්සල ආසන්නයේ ජීවත් වෙන පුද්ගලයෙක් ප්‍රකාශ කළේ, පාලමක් සාදා මේ ගම් දෙක එකතු කරන්න යැයි එමගින් ඉල්ලා ඇති බවය.

මම මේ හිමියන් ගෙන් මේ පිළිබඳව විමසීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. මේ කතාව සත්‍යක් නම් සුනීත සෝපාක පරපුරේ වර්තමානය එය ය. එක ඛේදයක් මය..!

මේ මගට සහ පාලමට පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනාධිපති රත්ගම විවේකවිහාරි හිමියෝ විරුද්ධය. ඒ හිමියන් මේ පිළිබඳව මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ මේ මාර්ගය සහ පාලම නිසා කළපු කඩොලාන සංරක්ෂිත කලාපය විනාශ වෙන බවය.

මේ ගැන අදහස් දක්වන මැද මාර්ගික ගම්මුන් කියන්නේ මේ මාර්ගය නිසා ආරණ්‍ය සේනාසන දෙකෙහි භික්ෂූන්ට හිරිහැර වෙන්නට පුලුවන් බවය.

සාමකාමී පරිසරය මෙමගින් විනාශ වෙනු ඇති බවය. හික්කඩුව නගර සභාව නම් කියන්නේ මේ මාර්ගය නිසා පරිසර විනාශයක් නොවෙන බවය. අනෙක් පැත්තෙන් මේ මාර්ගය නිසා ආරණ්‍ය සේනාසනයට එහි නිසසල බවට හානියක් නොවෙන බවය. මෙය දානපතියන්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වෙන එකක් බවය.

මේ දානපති කතාවේ යටද තිබෙන්නේ කුලවාදයම මිස අන් යමක් නොවෙන බව අප තේරුන් ගත යුතුය. මේ මාර්ගයට යන්නට බොහෝ දුරකට කළින් කඩොල් රක්ෂිතය අරඹයා ඉදිකළ සංරක්ෂණ නාමපෝවරුව දකින්නට හැකිය.

එයින්ද පෙනෙන්නේ හික්කඩුව නගර සභාව කුමක් කීවත් මෙය පරිසර සංහාරයක් බවය. අනෙක් පැත්තෙන් හික්කඩුව නගර සභාව තම සීමාව ආක්‍රමනය කරමින් මෙවැනි පාරක් ඉදිකිරීම දෙස රත්ගම ප්‍රදේශීය සභාවේ සභාපති ටී නිමල් ඇස් කන් වසාගෙන සිටීම ද ප්‍රශ්නයක් ය.

එයට හේතුව විනී කාරියවසම් ගේ මැර දේශපාලන ඉතිහාසය වන්නට බැරි නැත.

එනිසා මධ්‍යම රජය, මේ ප්‍රදේශීය මැර මෙන්ම කුලවාදී ගෝත්‍රික දේශපාලනය පිටුදකිමින් මේ මාර්ගය ඉදිකිරීම නතරකර දැමිය යුතුය. එය රත්ගම සහජීවනයටද හිත්වත් ය.

කේ. සංජීව

www.aithiya.lk

Related posts