television digital

මෙරට රූපවාහිනී විකාශ කටයුතු ලොව සුපිරිම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට (28) කොළඹදී ආරම්භ කෙරේ.

යල්පිනූ තත්ත්වයෙන් යුතු තාක්ෂණයක් ඔස්සේ දැනට මෙරට පවත්වාගෙන යන රූපවාහිනී විකාශන ක්‍රමවේදය (Analog) ඉන් මුදාගෙන නව ලොව සුපිරිතම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත මහා පෙරළිය රූපවාහිනී විකාශ ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Digital) ඇරඹීම කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමකි.

“සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට සුවහසක් ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂක ජනතාවට මංපෙත් විවර කරමින්” මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට ප.ව. 7ට කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී ඇරැඹෙන අභිමානවත් අවස්ථාවට ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වේ.

ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට දෙන සුවිශේෂ මූල්‍ය පහසුකමක් යටතේ නව ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන අතර, මෙයින් මෙරට රූපවාහිනී නාලිකා විකාශකයන්ට, ප්‍රේක්ෂකයන්ට හා පොදුවේ මුළුමහත් ජනතාවටම සුවිශාල වරප්‍රසාද සහ ප්‍රතිලාභ අත් වෙයි.

දැනට මෙරට ක්‍රියාත්මක විකාශන ක්‍රමවේදය යටතේ එක් එක් නාලිකාවකට තනි තනි සංඛ්‍යාත පරාස භාවිතා කිරීමට සිදුවෙයි. එනමුත් නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ඔස්සේ මෙරට සංඛ්‍යාත පරාසය (Frequncy Spectrum) සුවිශල් ධාරිතා වර්ධනයක් සිදුවීමත් සමඟ තනි සංඛ්‍යාතයකට ධාරිතාව අට ගුණයකින් නොඑසේ නම් සියයට 800කින් ඉහළ යාමක් සිදුවේ.

මේ නිසාම දැනට මෙරට ක්‍රියාත්මක රූපවාහිනී නාලිකාවලට අමතරව තවත් රූපවාහිනී නාලිකා 200ක්, වැඩසටහන් රාශියක් අලුතින් විකාශය කිරීමට ඉඩ ලැබේ.

එය කොවිඩ් වසංගතය වැනි තත්ත්වයක් තුළ ඇහිරී සිටින ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනයාට තම ජනමනස දැනුමින් හා රසාස්වාදයෙන් මුසපත් කර ගැනීමට හොඳ විසඳුමක්ද වනු ඇත.

සංඛ්‍යාත පරාසය භාවිතා කිරීමේදී රූපවාහිනී නාලිකාවලට ලබා දෙන ප්‍රමාණය ඵලදායි හා කාර්යක්ෂමව භාවිතයට ගැනීමට ඉඩ සැලසෙන අතර, අතිරේක සංඛ්‍යාත භාවිතයට ගනිමින් රැහැන් රහිත පුළුල් පරාස (Broadband) සහිත අන්තර්ජාල පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබා දීමට හැකියාව ලැබීම රට ලැබූ විශාල ජයග්‍රහණයකි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් ඉතා සරල කොන්දේසි යටතේ වසර දහයක සහන කාලයක් සහිතව වසර හතළිහකින් ගෙවා නිම කළ යුතු මූල්‍ය පහසුකමක් මෙරටට දෙමින් මෙම ව්‍යාපෘතිය බලගැන්වීමට කටයුතු කෙරේ.

ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සඳහා හුරුවීමට අවශ්‍ය විකේතන උපකරණ (STBs) පහසු මිලකට ජනතාවට ලබාදීමට ද ඒවා තරගකාරී වෙළෙඳපොළ තුළ අවශ්‍ය ප්‍රමාණයට සැපයීමක් ලෙස ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමට ද හැකි පහසුකම් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා රජයත් ජපානයත් එකඟතාවකට පැමිණ ඇත.

Similar Posts