මෙරට රාජ්‍ය ආයතනයන් රටේ වෘත්තියවේදීන් භාර ගැනීමට ඉදිරිපත් විය යුතු බවත්, මහබැංකුව, රේගුව, ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ප්‍රධාන රාජ්‍ය ආයතන වෘත්තියවේදීන් විසින් පාලනය කිරීම තුළින් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත හැකිවන බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ගම්පහ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,
“මේ වනවිට විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන බිමටම වැටී තිබෙනවා. අද වනවිට කියන්න කනගාටුයි මේ රටේ ඛනිජ තෙල් සම්පත, ඉන්දියානු තෙල් සමාගම විසින් ගිලගනිමින් තිබෙනවා. මොකද අපිට ඩොලර් නැහැ. නැව් එළියේ නවතාගෙන තිබෙනවා. ඉන්දියානු තෙල් ටික ලැබෙනවා. රාජ්‍ය ආයතන ගැන හුඟ දෙනෙක් කතා කරනවා.

අපි ආවොත් මෙහෙම කරනවා කියලා කියනවා. හැබැයි අපි වැඩ කරලා පෙන්නපු මිනිස්සු. දින සියයේ අවස්ථාවේ විදුලිබල මණ්ඩලය සහ ඛනිජතෙල් සංස්ථාවත් මගේ අමාත්‍යාංශ ලෙස පවත්වාගෙන ගිය අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කර විදුලි බිල සියයට දහතුනකින් අඩු කළා. ඒ විතරක් නෙමෙයි ඒ අවුරුද්දෙ කෝටි 4,500ක පාඩුවක් අපේක්ෂා කළා. නමුත් කෝටි 2,000ක් අපි පළමු දින සියයේදී ලාභ ලැබුවා.

මම කියනවා අපි මොනවද කළේ කියලා අහන ගෝඨාභයගෙන් පුළුවන් නම් අපි කරපු දේවල්වලින් එක දශමයක්වත් කරලා පෙන්වන්න. එය අභියෝගයක්. අද මේ රට ඉන්නෙ අධිවේගී මාර්ග හදන තැනක නොවෙයි. මේ රට ඉන්නෙ පාරවල් ලක්ෂයක් කාපට් කරන්න පුළුවන් තැනක නොවෙයි. මිනිස්සු තෙල්, ගෑස් පෝලිම්වල ශාප කරමින් ඉන්නෙ කන්න නැතිව.

බැසිල් රාජපක්ෂ මහත්තයගේ වැඩ ලක්ෂය සමග ජුනි මාසයේ ඡන්දයක් තියන්න යනවා. ඒකට අවශ්‍ය ඡන්දය සොයමින් සිටිනවා. ඒ වගේම අර ඉන්දියාවෙන් ලැබෙන ණය යටතේ ජනතාවට සහන දෙන්න යනවා. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ ගෞරවය රැකගත යුතුයි. රාජ්‍ය සේවයට ජෙනරාල්වරුන් දැම්මයි කියා සාර්ථක වී නැහැ. අන්තිම අසාර්ථකයි. රාජ්‍ය සේවයේ ඉන්නවා ඒ වෙනුවෙන් කැප වූ විධිමත් අධ්‍යාපනය ලබාගත් පිරිසක්. ඒ පිරිසට එම කටයුත්ත කරගන්න ඉඩදී මිලිටරීකරණය නතර කළ යුතුයි.

ඔබලාගේ මර්දනයන්ට මේ රටේ ජනතාවගේ විරෝධය නතර කරන්නට බැහැ. රටේ සියලුම නිලධාරීන්ට, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලුම නිලධාරීන්ට, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලුම දෙනාටත්, පොලිස් දෙපාර්තමේන්තුව භාර නිලධාරීන් සියලුම දෙනාටත් අපි කියන්නෙ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සියලුම දෙනා දැනුවත්. රට දැනුවත්. මතක තියාගන්න ඒවාට අන්තිමට වගකියන්න වන්නේ ඔය දේශපාලනඥයන්ට නොව ඔබටයි.

ඒ නිසා කිසිම ආකාරයක නීති විරෝධී කටයුතුවලින් වැළකී සිටින ලෙස අපි ආයාචනය කරනවා. කොන්ද කෙලින් තියාගෙන වැඩ කටයුතු කරන්න.

අපි වෘත්තීයවේදී බල ඇණි සකස්කර තිබෙනවා. වෘත්තීයවේදීන් මේ රටේ ප්‍රධාන ආයනත භාර ගැනීමට සූදානම් විය යුතුයි. ඒ වගේම රටට ආදරය කරන අය, දූෂණයට නොගෑවිච්ච අය, මේ රටේ ප්‍රධාන ආයතන හැසිරවීමට දැන් ඉදිරිපත් විය යුතුයි. ඒ සඳහා අපි ආරාධනය කරනවා ප්‍රමුඛ වෘත්තීයවේදීන්ට.

මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ට, විදුලිබල ඉංජිනේරුවරුන්ට, ඒ වාගේම රසායනික ඉංජිනේරුවරුන්ට, වෛද්‍යවරුන්ට, පරිපාලකයන්ට ඉදිරිපත් වෙලා ආයතන වෘත්තීය මට්ටමින් රට පාලනය කළ යුතුයි. ප්‍රායෝගිකව රට ගැන සිතා පොදු අරමුණකින් අපි එකට එකතු වෙමු” යනුවෙන් පැවසීය.

– සජබ පා.ම. පාඨලී චම්පික රණවක

‘අද’ පුවත්පත් වාර්තාව 2022.03.29

Similar Posts