ලිංගික උත්තේජනය වැඩි කරන පර්ෆියුම් ගැන ඔබ දැනුවත්ද?

මිතුරු සුළඟක වෙළෙන්න මිතුරු සුවඳක පැටළෙන්න මම ගියා කොළඹ කොටුවේ දෙවෙනි හරස් පාරට. රතු පල්ලියට ඔන්න මෙන්න අහක මගේ මිත්රයා බලාගෙන. මෂීර් අහමඩ්. මට සුවඳවත් මිතුරෙක්. අපි සුවඳ අතර අතරමං වෙන්න කළින් බිරියානි සුවඳේ ගිලුනා.
නියම බිරියානි රස!! ඒ විතරක් ද සුවඳ.. ඉතිං සුවඳ ගැන සුවඳමය කතාවක් පටන් ගන්න නියම තැන මේ හෝටලය. ඒත් බිරියානි සුවඳ ඒ කතාව දැන් ඕනී නෑ කියලා කල්දැම්මා. මෂීර්මය සන්ධ්යාවකට, අපි ගියා මෂීර්ගේ කඩ පොඩ්ඩට. අම්මෝ සුවඳ.. රාක්කවල ඇලුමිනියම් ප්ලාස්ක් උඩට පහළට. එක එක සයිස් එකෙන්. තවත් රාක්කෙක දෙකක පුංචි පුංචි අවුන්ස කුප්පි.
මම මේ ඇවිත් ඉන්නේ පුංචි රසායනාගාරෙකට.. මෙතනට එන කෙනෙකුට එහෙම නොහිතුණොත් තමයි පුදුමේ. මචං උබ මුස්ලිම්, ඒකට උබේ ඉස්කෝලේ ආනන්දේ.. අපි කයිය පටන් ගත්තා..
සුවඳ අතීතයක
‘මෙහෙමයි මචං අපේ පවුලේ පස්දෙනයි. මම බාලයා. අයියලා දෙන්නයි අක්කයි මට වැඩිමල්. අයියලා දෙන්නා කේරි කොලේජ් එකට ගියා. අක්කා පෙස්බෙටේරියන් එකට ගියා. තුන්දෙනාම ඉංග්රීසි මාධ්යයෙන් තමයි ඉගනගත්තේ. 1956 අවුරුද්දේ වුණ වෙනස එක්ක තාත්තා බය වුණා ඉංග්රීසියෙන් ඉගනගෙන වැඩක්වෙයිද කියලා. අපේ තාත්තා ගුරුවරයෙක්. එයා මාව ආනන්ද කොලේජ් එකට දැම්මා.
ඉතිං මම එදා ඉඳලා වැඩපුර ගැවසුණේ සිංහල අය එක්ක. අදටත් එහෙමයි’ මෂීර් එහෙම තමයි ජීවිතය පටන් අරගෙන තියෙන්නේ. ආනන්දේ සිංහලයෝ අස්සේ සිංහලෙන් ඉගනගත්ත මෂීර්ට දැන් මිනිහගේ ජීවිතේ ඉදිරිය ගැන පැහැදීමක් නෑ. ඒ දැන් රැල්ලට ගහගෙන යන අලුත් දේශපාලනය හින්දා. මෂීර් වගේ නෙවෙයි ගොඩක් මධ්යස්ථ මුස්ලිම්වරුන්ට දැන් ගෙවෙන කාලය ප්රශ්නයක්.
සමාජය ගැන දැනෙන බිය අලුත් වීමම තමයි දැන් ජීවිතය. ඉතිං ඒ බිය පොඩ්ඩකට පැත්තකට කරලා මෂීර්ගේ සුවඳමත් රස්සාව ගැන කතාකරන්න හිතුවා.
උබ පර්ෆියුමර් කෙනෙක්?
‘ නෑ මචං මම පර්ෆියුමර් කෙනක් නෙවෙයි. අම්මෝ..’ මෂීර් කියන්නේ ඒ වචනය තමන්ව හඳුන්වන්න බර වැඩියි කියලා. ඔව් ඒක ඇත්ත. මේ පොඩි සුවඳසැලේ මෂීර් මොකෝ කරන්නේ?.. ඉතිං අපි මෂීර්ගේ සුවඳ කඩේ ගැන කතාව පටන් ගත්තා ඔන්නොහොම..
‘මම මුලින්ම රසායන කර්මාන්තයට තමයි මචං සෙට් වුණේ. ඒ ලැබුණු අත්දැකීම් එක්ක තමයි මචං මම මේ ෆෙගරන්ස් කර්මාන්තයට සෙට් වෙන්නේ. ෆෙගරන්ට් වලින් තමයි පර්ෆියුම් හදන්නේ. මම කොහොමත් පුංචි කාලේ ඉඳලා සුවඳට ලොල්. මම හිතනවා මගේ නහය ටිකක් විතර අනික් අනික් අයගේ නහයවල්වලට සාපේක්ෂව දියුණුයි කියලා.
සාමාන්යයෙන් මිනිහෙකුට සුවඳ වර්ග 2000ක් විතර වෙන්කරලා හඳුනාගන්න පුලුවන්. ඒ වගේම ඒ සුවඳ මතකයේ තියාගන්නත් පුලුවන්. හැබැයි පර්ෆියුමර් කෙනෙක් නැත්තං සුවඳ විලවුන් නිපදවන්නෙක්ට පුලුවන් සුවඳ වර්ග විසි දාහක් විතර මතකයේ තියාගන්න.
ඉතිං මටත් පර්ෆියුමර් කෙනෙක් නොවුණත්, සෑහෙන්න ප්රමානයකට සුවඳ මතකයේ තියාගන්න පුලුවන්. ඉතිං ඒ නිසාම මම අද පුංචියට පර්ෆියුම් ව්යාපාරයක් කරගෙන යනවා. මම අද තුර්කියෙන්, ප්රංශයෙන් එක එක ෆෙගරන්ට්ස් වර්ග ගෙනල්ලා මෙහේ පර්ෆියුම් හදනවා’. අපේ මිත්රයාගේ සුවඳ බෙදන රස්සාව ගැන දැන් සුවඳ ඔයාලට දැනෙන්න ඇති කියලා හිතනවා. මේ කර්මාන්තේ අපිට ටිකක් අලුත් හැබැයි ලෝකයට මේක ගොඩාක් පරණ කර්මාන්තයක්.
සුවඳ ඉතිහාසය
‘මේක මචං ක්ලියෝපැට්ට්රාගෙ කාලෙ ඉඳලා තියෙන දෙයක්. පාරාවෝ රජවරුන් මැරුණහම මමී කරනකොට සුවඳ පාවිච්චි කළා. ලොකු ගඳක් වහන්න ලොකු සුවඳක් ඕනී. එතකොට සෑහෙන්න සැර සුවඳ වර්ග පාවිච්චි කළා’ මේ සුවඳ දූම වළාව පාවෙලා එන්නේ අතීත ඊජීප්තුව පැත්තෙන් කියලා තමයි මෂීර් කියන්නේ. පර්ෆියුම් ඉතිහාසය ගැන පොඩ්ඩක් අන්තර්ජාලයේ රවුමක් ගැහුවහම අපේ යාළුවාගේ කතාවට සමාන කතාවක් තමයි එන්නේ.
පර්ෆියුම් කියන වචනය එන්නේ ලතින් භාෂාවෙන්. Perfumare කියන වචනය තමයි මුල. සුවඳ ආග්රහනය වගේ තේරුමක් තමයි මේ වචනයට තියෙන්නේ. නැත්තං සුවඳ බීම. හැබැයි නහයෙන් රජෝ!! අන්තර්ජාලය කියන විදිහට මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය, ඊජීප්තු ශිෂ්ඨාචාරය, ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය, සමහර වෙලාවට මීට සමගාමී චීන ශිෂ්ඨාචාරය අස්සේ මේ නහයට රස ගන්න පර්ෆියුම්මය කලාව පැවතිලා තියෙනවා.
හැබැයි ඉතිං මේක අද මට්ටමට උස්සගන්න ලොකු වැඩක් කළේ රෝමන්වරු සහ අරාබිවරු. අරාබිවරු සහ සුවඳ අතර තියෙන සම්බන්ධය ගැන අපේ මෂීර් කියන්නේ මේවගේ කතාවක්.
‘ අපේ ආගම සුවඳ දිහා බලන්නේ ඕපන්ව. සුවඳ හොඳට පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. කුරානයේ, අදීෂ්වල, මොහොමඩ් නබීතුමාගේ ජීවිතේ සුවඳ ගැන තියෙනවා. අදීෂ්වල කියලා තියෙනවා කියනවා සුවඳ වර්ග මිලදී ගැනීමට සීමාවක් නැහැ කියලා. ඒ හින්දා ඉස්කෝලේ යන පොඩි ළමයාගේ ඉඳලා පර්ෆියුම් පාවිච්චි කරනවා.’
සුවඳ හිදිමු
පර්ෆියුම් කියන ප්රසිද්ධ චිත්රපටිය බලනකොට සුවඳ හිඳින විදිහ ගැන පේනවා. රෝස මල් ගුදම්වලට දාලා බොයිලේරුකරණය කරලා හුමාල ආසවනයෙන් තමයි සුවඳ බිංදු බිංදු ගන්නේ. අපි කසිප්පු පෙරණවා වගේ කතාවක්! මෙහෙම හිඳින්නේ පියෝ ෆෙගරන්ට් එක.
නැත්තං ඔයිල් එක. තෙල කියලා කියන්නත් පුලුවන්. අපි හිඳින කුරුඳු තෙලත් හොඳ පර්ෆියුම් එකක් කිව්වොත් ඒක වැරදි නැහැ. මේ තෙල ටිකක් සැර නිසා ඇල්කොහොලින් මාත්තු කරලා තමයි පර්ෆියුම් හදන්නේ..
‘ මිශ්රවෙන ප්රථිශතය අනුව තමයි පර්ෆියුම් වෙන්නේ.
ෆෙගරන්ට් එක නැතිනම් සුවඳ තෙල 25%කට වැඩිය වැඩි වෙනවනම් තමයි පර්ෆියුම් වෙන්නේ. එතකොට ඉතිරි 75% ඇල්කොහොල්. අපි එතකොට කියනවා EDP 75%යි කියලා. EDටොයිලට් EDක්ලෝන් කියලා තව වර්ග තිබෙනවා. ඒවායේ සුවඳ සාන්ද්රණය අඩුයි.
ආප්ටර් සේව් වගේ එකක් ගත්තොත් සුවඳ තියෙන්නේ 2%ක් විතර. දැන් ඇත්තමට ස්භාවිකව හිඳින එක ගොඩාක් අඩුයි. දැන් සුවඳ වුණත් කෘතීමව තමයි හදන්නේ. ඒක ලාභයි. මට හිතෙනවා දැන් මේ ලෝකේ තියෙන ඔක්කොම සුවඳ වර්ග සහා ඒවායේ සංයුතිය සොයාගෙන තියෙන්නේ කියලා.
ඉතිං හදන්න අමාරු නැහැ. ගොඩාක් වෙලාවට අලුත් ඒවා කියලා දැන් එන්නේ පරණ ඒවා නැත්තං මික්ස් කරලා හදපු ඒවා.’ මේ කතාව අස්සේ මෂීර්ගේ පාරිභෝගිකයෙක් සුවඳ කුප්පියක් ගන්න ඇවිත්. එක එක සුවඳ පානවා. මිනිහට සුවඳ මතක නෑ. අන්තිමට මෂීර් මිනිහගේ ෂර්ට් එක ඉබලා බලනවා. වැඩේ හරි! මෙන්න කලින් වතාවේ අරගෙන ගිය බඩු!! ඊළඟට ඇලුමිනියම් ප්ලාස්ක් එකෙන් සුවඳ තෙල චූටී බෝතලයට පෙරණයෙන් වැටෙනවා. එහෙමයි වැඩේ යන්නේ.
වරකා සුවඳ
මචං මට ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් හිටියා මට මේකි ළඟින් එන්නෙම වරකා සුවඳ.. අද වුණත් මතක් වෙනකොට ඉස්සෙල්ලම මතක් වෙන්නේ වරකා සුවඳ..හිනාවක් එක්ක මෂීර් උත්තර දෙනවා.
‘ උබේ කතාව හරි. අපි හැවෝටම සුවඳක් කියලා දෙයක් තියෙනවා. ඒක, එක්කෙනාට එක්කෙනාට වෙනස්. ඊළඟට අපි පර්ෆියුම් එකක් පාවිච්චි කළා කියමු. එකම පර්ෆියුම් එක පාවිච්චි කළත් එන සුවඳ වෙනස්. ඒක වෙන්නේ බොඩි කෙමෙස්ට්රියට අනුව. උබ රෑට ගල් ගැහුවොත් උදේට මාර ගඳයි නේද? සුවඳ තමයි මචං මේ ලෝකේ තියෙන ප්රබලම දේ. අපි කවුරු හරි මුලින්ම දකිනවා කියමු.
අපිට ඒ මනුස්සයා මතක තියෙන්නේ සුවඳින්. බසෙකේ කෙල්ලෙක් හම්බවෙනවා, එකම එක දවසයි. හැබැයි සමහර වෙලාවට ඒ කෙල්ලගෙ ළඟ තැවරිලා තියෙන සුවඳ සඳාකාලයටම ඔයා ළඟ තියෙනවා මචං’. අපේ සුවඳ කතාව ආදරණීය වෙනවා.
මිනිස්සු ළඟ තියෙන පුසුබ තව තවත් සුමියුරු කරලා, දැක්ක ගමන් කන්න හිතෙන, ඉබගෙන ඉබගෙන යන්න හිතෙන හැඟීමක් සුවඳට අපේ හිත් අස්සේ හදන්න පුලුවන්. ඒක තමයි පර්ෆියුමක තියෙන ගුණය. ඉතිං තවත් මාරම ගුණයක් තමයි ප්රේමයෙන් වෙලිලා රති සැපේ ගිලුනාම ගොඩ එන්නම බැරිවෙන්න ආගාධයටම ඇදගෙන යන්න මේ පර්ෆියුමට තියෙන හැකියාව. හැබැයි ඉතිං ඒකට හරියට හරියන පර්ෆියුම් එකක් තෝරගන්න වෙනවා.
පිරිමි සුවඳ ගැහැනු සුවඳ
‘ මෙහෙමයි මචං අපිට අනික් දේවල්වලට වගේම පර්ෆියුම්වලටත් කල්චර් එකක් නැහැ. ලෝකයේ ගැහැනුන් ට වෙනම, පිරිමින්ට වෙනම කියලා පර්ෆියුම් හදනවා. ඒ මොකද ගැහැනු ආකර්ෂණය වෙන සුවඳවල් වෙනයි, පිරිමි ආකර්ෂණය වෙන සුවඳවල් වෙනයි. හැබැයි ලංකාවේ පිරිමි ගොඩාක් පාවිච්චි කරන්නේ ගෑනු පාවිච්චි කරන සෙන්ට්ස්. මේක ලෝකයේත් තියෙන දෙයක්.
මම උනත් එච්චර මේ වර්ගීකරණයට කැමති නැහැ. මොකද එතකොට ඒක මගේ බිස්නස් එකට හොඳ නැහැ. අපේ පිරිමි දැන් ගොඩාක් මල් සුවඳට, ඒ කියන්නේ රෝසවලට ජස්මීන්වලට කැමතියි. හැබැයි අපි ලිංගික උත්තේජකයක් විදිහට පර්ෆියුම් එකක් පාවිච්චි කරනවනම් අපිට ඒ තෝරා ගැනීම කරන්න වෙනවා.
මුලින්ම පර්ෆියුම් එකක් අපි පාවිච්චි කරන්නේ අපි පිරිසිදුයි කියන්න. ඊළඟට තමයි මේ කියන දේවල්වලට අපි යන්නේ. සියළුම පර්ෆියුම් සෙක්ෂුවල් කියන කොටසට කතාකරනවා’.
ඇයි මචං මුස්ලිම් පිරිමි ළඟින් දරුණු සුවඳක් එන්නේ? මම අමතර ප්රශ්නයක් අතාරිනවා. මිනිහා හිනා වෙනවා. සුවඳ හැමතැනම.
‘ අපේ පිරිමි, දඩ පිරිමි සුවඳවල් තමයි මචං පාවිච්චි කරන්නේ. ඒවා ගොඩාක් වෙලාවට වල්ලපට්ට ආශ්රිත නිශ්පාදන. මීට අමතරව කංසා ටුබැකෝ වගේ දේවල් පාවිච්චි කරලා මේ පිරිමි සුවඳවල් නිශ්පාදනය කරනවා. මේවට පිරිමි කැමති නැතිවුණාට ගැහැනු කැමතියි. සෙක්ෂුවල් ඇටෑක්ෂන් කියන එකත් එක්ක ගත්තහම, ෆැරන්හයිට් කියන පර්ෆියුම් එක හදලා තියෙන්නෙම ඒකට. හරි ජනප්රියයි.
දැන් ටොම් පෝඩ් ලා අලුතින් හදලා තියෙනවා පර්ෆියුම් එකක් ඒකේ නම ෆකින් ෆැබියුලස්. මේකෙන් වහනය වෙන්නේ ලිංගිකව එක්වීමෙදී එන සුවඳ නෙවෙයි. ලිංගිකත්වය සුවඳ අස්සේ උත්කර්ෂයට නග්ගන්නේ මෙහෙමයි. මේවා පිරිමින්ට තියෙන පර්ෆියුම්, සැනෙල් 5 (chanel 5) පර්ෆියුම් එකක් ගත්තොත් ඒක ගැහැනු අයට. මේ පර්ෆියුම් එකත් ලිංගික උත්තේජනය කියන කතාවත් එක්ක ජනප්රිය වුණ පර්ෆියුම් එකක්. තව ගොඩාක් තියෙනවා. මේ සමහර පර්ෆියුම් සෑහෙන්න මිල අධිකයි.
ලෝක ප්රසිද්ධ ගැහැනු පර්ෆියුම් එකක් තමයි කැබටයින් ඩී ග්රාස් කියන එක. මේ පර්ෆියුම් එක ලංකාවට ආවා සාධා කියලා නමකින්, පිරිමි අතර තමයි ජනප්රිය වුණේ. ලෝක ප්රසිද්ධ අපේ පිරිමි අතර ප්රසිද්ධ අඩිඩාස් පර්ෆියුම් එක යුරෝපයේ එහෙම පාවිච්චි කරන්නේ ට්රාන්ස් ජෙන්ඩර් කට්ටිය. ඕක තමයි ලෝකයේ පර්ෆියුම් කල්චර් එකයි ලංකාවේ කල්චර් එකෙයි වෙනස’.
උබ ගාව දැන් ඔය කියන ෆැරන්හයිට් වගේ පර්ෆියුම් තියෙනවද? මම අහනවා. ඔව් ඔව් කින්ඩි හිනාවක් තමයි ඉතිං..! ‘මම ළඟ මේ ජනප්රිය බ්රෑන්ඩ් හැම එකක්ම තියෙනවා. හැබැයි මචෝ ඒ බ්රෑන්ඩ් එක නෙවෙයි. ඒ සුවඳ තමයි මම ළඟ තියෙන්නේ.’
සුවඳ හදන සුවඳ මිනිස්සු
‘ අලුත් අලුත් පර්ෆියුම් ලෝකයට දෙන්නේ පර්ෆියුමර්. හැබැයි මිනිහා ඉන්නේ තිරය පිටිපස්සේ. ගොඩාක් වෙලාවට මිනිස්සු අඳුරගන්නේ ඩිසයිනර්. නැත්තං ප්රොඩක්ට් එක එළියට දාන කම්පැනිය. මේ බලපං (ඇලුමිනියන් ප්ලාස්කෙකක් අරගෙන ඒකේ මූඩිය මට දික්කරන ගමන්) මේකේ නම බකාරච් රූත්. බකාරත් කියන ක්රිස්ටල් ග්ලාස් මැනිපැක්චරින් කොම්පැනිය එයාලගේ අවුරුදු 75හේ සැමරුමට තමයි මේ පර්ෆියුම් එක හදන්නේ.
මේ කම්පැනිය මේක හදන්න ප්රැන්සිස් කුර්කුජාන් කියන ආමේනියන් පර්ෆියුමර් ගෙන්නනවා. මිනිහා තමයි කාෂ්මීර්වල තියෙන සැප්රෝන් කියන මල් වර්ගය පාවිච්චි කරලා මේ පර්ෆියුම් එක හදන්නේ.
දඩ පිරිමි සුවඳක් තමයි එන්නේ. මේක කෑලි 250යි මුලින්ම හදන්නේ. එක කෑල්ලක් ඩොලර් 4500 ගානේ තමයි විකුණන්නේ. ඊට පස්සේ හදන්නේ නෑ කියලා හිටියට මේක ජනප්රිය වුණ නිසා නොහදා ඉන්න බැරිවෙනවා.’ මේ විදිහට කතාව යනකොට මට හිතුනා කැනබි නැතිනම් කංසාවලින් හදන ‘දඩ පිරිමි සුවඳ’ කියන මර්ෂියානු වදනින් අර්ථ ගැන්වෙන පර්ෆියුම් නැද්ද අහන්න..
කිල්යාන් කියන පර්ෆියුමර් හදනවා ස්මෝක් කියලා පර්ෆියුම් එකක්. ඒක තනිකරම කැනබි වලින් තමයි මචං හදලා තියෙන්නේ. මේක ගහගෙන ලංකාවෙ එහෙම පාරෙ ගියොත් ෂුවර් එකටම කූඩුවට දානවා මල් ගහලා කියලා. ඔයවගේ ඕනීම සුවඳකින් අද පර්ෆියුම් තියෙනවා’
මෂීර් කියන විදිහට මිනිස්සු ඇපල් සුවඳ, ස්ටෝබරි සුවඳ, බීඑම්ඩබ්ලිව් සුවඳ, බෙන්ස් සුවඳ වගේ දේවලුත් ඇගට හලාගෙන පාරේ යනවා. ඒක තමයි සුවඳට මිනිස්සු අස්සේ තියෙන කැමැත්ත. කාර් එකක් ගත්තොත් ටොයෝටා එකට වෙනම සුවඳක් තියෙනවා. එතකොට මේ බ්රෑන්ඩ් එක මුලු ඇගටම අරගෙන ඉන්න ජීවිතයක්, ඒ සුවඳ මේ වගේ සුවඳසලකට ඇවිත් ඇගට හලාගන්න එක පුදුමයක් නෙවෙයි. ඒක ඇත්තක්. ඊළඟට අද මේ සුවඳ රසායන කර්මාන්තය තවත් කර්මාන්ත එක්ක බැඳිලා.
‘ මා ළඟ තියෙනවා මේ බලහං කෝපි සුවඳ. මේ සුවඳට අපි කුල්මත් වෙනවා. මේක රෙස්ටූරන්ට් එහෙම යූස් කරනවා. ඊළඟට මේක, බලපං පාන් පොරණුවක සුවඳඑන්නේ. අවන් එකේ පාන් පුච්චලා මේක ගහලා විකුණනකොට විකිණෙනවා උණු කැවුම් වගේ. ඒක තමයි සුවඳට තියෙන බලය. හැම දෙයකටම සුවඳක් තියෙනවා. වතුර කිව්වහම අපි කියන්නේ සුවඳක් නෑ කියලා.
නෑ එහෙම නෑ ඒකට සුවඳක් හදලා තියෙනවා. ඒ සුවඳ අපිට දැනුනහම අපි වතුර එක්ක ඉන්නවා වගේ හැඟීමක් තමයි එන්නේ. සුළඟට, තණකොළවලට, මුහුදට මේ හැමදේකටම සුවඳක් තියෙනවා බය කියන හැඟීමට සුවඳක් තියෙනවා. ඒක හදලා තියෙන්නේ බන්ගි ජම්ප් කියන ක්රීඩාව කරපු ක්රීඩකයින්ගේ ජැකට් එකේ තිබුණ දහඩියෙන්. ඒ වගේ හැඟීමටත් සුවඳක් තියෙනවා’.
මෂීර් කියන්නේ සුවඳ හරිම ප්රබලයි කියලා. මටනම් සුවඳ කියන්නේ මතකයක්. මට අම්මා මතකයට එනකොට එයා ළඟින් වහනය වෙන සුවඳ මතකයට එනවා. ඒක තමයි සුවඳේ බලය. ඔව් මටත් දැන් හිතෙනවා සුවඳ තමයි සුවඳ කියලා!!!.. ඉතිං සුවඳට ආසනම් ඔබටත් පුලුවන් දෙවෙනි හරස් වීදියේ මෂීර්ගේ සුවඳසලට ගොඩවෙන්න.
ආ කියන්න අමතක වුණා මෂීර්ම හදපු පර්ෆියුම් හතරක සුවඳ හතරකුත් මේ සුවඳසලේ අලවියට තියලා තියෙනවා. ඊට අමතරව ලෝකයේ බ්රෑන්ඩඩ් ඕනීම සුවඳක් මෂීර් ළඟ තියෙනවා. හැබැයි ඒ නම නැතුව..
යමං පුතා…

Related posts

Leave a Comment