rajapaksha

ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්‍ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි.

එහෙත්. ප්‍රධාන නළුවා වන මහින්ද රාජපක්ෂ එළිපිටම ගේමේය. අසන්නට සිදුවී තිබුණු අපවාද නිසා ඔහු යම් දුරකට මානසිකව පසුබා තිබෙන බවක් පෙනුණ ද, ශාරීරික හේතු නිසා අමාරුවෙන් කළ පසුගිය ජාතිය ඇමතීමෙන් පෙන්නුම් කළේ ඔහුගේ සටන්කාමීත්වයයි. ඔහු පෙන්නුම් කළේ රාජපක්ෂ පවුලේ තිබෙන ආක්‍රමණශීලී ස්වභාවයයි. ඒ අනුව, ඔවුන් බලය හැරයන්නට සූදානම් බවක් නොපෙනේ.

අරගලය දිග්ගැසුණු එකක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එහි අක්ෂයන් ගණනාවකි.

  1. ගෝල්ෆේස් මහජන අරගලය: දැන් එය අතිවිශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ. පක්ෂ දේශපාලනයෙන් පරිබාහිරව ජනතාව එය සමග එකතුවෙමින් සිටිිති. එහි අවිධිමත් නායකත්වයක් නිර්මාණය වෙමින් තිබේ. එම නායකත්වය නව දේශපාලන ව්‍යාපාරයක නායකත්වය බවට පත්විය යුතුය. එහි සිටින ඉතා දේශපාලනික යයි ප්‍රකාශ වන තරිඳු උඩුවරගෙදර වැනි අයගේ සිට, ඔවුන් දේශපාලනික නොවේ යයි කියන තරුණ ව්‍යවසාකයකු හා වෘත්තිකයකු ද, යූටියුබර්වරයකු ද වන රැට්ටා වැනි අය දක්වා අයට එකට වැඩකිරීමේ හැකියාව සහිත නායකත්ව ව්‍යුහයක් සකස්කරගත යුතුය. එහෙත්, නායකත්වය යනු හුදෙක්ම සමාජ මාධ්‍ය හරහා පෙනීසිටින අය පමණක් නොවිය යුතුය.
  2. රට පුරා විවිධ මහජන උද්ඝෝෂණ ව්‍යාපාර: මේවා ස්වේච්ඡාවෙන් විවිධ තැන්වල විරෝධතා, පෙත්සම් අත්සන් කිරීම් ආදී විවිධ ආකාරයෙන් සිදුවේ. ඒවාට මාධ්‍ය ආවරණය අවශ්‍යය.
  3. විරෝධතා උද්ඝෝෂණ; ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගය විසින් කරනු ලබන උද්ඝෝෂණ මෙම අරගලයේදී අතිශය වැදගත් භූමිකාවක් ඉටුකරයි. සමගි ජන බලවේගයට ද එවැනි උද්ඝෝෂණ පැවැත්විය හැකිය.
  4. පාර්ලිමේන්තුවේ විශ්වාසභංග, දෝෂාභියෝග ආදී ප්‍රයත්නයන්: දැනට මේවා සාර්ථකත්වයෙන් අඩුය. ඒවායින් ඇතැම්විට රාජපක්ෂලාට වාසි ද විය හැකිය. එහෙත්, උත්සාහයන් අත්නොහළ යුතුය.

දැනට පවතින තත්වය තුළ, මෙම අරගලයේ විප්ලවීය ස්වභාවය පවතින්නේ ප්‍රාථමික මට්ටමකය. එසේම අරගලය නීතිමය රාමුව තුළ ජයග්‍රහණය කරා යොමුකිරීම ද පහසු නැත. තවම එහි මූලික පදනම වන්නේ, ආර්ථික අර්බුදය හමුවේ රාජපක්ෂලා බලය අතහරිනු ඇත යන අපේක්ෂාවයි. එහෙත්, එය සිදුවන්නේ නැත.

බලය අත්හැරීම රාජපක්ෂලාගේ දේශපාලන මෙන්ම ආර්ථික පැවැත්මේ ද අවසානය වීමට ඉඩ තිබේ. ඔවුන් සතු යයි අනුමාන කරනු ලබන රටින් බැහැර සඟවා තිබෙන ධනය පවා ඔවුන්ට ද, රටට ද අහිමි විය හැකිය. ඔවුන්ට බලයෙන් පිටවීමේ ආරක්ෂිත මාර්ගයක් නොමැතිකම නිසා ඔවුන්ට ද වෙනත් විකල්යක් නැත. එහෙයින් ඔවුන් බලය අත්හැරීමට කිසිසේත්ම එකඟවන්නේ නැත.

රාජපක්ෂවරුන් තම පවුලේ ඉතා විශ්වාසවන්ත අයෙකුගෙන් බාහිර වෙනත් කිසිදු පාර්ශ්වයකට හෝ බලය හුවමාරු කිරීමට කැමැත්තක් දක්වන බවක් නොපෙනේ. එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයෙන් කෙනෙකුට ඉදිරිපත්වීමට ඉඩදෙන බවක් ද නොපෙනේ. ඩලස් අලහප්පෙරුම වැනි අයෙකුට කිසියම් මහජන විශ්වාසයක් ගොනුකරගත හැකි වුව ද, රාජපක්ෂ පවුලේ අය එයට එකඟ නොවනු ඇත. ඔවුන් රාජපක්ෂ පවුලේම චමල් රාජපක්ෂටවත් නායකත්වය ලබාදීමට එකඟ වේද යන්න සැක සහිතය.

එහෙයින් ඔවුන් ලබන සතිය වන විට කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමට නැවත උත්සාහ කරනු ඇත. එපමණක් නොව, යම් යම් මර්දනකාරී ක්‍රියා ද බලාපොරොත්තු විය යුතුය.

ඔවුන් සතු වාසිය වන්නේ ඔවුන් 69 ලක්ෂයක ජනවරමක් සහිත ජනාධිපතිවරයකු හා තුනෙන් දෙකේ බලයක් ලැබුණු පාර්ලිමේන්තුවක් සහිත බලවේගයක් වීමයි. දැනට පවතින ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලින් පමණක් එයට අභියෝග කිරීම පහසු නැති බවක් දක්නට ලැබේ. නුදුරු අනාගතයේදී මහ මැතිවරණයක් පැවැත්වීමට නීතිමය හැකියාව ලැබේ. එහෙත්, විපක්ෂ අසමගිය හමුවේ ආණ්ඩුවට වාසි සිදුවීමේ ඉඩක් ද තිබේ. ආණ්ඩුවේ ද පූර්ණ සමගියක් නොපවතිනු ඇත.

එහෙත්, රට තුළ රාජපක්ෂවරුන්ට මහජන සහයෝගය බලමුළුගන්වාගැනීම සඳහා වාසිදායක තත්වයක් නැත. දැනට ඔවුන්ගේ මූලික බලාපොරොත්තු වන්නේ ඉන්දියාවේ හා චීනයේ සහයෝගයන්ය. මේ රටවල් දෙක අතර ලංකාව සම්බන්ධයෙන් තිබෙන තරගකාරීත්වය ඔවුන්ට වාසිදායක වී තිබේ. එහෙත්, ලංකාවට තිරසරව මෙම අර්බුදයෙන් ගොඩඒමට නම්, පරිභෝජනය නොව නිෂ්පාදනය වෙත අවධානය යොමුකළ යුතුය.

කෙසේ වෙතත්, ලංකාවට අලුත් පාලනයක් අත්‍යවශ්‍යය. රාජපක්ෂලා බලයෙන් පහකිරීම පමණක් නොව, සමස්ත රාජපක්ෂ ක්‍රමයම වෙනස් කළ යුතුව තිබේ. එසේ නොමැතිව ලංකාව මේ ආර්ථික අගාධයෙන් ගොඩගැනීම හෝ රට ගොඩනැගීම කෙරෙහි බලාපොරොත්තු තැබිය නොහැකිය.

ආණ්ඩුව පැන්නීමේ උද්ඝෝෂණ රැල්ල අලුත් වටයකින් වඩා ශක්තිමත් ලෙස ඉදිරියට ගත යුතුය. මහජන උද්ඝෝෂණය සාර්ථක අන්දමින් ඉදිරියට යනු දක්නට ලැබේ. එය ආරක්ෂා කරගත යුතුය. එතැනින් එහාට වගකීම්වලින් වැඩිහරියක් විපක්ෂයට පැවරේ. විපක්ෂය සමගි වීම අත්‍යවශ්‍ය තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. කිසිවකුට පහසුවෙන් බලය ලැබෙන්නේ නැති බව දැන්වත් අවබෝධ කරගත යුතුය.

අජිත් පැරකුම් ජයසිංහ

 praja.lk

Similar Posts