LPL සංවිධායකයන්ට ෂොයිබ් මලික්ගෙන් ප්‍රණාමය

ලොව පුරා දරුණු වසංගතයක් පැතිරයමින් බිලියන ගණන් ජනතාව භීතියට පත්ව සිටියදී දැවැන්ත ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීම පිළිබඳ ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයන් පැසසුමට ලක්කළ යුතු බව පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ෂොයිබ් මලික් පවසයි.

රූපවාහිනිය ඔස්සේ මිලියන ගණන් ජනතාව මේ තරගාවලිය නරඹා මානසික ආතතිය මඟ හරවා ගන්නා හෙයින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සංවිධානයට දිරිදුන් රජයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තම ගෞරවය පුද කරන බව ෂොයිබ් මලික් පැවසීය.

“ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ගුණාත්මකභාවය ඉතා හොඳයි. ලබන වසරේ සිට මේ තරගාවලියට තවත් විශාල නම් ඇති ක්‍රීඩකයන් එක්වන බව මට විශ්වාසයි.

මේ දුෂ්කර කාලයේ මේ තරගාවලියට භාවිතා කරන්නේ එක් ක්‍රීඩාංගණයක් පමණයි.

ලබන වසරේ සිට අප සියලු දෙනා මේ වසංගතයෙන් මිදී රටපුරා ක්‍රීඩාංගණ කිහිපයකදී ක්‍රීඩා කරද්දී රටම ක්‍රිකට් සැණකෙළියක් වනු ඇතැයි මා සිතනවා. එවිට වැඩි පිරිසක් ක්‍රීඩාංගණවලට පැමිණ ක්‍රීඩකයන් දිරි ගන්වමින් මේ තරගාවලියට අලුත් ජීවයක් එක් කරයි” මලික් පැවසීය.

පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ෂොයිබ් මලික් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

ලොව පුරා විවිධ ස්ථානවල සිට මාධ්‍යවේදීන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ෂොයිබ් මලික් වෙත ප්‍රශ්න ඉදිරිපත් කළ අතර, ඒවාට එසැණින් පිළිතුරු ලැබුණි.

Related posts