බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී  ආරම්භ විය. බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය ලබන (28) වැනිදා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත වන අතර සති අන්තයේදී පැය 24ම විවෘතව පවතී.

මේ ප්‍රදර්ශනය පිළිබඳ බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැක්ලින් මෙසේ පවසයි.

“මේ ප්‍රදර්ශනය රැගෙන ලොව පුරා යෑමේ අපේ අරමුණ කියවීමේ පුරුද්ද වැඩි කිරීම සඳහා තත්වයෙන් උසස් පොත් මිලදී ගත හැකි ලෙස පාඨකයා වෙත ළං කිරීමයි. මිනිසුන් දැනුමෙන් බලගැන්වීමේ හා ප්‍රබෝධවත් කිරීමේ ශක්තිය පොත්වලට තිබෙනවා. අප ඒ සඳහා වේදිකාවක් සපයනවා.

පසුගිය දශකයෙහි බොහෝ ළමා පාඨකයන් අපේ පොත් සල්පිලෙන් තම පළමු පොත මිලදී ගනු අප දැක තිබෙනවා. ඔවුන් හොඳ කියවන්නන් බවට පත් වී සිටීම අපට සතුටක්. මේ නිසා බිග් බෑඩ් වුල්ෆ් ලොව පුරා ප්‍රසිද්ධයි. එය තෙවැනි වරට කොළඹට ගෙන එන්නට ලැබීම සතුටක්.”

මෙවර පොත් ප්‍රදර්ශනයෙහි එක් විශේෂත්වයක් වන්නේ AR BOOKS නමින් ප්‍රසිද්ධ සංගීතය සමඟ එන පොත් විශේෂයයි. නවීන තාක්ෂණයෙන් නිමවුණු පෙර පාසල් ඉගෙනුම් කට්ටලද සින්දු කියමින් ඉගෙන ගනිමින් කතාන්දර රස විඳින්නට ඉඩ සලසන ළමා කතාද වෙයි. තේමා 13ක් යටතේ ඇති පොත් අතර “ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්, ලෙට්ස් ලර්න් ඇල්ෆබට් ABC මේ පොත් අතර විශේෂ වෙයි.

ප්‍රබන්ධ, ඉහළම අලෙවිය ඇති පොත්, ප්‍රබන්ධ නොවන විවිධ පොත්, ව්‍යාපාරික පොත්, ඉවුම් පිහුම් පොත්, දෘශ්‍ය කලා පොත්, කොෆි ටේබල් බුක් යනාදී වශයෙන් විවිධ පොත් මෙහි ඇත.

බිග් බෑඩ් වුල්ෆ් සංවිධායකයෝ RRH සමාජ සත්කාරක සේවා වැඩසටහන සමග අනුබද්ධ වෙමින් සුබසාධන වැඩසටහනක්ද ක්‍රියාවට නංවයි.

http//bigbadwolfbooks.com/lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙහි සාමාජිකත්වය ලබා ගැනීමෙන් සුවිසල් වාසි ලබාගැනීමේ අවස්ථාව පාඨකයන්ට හිමි වේ

Similar Posts