ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලිපියක් නිකුත් කළ බවත් එම ලිපිය ඉන් ඔබ්බට යාමට ඉඩ නොදී නතර කරනු ලැබුවේ තමන් විසින් බවයි.

පසුගිය රජයේ ප්‍රභලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවන බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ආණ්ඩුව තුළින්ම බරපතළ චෝදනා එල්ල විය. විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් ඡායාරූප සහිතව නිශ්ශංක සේනාධීපති සමග සම්බන්ධතා පවත්වන බවට චෝදනා කරන ලදී. පසුව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීන් විසින් පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන බවට බරපතළ ලෙස චෝදනා එල්ල කරන ලදී. පසුව පසු පෙළ මන්ත්‍රීන් විසින් ඔහුව ඇමති ධූරයෙන් ඉවත් කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහට බල කරමින් අභ්‍යන්තර අරගලයක් කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුව ඉවත් කිරීමට අගමැතිගේ උපදෙස් මත ජනාධීපතිවරයා කටයුතු කරන ලදී. ආණ්ඩුව සමග ඔහුගේ ගැටුම ආරම්භ වන්නේ එතැන් සිටය.

අද දින විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන බවත් රට වටේම ගොස් ගෝටාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කටයුතු කරන බවත්ය. කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් 26 දින සිදුවූ අගමැතිවරයා මාරු කිරීමේ සිදුවීමේදී පාර්ලිමේන්තුවේ සහය නොලැබූ බලහත්කාරී ආණ්ඩුව තුළද විජේදාස රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙමින් අමාත්‍යධූරයක් ලබා ගන්නා ලදී.

 

Similar Posts